වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




රිද්ම රැය නෙළුම් පොකුණේ කීර්ති - නාමල් - නලින් - නිරෝෂා - සමිතා - නෙලූ ගැයුමෙන් එක් වෙති

රිද්ම රැය නෙළුම් පොකුණේ කීර්ති - නාමල් - නලින් - නිරෝෂා - සමිතා - නෙලූ ගැයුමෙන් එක් වෙති

ඔස්කා සංවිධානයේ (ගීත නිර්මාණ කේන්ද්‍රය) මූලිකත්වයෙන් එකොළොස් වෙනි වරටත් පැවැත්වෙන 'රිද්ම රැයක්' සංගීත ප්‍රසංගය මෙම මස 5 වැනිදා (සිකුරාදා) සවස 7.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

ගීත නිර්මාණ කේන්ද්‍රයට ආධාර පිණිස පැවැත්වෙන මෙම ප්‍රසංගය සඳහා කීර්ති පැස්කුවෙල්, නාමල් උඩුගම, නලින් පෙරේරා, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, නෙලූ අධිකාරි ගායනයෙන් එක් වෙති.

මහේෂ් දෙනිපිටිය මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරයි.


රාජකපුරු - 28 වෙනි වර්ෂ පූර්ණ විශේෂ දැක්ම

1988 වසරේදී මංගල දර්ශනය පැවැත්වීමෙන් අනතුරුව රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන කිහිපයක්ම හිමි කර ගනිමින් හා ජනාදරයට පාත්‍ර වෙමින් අද දක්වාම දිවයින පුරා ඉතා සාර්ථකව රඟදැක් වූ නාට්‍යයක් වන ප්‍රවීණ නාට්‍යවේදී ජනක් ප්‍රේමලාල්ගේ 'රාජ කපුරු' නාට්‍යයේ 28 වෙන වර්ෂ පූර්ණ විශේෂ දැක්ම අගෝස්තු මස 06 වෙන සෙනසුරාදා දින සවස 3.30 ට සහ 6.30 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී ප්‍රථම වතාවට වේදිකා ගත කෙරේ.

රවීන්ද්‍ර යසස්. සරත් කුලාංග, සද්ධා උත්පල, අජිත් ලොකුගේ, සරත් චන්ද්‍රසිරි, රවීන්ද්‍ර කෝදාගොඩ, ශාන්ත ප්‍රියදර්ශන, කුලසිරි මල්ලිකාරච්චි, සංජීව වික්‍රමසිංහ, කීර්ති රණසිංහ, වරුණ ලසන්ත, දිවේන්ද්‍ර ජයකොඩි, අනුර විජේසේකර, සුගත් මෛත්‍රී ආදී ප්‍රවීණ ශිල්පීන් රැසක් චරිත මවන මෙහි රචනය සිරිසේන ප්‍රේමලාල් විසිනි. සංගීතයෙන් සරත් කුලාංග ද, අංග රචනයෙන් ජගත් පද්මසිරි ද, කලා අධ්‍යක්ෂණයෙන් ආරියපාල ගමගේ ද, රංග වින්‍යාසයෙන් සද්ධා උත්පල කන්දගේ ද, ආලෝකකරණයෙන් උපාලි වීරසිංහ ද දායක වී ඇති 'රාජ කපුරු' නාට්‍යයේ මෙම විශේෂ දර්ශනය සුසිල් වික්‍රමසිංහ සමඟ කීර්ති කේ. රත්නායකගේ ඉදිරිත් කිරීමකි.


චින්තන ජයසේන සමුගනී

ප්‍රවීණ සිනමා විචාරකයකු, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී, ගීත රචකයකු වූ චින්තන ජයසේන පසුගිය 2 වැනිදා අභාවප්‍රාප්ත විය. ලස්සන පුවත්පතින් පුවත්පත් කලාවට පිවිසි ඔහු අද, කොලම වැනි පුවත්පත් රාශියකම කර්තෘවරයා විය. වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගයට එම නම තබන ලද්දේ ද චින්තන විසිනි. චින්තන විසින් ලියන ලද ගී අතර නන්දා මාලිනී ගයන අවන් හලේ පෙන බුබුලයි ගීතය කැපී පෙනෙයි.


