වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

බොලිවුඩයට ‘ආදයම් බදු’ තර්ජන

ඉන්දීය ආදායම් බදු නිළධාරින් බොලිවුඩයට ඇවිත්. ඔවුන් සාර්ථක බොලිවුඩ් සිනමා නිර්මාණ පිළිබඳ සොයා බලන බව ආරංචි වෙනවා. එම චිත්‍රපට සඳහා දායකත්වය ලබා දුන් නළුවන්ගේ සැබෑම ආදායම් හොයන්න තමයි මේ සූදානම. එම නිළධාරින් චිත්‍රපට නිෂ්පාදන ආයතන වෙතින් විමසීම් කර තිබෙන්නේ අදාළ නළුවන් වෙනුවෙන් කොපමණ මුදලක් ‍ගෙවා තිබේද යන්න පිළිබඳවයි. අමීර් ඛාන් සහ රන්වීර් සිං ඒ නම් ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා.

යෂ්රාජ් ෆිල්ම්ස්, සල්මන් ඛාන් ෆිල්ම්ස් වැනි චිත්‍රපට නිර්මාණ ආයතන වෙත ලිපි මඟින් දැනුම් දී ඇත්තේ ඉහළ ආදායම් ලද චිත්‍රපටවල නළුවන් වෙනුවෙන් කොමණ මුදලක් ගෙවීම් සිදු කළා ද යන්නයි. ඒ විතරක් නෙවෙයි සතියක් ඇතුළත සියලු විස්තර දැන්විය යුතු බවත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බුද්ධිමය අංශය නිවේදනය කරලා. මේ දැඩ් අවධානය යොමු වෙලා තියෙන්නේ ඉහළ ආදායම් ලද Ek Tha Tiger, Dhoom 3, Pk,Bajirao Mastani, Bajirangi Bhaijan වැනි චිත්‍රපට වෙත තමයි.


බ්‍රෙට්ලි Unindian සමඟ

බ්‍රෙට් ලී කියන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක්. කාලයක් පුරා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නම් කළ දැන් ඔහු කලා කටයුතු වලටත් දායක වෙන්න පටන් අරන්. ඉන්දීය ගැයිකා ආශා බොන්ස්ලේ සමඟින් ගීතයකුත් ඔහු ගායනා කළ ඔබට මතක ඇති. 'You're the One Foe Me' නම් වූ ඒ ගීතය රචනා කළෙත් ලී විසින්මයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ගායකයෙක්, ගී පද රචකයෙක් විතරක් නෙවෙයි දැන් ඔහු නළුවෙක්.  Unindian චිත්‍රපටය සමඟින් ඔහු රිදි තිරයට පිවිසෙන්න සූදානම්.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන අනූපම් චොප්රා නම් අධ්‍යක්ෂවරයා තමයි  Unindian චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඔස්ට්‍රේලියානු ජාතික ගුරුවරයෙක් සහ ඉන්දීය ජාතික මවක සම්බන්ධ වූ අදර කතාවක් මේ සඳහා පසුබිම් වෙනවා. ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ තනීෂා චැටර්ජි. 2014 වසරේදී මෙම චිත්‍රපටය රූගත කළේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදීයි. 69 වැනි කාන් සිනමා උලෙළේදී මෙම චිත්‍රපටය මුල්වරට තිරගත කළා.

දැන් එය ඉන්දියාවේ තිරගත කරන්න සූදානම්. බ්‍රෙට් ලී එහි ප්‍රථම දර්ශනය වෙනුවෙන් විශේෂ ආරාධිත අමුත්තෙක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්. බ්‍රෙට් ලී ශාරුක්ගේ ලොකුම රසිකයෙක් කියලා ඔහු කියනවා. ශාරුක්ට අමතරව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි සහ සුපිරි ක්‍රිකට් තරුව සචින් තෙන්ඩුල්කාර්ටත් ලී ආරාධනා කරලා.


නර්ගිස් ආපසු යයි?

නර්ගීස් ෆක්රි බොලිවුඩයට පැමිණියේ ප්‍රේමණීය කතාවක් රැගත් Rockstar චිත්‍රපටය සමඟින්. ඉන් පසුව Madras Cafe, Azar වගේ චිත්‍රපටවලත් Main Tera Hero, Spy, Housefull 3  වැනි චිත්‍රපටවලින් ඉහළ ප්‍රසිද්ධියක් ලැබුවා.

