වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




භූතයන් අල්ලන මෙහෙයුමට ඉඩ දෙනු GHOSTBUSTERS

භූතයන් අල්ලන මෙහෙයුමට ඉඩ දෙනු GHOSTBUSTERS

හොල්මන් කියූ සැණින් බොහෝ දෙනා බියට පත්වෙති. භූතාත්ම ගැන කතා කිරීම ඇඟ කිළිපොලා යන්නේය. ඇත්තටම හොල්මන් සහ භූතාත්ම අප අතර සිටියි ද? එසේ නම්, එම හොල්මන් සහ භූතාත්ම අල්ලාගත හැක්කේ කාටද? මිනිසුන් බියට පත් කරන්නා වූ මෙම අද්භූත ජීවිත් අල්ලාගත හැකි ක්‍රමවේදයක් තිබේද?

එයට කදිම පිළිතුර Ghostbusters වෙතින් ලබාගත හැකිවනු ඇත. 1984 වසරේ නිර්මාණය වුණු නොයෙක් විධ හොල්මන් සහ භූතයන් පසුපස හඹා ගොස් ඔවුන් අල්ලා ගන්නා පීටර්, රේ, ඊගන් සහ වින්ස්ටන් යන සිව් දෙනාගෙන් සැදුම්ලද චිත්‍රපටය ඔබට මතකද? නිව්යෝර්ක් නගරයේ පුස්තකාලයක සිදුවන අද්භූත සිදුවීම් කිහිපයක් සමඟින් ඇරඹෙන මෙම කතාව එකල සිනමා රසිකයන්ට නම් අමතක වන්නට හේතුවක් නැත. 1986 වසරේ සිට විකාශය වූ කාටුන් කතා මාලාවක් ලෙසත් Ghostbusters ජනප්‍රිය විය. එය අපේ රටේද බොහෝ පොඩිත්තන් (එකල) නැරඹූ කාටුන් කතා මාලාවක් විය.

අයිවාන් රෙයිට්මාන් විසින් අධ්‍යක්ෂණය කළ Ghostbusters (1984) චිත්‍රපටය බිල් මරේ, ඩෑන් ඇක් රොයිඩ්, සිගොනි වීවර්, හැරල්ඩ් රමිස්, රික් මොරානිස් ඇතුළු පිරිසකගේ රංගනයෙන් ඔපවත් විය. මෙහි දෙවැන්න 1989 වසරේදී තිරගත වූයේය.

එයින් වසර 27කට පසුව පෝල් ෆේග්ගේ (Bridesmaids,Spy) අධ්‍යක්ෂණයෙන් සහ ඇමි පැස්කල් සහ පළමු චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළ අයිවාන් රෙයිට්මාන්ගේ නිෂ්පාදනයෙන් යුතුව Ghostbusters ප්‍රතිනිර්මාණය වී ඇත. එය පසුගිය ජූලි 15 වැනිදා සිට ලොවපුරා තිරගත වීම ආරම්භ කෙරිණි. කේටී ඩිපෝල්ඩ් සහ පෝල් ෆෙග්ගේ රචනයක් වූ මෙම චිත්‍රපටය තියඩෝර් ෂැපීරෝගේ සංගීතයෙන් ඔපවත් වී ඇත. සෝනි පික්චර්ස්, එල්ස්ටාර් කැපිටල්, විලේජ් රෝඩ් ෂෝ පික්චර්ස් ඇතුළු නිෂ්පාදන ආයතන හතක නිෂ්පාදනයක් වූ මෙය කොලොම්බියා පික්චර්ස් බෙදාහැරීමකි.

පළමු චිත්‍රපටයේ හොල්මන් සමඟ සටන් වදින කණ්ඩායම පුරුෂ පක්ෂයෙන් යුතු වුවද මෙවර සටන් වදින්නේ කාන්තා කණ්ඩායමක් වීම විශේෂිතය. මෙලීසා මැකාර්ති (Identity Thief,This Is 40), ක්‍රිස්ටීන් විග් (The Secret Life of Walter Mitty,Despicable Me film series), කේට් මැකිනන් (The Angry Birds Movie, Finding Dory), ලෙස්ලි ජෝන්ස්

(National Security, Top Five) මෙවර භූතාත්ම සමඟින් සටනට සැරසේ.

මැන්හැටන්හි සිදුවන භූත ආක්‍රමණයකට විරුද්ධව අද්භූත පරීක්ෂකයින් වන එරින් ගිල්බට්, ඇබි යේට්ස් ද න්‍යෂ්ටික ඉංජිනේරුවරියක වන ජුලියන් හොල්ට්ස්මන් සහ දුම්රිය සේවිකාවන වන පැටී ටෝලන් ද එකතුව කරන අරගලය මෙයින් කියවේ. අමෙරිකානු ඩොලර් මිලියන 144ක පිරිවැයකින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය මිනිත්තු 116ක ධාවන කාලයකින් යුක්තය. පසුගිය ජූලි 30 වැනිදා වනවිට ලොවපුරා ප්‍රදර්ශනයෙන් ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 135 පසුකර තිබුණි.

IMDB දර්ශකයේ ලකුණු 5.4/10ක් ලබා ගෙන ඇති Ghostbusters (2016) රොටෙන් ටොමැටෝස් විචාරකයන්ගෙන් සියයට 73ක ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට සමත් වී ඇත. Ghostbusters (1984) චිත්‍රපටය IMDB ලකුණු 7.8/10ක් සහ රොටෙන් ටොමැටෝස් සියයට 97ක් වාර්තා කළේය . මෙවර චිත්‍රපටය ගැන රොටෙන් ටොමැටෝස් ප්‍රමුඛ විචාරය පවසන්නේ, සුදුසු නළු නිළියන්ගෙන් සමන්විත අද්භූත හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් ලෙසින් ඉතා සතුටුදායක මට්ටමක ඇති බවයි. කෙසේ නමුත් 1984 චිත්‍රපටය සමඟින් සැසඳීමේදී ඇතැම් ස්ථානවල දුර්වලතා කිහිපයක් පෙන්නුම් කරන බවද ඔවුන්ගේ අදහසයි.