රිදීතැල්ල යළි බැඳුණු දවස

මීට වසර හතළිහකට පෙර සිරි කුලරත්න අධ්‍යක්ෂණය කළ රිදී තැල්ල චිත්‍රපටයේ නවතම පිටපතක් යළිත් තිරගත කිරීම එහි නිෂ්පාදකවරුන් වන ආතර් යූ. අමරසේන, කේ. එස්. පෙරේරා මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ආරම්භ කෙරුණි. එහිදී රිදී තැල්ල චිත්‍රපටයේ නවතම පිටපත තිරගත කිරීම අරඹමින් ජාතික රූපවාහිනියේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, වීණා ජයකොඩි, චන්න විජේවර්ධන, ෂෙරීන් කුමාරතුංග, ශ්‍රියාණි අමරසේන, සුනිල් ටී. ප්‍රනාන්දු පහන්සිළු දැල් වූ මොහොත.

ඡායාරූප - රංජිත් අසංක


මර්වින් බේන්ස් මියයයි

බේන්ස් මාස්ටර් නාමය පමණක් සිංහල සංගීතයේ කීර්තිභාවශේෂෝපගත කොට අපට සිටි ජ්‍යෙෂ්ඨතම ශබ්ද පරිපාලකවරයකු වූ මර්වින් බේන්ස් මියගිය පුවත පෙරෙයිදා (2) අලුයමදී ඇසෙන්නට විය.

තැටි යුගයේ සිට කැසට් යුගය දක්වා ශබ්ද පරිපාලකවරයකු වශයෙන් නොමැකෙන සටහන් තැබූ බේන්ස් මාස්ටර් ඔහුගේ ගුරුවරයා වූ ඉන්දීය ජාතික පී. කේ. මිශ්‍රා යටතේ දහසකුත් දුෂ්කරතා විඳිමින් ඉගෙනුම ලැබ ශබ්ද පරිපාලනයේ පරතෙරට පැමිණියෙකි.

60 දශකයේ මුල සිටම සිංහල සිනමාවට පසුබිම් සංගීතයෙන් තිරය පිටුපස සිට පණ දුන් විශිෂ්ටයන් කොයි කාටත් නැතුවම බැරි වූ ශබ්ද පරිපාලකවරයකු වූ මර්වින් බේන්ස් නැතිනම් තමන්ගේ ගීත පටිගත කිරීම ප්‍රතික්ෂේප කළ ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක්ම එකල වූහ.

විජය චිත්‍රාගාරයෙන් ශබ්ද පරිපාලන අංශයේ සහායට එක් වූ බේන්ස් අනතුරුව පී. කේ. මිශ්‍රා යළි ඉන්දියාවට ගිය පසු එහි ප්‍රධාන ශබ්ද පරිපාලකවරයා විය. පසුව එස්. ජී. එම්. චිත්‍රාගාරයේ ශබ්ද පරිපාලකවරයා වූ ඔහු චිත්‍රපට ගණනාවකට දායක විය. පසු කලෙක ඔහු වඩාත්ම කීර්තියට පත් වූයේ ගීත පටිගත කිරීමටය. නෙකෝ, නෙලූ, ටරිවා වැනි ශබ්දාගාර රාශියක ප්‍රධාන ශබ්ද පරිපාලකවරයා වූ බේන්ස්, එච්. ආර්. ජෝතිපාලයන්ගේ අවසන් ගීත පෙල ද පටිගත කළ ශිල්පියා විය. ඒ ටරීවා ශබ්දාගාරයේදීය. එක් දරු පියකු වූ ඔහු මිය යන විට 76 වැනි වියේ පසු විය.


එම්. එස්. - ජෝති - මිල්ටන් උපහාර සංගීත ප්‍රසංගය 06 දා

රසික හසවත් තුළ සදා නොමැකෙන මතක සටහන් තබා ඇති එම්. එස්. ප්‍රනාන්දු - එච්. ආර්. ජෝතිපාල සහ ජේ. ඒ. මිල්ටන් පෙරේරා යන අතිශය ජනප්‍රිය ගායන ශිල්පීන් තිදෙනා අනුස්මරණය කිරීම උදෙසා 'එම් එස් - ජෝති - මිල්ටන් උපහාර සංගීත ප්‍රසංගය 6 වෙනි සෙනසුරාසා රාත්‍රී 8 ට මොරටුව, සොයිසා පුර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

එහි සංගීතය සපයනු ලබන්නේ දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන අර්නස්ට් සොයිසා, සරත් අල්විස්, උපාලි කන්නන්ගර, මොරිස් ද සිල්වා ප්‍රමුඛ 'සුපර් ස්ටාර්ස්' වාදක මණ්ඩලයයි. දිවයිනේ ජනප්‍රියතම ගායක ගායිකාවන් රැසක්ම ගීත ගායනා කරන මෙම සංගීත ප්‍රංසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.