බොලිවුඩයේ ජනප්‍රිය වුණත් ඇය අමෙරිකානු ජාතිකයෙක්. මේ දිනවල තිරගත කෙරෙන Dishoom  චිත්‍රපටයේත් ඇය චරිත නිරූපණය කරනවා. නර්ගීස්ගේ ඊළඟ චිත්‍රපටය තිරගත වෙන්න සූදානම් තියෙන්නේ ලබන සැප්තැම්බර් මාසයේදීයි. එය රවි ජාද්වි අධ්‍යක්ෂණය කළ Banjo චිත්‍රපටය යි.

Banjo නර්ගීස්ගේ අවසන් බොලිවුඩ් චිත්‍රපටය වේවි යැයි බොලිවුඩය පුරා කටකතා පැතිරිලා. ඒ ඇය ස්ථිර පදිංචිය වෙනුවෙන් අමෙරිකාවට යන්න සූදානම් නිසා. මොකද ඇයගේ පවුලේ සියලු දෙනා ජීවත් වෙන්නෙත් අමෙරිකා එක්සත් ජනපදයේ.

මීට වසරකට පමණ පෙර නර්ගීස් සහ උදය චොප්රා පෙම්වතුන් වී සිටියා. කෙටි පණිවුඩයක් නිසා ඒ පෙම් සබඳතාව බිඳ වැටුණු පසුත් නර්ගිස් අමෙරිකාවේ පදිංචියට යන බවට කටකතා පැතිරුණා.


Kabali උන්මාදය

දකුණු ඉන්දීය සුපිරි තරුව රැජනි කාන්ත් රඟන Kabali චිත්‍රපටය මේ වන විට ලොව පුරා සිනමාහල් රැසක අති සාර්ථක අයුරින් තිරගත කෙරෙනවා. ලංකාවේත් ප්‍රථම වරට දෙමළ චිත්‍රපටයක් ලෙසින් Kabali සිනමාහල් පනහක තිරගත වීම ආරම්භ කළා.

Kabali නිසා ඉන්දියාවේ සිනමාහල් පිරි ඉතිරි යන විටදී හින්දි භාෂාවෙන් හඬ කැවූ දර්ශනවාර වෙනුවෙන් නම් එතරම් සෙනඟක් දකින්න ලැබී නැහැ. දෙමළ සංස්කෘතිය සහ හින්දි සංස්කෘතිය අතර වෙනස්කම් මෙයට බලපෑම්කර ඇති බවට කටකතා පැතිරෙනවා. බොලිවුඩයේ බලාපොරොත්තුව Kabali හින්දි භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කිරීමටයි. එහිදී රැජනි කානාත්ගේ ගෞරවයට හානි නොවන අන්දමින් සාධාරණයක් කරන්න එකම සුදුස්සා අමිතාබ් බවයි කවුරුත් කියන්නේ.

මැලේසියාවේ වහල් සේවයේ යෙදෙන ඉන්දියානුවන්ගේ නිදහස වෙනුවෙන් සටන් වදින කබාලිෂ්වරන් නම් චරිතයක් වටා ගෙතුණු Kabali මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 250ට අධික ආදායමක් උපයා අවසන්. එහි නිෂ්පාදනය පිරිවැය වුණේ ඉන්දිය රුපියල් කෝටි 75ක්. ප්‍රථම දිනයේ ඉන්දියාව තුළදී පමණක් ඉන්දිය රුපියල් කෝටි 45ක ආදායමක් එය උපයා තිබුණා.

Kabali චිත්‍රපටය උන්මාදයක් ඇති කළ චිත්‍රපටයක් බවට පත් වී හමාරය. මංගල දර්ශනය නැරඹීමේ අවස්ථාව නොලද මලේසි‍යාවේ වෙසෙන දෙමළ තරුණයෙක් අඩි ගණනාවක් උස ගොඩනැඟිල්ලකින් බිමට පැන දිවි නසා ගත්තා.

ඉන්දියාවේ ඇතැම් ආයතන පවා එදින සේවකයන්ට Kabali නැරඹීම වෙනුවෙන් නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණා. බැංගලෝර් සහ චෙන්නායි දක්වා වූ Kabali නමින් විශේෂ ගුවන් ගමන් සේවක් සහ ඒ අතරතුර රැජනි කාන්ත් ප්‍රිය කරන ආහාර වර්ග මගීන්ට පිරිනැමීමටත් ඇතැම් ගුවන්සේවා ආයතන කටයුතු යොදා තිබුණා. චෙන්නායි දක්වා ගමන් ගත් එයාර් ඒෂියා ගුවන් යානා පවා Kabali චිත්‍රපටයේ පෝස්ටර්වලින් හැඩ වී තිබුණා.