වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

‘සරා ගොයියා හරි මිනිසා’ ‘ශ්‍රී 420’ ගීතයක තනුවක්ද?

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - රූපවාහිනි මාධ්‍යයෙන් සජීවීව විකාශය වන එළිමහන් සංගීත සංදර්ශන ඔබ නරඹනවාද?
පිළිතුර -
නැහැ. රෑ දහයට විතර පටන් ගන්න මේ සන්දර්නවලදී මුලින්ම සංගීත කණ්ඩායම සින්දු 10 ක් විතර කියනවා. ඒවා කියලා ඉවර වෙනකොට අපිට නිදිමතයි. ඉතිං මොන ගායක ගායිකාවන් ඇවිත් මොන සින්දු කිව්වද කියලා අපි දන්නේ නැහැ. මිනිස්සු රෑ නිදි මරාගෙන එන්නේ සංගීත කණ්ඩායම්වල සින්දු අහන්න නෙමෙයි. තමන් ප්‍රිය කරන ගායක ගායිකාවන්ගේ සින්දු අහන්නයි.

මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස්
ප්‍රශ්නය - 'පලංචියේ ලී ඉරුවේ අපි එකට' ගීතයේ පද රචකයා කවුද?
පිළිතුර
-
වසන්ත කුමාර කොබවක.

මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - 'වැල්ලේ තැනූ මාළිගා' චිත්‍රපටය චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්ද?
පිළිතුර -
ඔව්. එය සුමතිපාල ජෝතිපාලගේ චිත්‍ර කතාවක්. (සුමතිපාල ජෝතිපාල නිවුන් සහෝදරයෝ).

බොරලැස්සේ විජිත ලාල් ප්‍රනාන්දු
ප්‍රශ්නය - ගායක නාරද දිසාසේකර චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවාද?
පිළිතුර -
ඔව්. 'හතර පෙරළිය' චිත්‍රපටයේ සංගීතය ඔහුගේ.

මීගමුව මහහුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා
ප්‍රශ්නය - පසුගියදා එච්. ආර්. ජෝතිපාල අනුස්මරණය වෙනුවෙන් ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ 'රිදී නිම්නය' වැඩ සටහනේ 'වන් ටු ත්‍රි බේබි හායි හායි' ගීතය 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටයේ බව දැක් වුණා. මෙය වැරදියි නේද?
පිළිතුර -
ඔව්. එය 'එදත් සුරයා අදත් සූරයා' චිත්‍රපටයේ ආ ගීතයක්.

අත්නගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - ඉංග්‍රීසි චිත්‍රපට පමණ තිරගත කරමින් තිබූ එකල බම්ලපිටියේ මැජෙස්ටික් සිනමාහල සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට විවෘත වුයේ කුමන චිත්‍රපටයකින්ද?
පිළිතුර -
කළු දිය දහර චිත්‍රපටයෙන්.

රාජාංගනයේ නුවන් කරුණාතිලක
ප්‍රශ්නය - ගියවර ඔබ ලියා තිබුණා 'දමයන්ති' චිත්‍රපටයට මොහිදීන් බෙග් ගැයූ 'සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා' ගීතය ලීවේ 'ප්‍රේමකීර්ති ද අල්විස් යනුවෙන්. එය වැරදියි නේද?
පිළිතුර -
ඔව්. එය ලිව්වේ කරුණාරත්න අබේසේකර ශූරීන්. වැරැද්ද පෙන්වා දුන් ඔබට බොහොම ස්තූතියි.

කපුගොඩ මාළිඳ සරත් රණසිංහ
ප්‍රශ්නය - ගීත රචක ඔගස්ටස් විනයාගරත්නම් දෙමළ ජාතිකයෙක්ද?
පිළිතුර -
ඔව්. ඒත් ඔහු ඇතැම් සිංහල ලේඛකයන්ට වඩා සිංහල දැන සිටි කෙනෙක්.

කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර
ප්‍රශ්නය - මොහිදීන් බෙග් ගයන 'ලබති සහනෙ මේ බලවත් පිනේනි බලේ' ගීතය රැගත් චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
සිංහල දෙබස් කැවූ මනුෂ්‍යත්වය චිත්‍රපටයේ.

උණවටුනේ කල්‍යාණ ජයනෙත්ති
ප්‍රශ්නය - කවුරු කොහොම කිව්වත් මා දුටු දක්ෂම නිළිය ස්වර්ණා මල්ලවආරච්චි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර -
ඒ ඔබේ අදහසනේ. මා දුටු දක්ෂම නිළිය නම් මාලිනී ෆොන්සේකා.

දූනගහ ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු
ප්‍රශ්නය - 83 ජූලියේ ගින්නට හසු වූ ඇතැම් චිත්‍රපටවල වීඩියෝ පට දැන් වෙළෙඳපොළට එන්නේ කොහොමද?
පිළිතුර -
ඒ චිත්‍රපටවල අතිරේක පිටපත් පෞද්ගලික වශයෙනුත් ආරක්ෂා වී තිබුණා වෙන්න පුළුවන්.
මේ අයත් ප්‍රශ්න අසා තිබුණා. වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ, බලන්ගොඩ ජයවීර මංචනායක, හෝමාගම ප්‍රසන්න මනතුංග, කහවත්තේ සෝමා එච්. පතිරණ, මඩකළපුවේ දයානි රණසිංහ, දැරණියගල නිල්මිණි සේරසිංහ, වටවල ආරියදාස පිංදෙණිය.
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.