රවීන්ද්‍ර රන්දෙනිය, ක්ලීටස් මෙන්ඩිස්, වෝල්ටර් ප්‍රනාන්දු, සුසිල් ප්‍රනාන්දු, ශාන්ත ප්‍රනාන්දු, සරත් ප්‍රනන්දු, කුමාරි මුණසිංහ, දමිතා අබේරත්න, කීර්ති පැස්කුවල්, නිමල් ඇන්තනි, පියත් රාජපක්ෂ, භාෂි මධුභාෂි, ජනක සම්පත්, අමල් එදිරිමාන්න, අජිත් කුරේ, නුවන් ගුණවර්ධන, සමන් ද සිල්වා, උපාලි කන්නන්ගර, චලක චමුපති, රෝහණ බෝගොඩ, කුඩිෂි අහමඩ්, ලලිත පොන්නම්පෙරුම යන ගායක ගායිකාවන් මෙම ප්‍රසංගය සඳහා ගීත ගායනා කරන අතර නිවේදන කටයුතු කරනු ලබන්නෙ රෙක්ස් හැමිල්ටන් විසිනි.


හෝ ගානා පොකුණ ගෙදරට එයි

ආදායම් වාර්තා මෙන්ම ළමා, තරුණ, මහලු කොයි කාගේත් පැසසුමට සහ ආකර්ෂණයට ලක් වූ මෑත කාලයේ තිරගත කෙරුණු චිත්‍රපට අතරින් කාගේත් මතකයේ රැඳෙන සිනමාපටයක් වූ ඉන්දික ෆර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කළ 'හෝගානා පොකුණ' දැන් සුනිල් ටී. ෆිල්ම්ස් ලේබලය යටතේ ඩී වී. ඩී. පටයක් වශයෙන් වෙළෙඳපොළට පැමිණ තිබේ. විශේෂයෙන්ම ළමයින් අතර අතිශය ජනප්‍රියත්වයක් දිනා ගත් හෝගානා පොකුණ මේ පාසල් නිවාඩු කාලයේදීම ඩී. වී. ඩී. පටයක් ලෙසින් එළිදැක්වීම එය ළමා පරපුරට තිළිණ කරන ත්‍යාගයක් මෙන් වෙතැයි ඒ පිළිබඳ අදහස් දක්වමින් සුනිල් ටී. ප්‍රනාන්දු අපට කීය. මේ වන විටත් ප්‍රසන්න විතානගේ ගේ අධ්‍යක්ෂණයක් වූ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය ද 'සුනිල් ටී' ලේබලයෙන් ඩී. වී. ඩී. පටයක් ලෙසින් වෙළෙඳපොලේ පවතී. මෙම චිත්‍රපට ව්‍යාජ පිටපත් නිකුත් කර තිබුණහොත් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද නිෂ්පාදකයෝ පවසති.


අතකසයෙන් කවි වීඩියෝවක්

අගනුවර තරුණ කවි සමාජය මඟින් ඇසිදිසි රූප කාව්‍යක් නිර්මාණය කිරීමට සූදානම් වන බව එහි සභාපති බොරලැස්ගමුවේ ප්‍රණීත් පෙරේරා කිවිඳු පවසයි. ඒ සමඟින් නවක නළු නිළියන් කිහිප දෙනෙකු ද හඳුන්වා දිම ඔහුගේ අපේක්ෂාවයි. රංගන කුසලතාවයක් ඇති වයස අවුරුදු 10 - 70 ත් අතර නවක නළු නිළියන් 'ආසිරි විජේසේකර' අතකස මාධ්‍ය ඒකකය, අංක 743/61, මුවන්හෙළවත්ත, මාලබේ යන ලිපිනයට මෑතකදී ගත් වර්ණ සේයාරුවක් විස්තරයක් ද සමඟ එවීමෙන් මෙහි මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගි විය හැකිය.