වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




අද මාධ්‍ය කැඳ හැළියක් ‘කටහඬ’ ට දස වසරයි

අද මාධ්‍ය කැඳ හැළියක් ‘කටහඬ’ ට දස වසරයි

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගේ කටහඬ පදනමට මෙම වසරට වසර දහයක් සපිරෙයි. මේ වන විට එමඟින් බිහි වූ ගෝල බාලයන් ද රැසකි. මාධ්‍ය ක්ෂේත්‍රයෙහි පතාක යෝධයකු වූ ගුණදාස ලියනගේ ගේ පුත්‍රරත්නය වන ශ්‍රීමත් මාධ්‍යයට එක් වුණේ ඔහුගේ මඟ පෙන්වීම යටතේය. ශ්‍රීමත්ව මෙලෙස අප කතාබහකට එක් කොට ගත්තේ ඔහුගේ කටහඬ පදනම පිළිබඳව වැඩි වශයෙන් විමසීමේ අටියෙනි. ඒත් සමඟම හෙතෙම මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ද වැඩි වශයෙන් අදහස් දැක්වූවේය.

* ශ්‍රීමත් කටහඬට දස වසරයි. මොනවද ඔබට ගෙවී ගිය කාලය ගැන කියන්නට තියෙන්නේ?

මගේ මතයට සහ මගේ විශ්වාසයට අනුව ලංකාවේ වැඩිම කාලයක් පවත්වාගෙන ආව එකම නිවේදක පාඨමාලාව තමයි මේක. මගේ ජීවිතයෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කළේ මෙහි උන්නතිය වෙනුවෙන්. කියන්න සතුටුයි. මේ වසර දහය තුළ කටහඬ හරහා මා කළ කී දෑ බොහොමයි. වර්තමානය වන විටත් මා නොමිලයේ වැඩමුළු පවා පවත්වනවා.

* කටහඬ පාඨමාලාව කාටද?

මේ පාඨමාලාවේ නම කටහඬ. එහෙයින් වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නවා මෙමඟින් අප කරන්නේ නිවේදක නිවේදිකාවන් පමණක් බිහි කරනවා කියලා. නැහැ ඒක වැරැදි මතයක්. සමහරු ඉන්නවා තැනකට ඇවිත් පිරිසක් ඉදිරියේ කතාවක්වත් කරන්න බැරි අය. එමෙන්ම සමහරුන්ට වෙන වෙන පෞරුෂත්ව ගැටලු තියෙනවා. ඒ විතරක් නෙවෙයි සාරධර්ම පවා මවිසින් උගන්වනු ලබනවා. මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නැහැනෙ සාරධර්ම දන්නේ නැත්නම්.

* අප රටේ ලොකු ලොක්කන් පවා එනවලු නේද ඔබ ගාවට?

දේශපාලනඥයෝ, අමාත්‍යාංශ ලේකම්වරු වගේ ප්‍රභූවරුන් බහුතරයක් මගෙන් කතාවක් ලියන විදිහ කොහොමද, සභාවක් ඉදිරියේ කතා කරන්න ඕනෑ විදිහ කොහොමද කියලා ඉගෙන ගන්න එනවා. කාලයක් තිස්සේ ඒ වගේ අය මං ගාවට ආවා. ඒත් කිසිම තැනක මං ඔවුන්ගේ නම් ගම් තොරතුරු හෙළි කළේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්.

* දේශපාලනඥයෝ ඔබ කියන දේ ඒ විදිහටම අහනවාද?

ඔව් අහනවා. දේශපාලනඥයෝ තමන්ගේ මතයට ක්‍රියා කරන අයනේ. ඒ වුණාට මං කියන දේ නම් අකුරටම අහනවා.

* දේශපාලනඥයෝ එක්ක ගනුදෙනු කරන ඔබට දේශපාලනයට ඇරැයුම් ලැබිලා නැතිද?

මයෙ අප්පේ අනන්තවත් ලැබෙනවා. නමුත් මං ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළා. මේ ළඟදී දවසකත් දේශපාලනයට එන්න කියලා කිව්වා. ඒත් මම ගියේ නැහැ.

* ඔබ කාලයෙන් කාලයට නොයෙක් විලාසිතා කරනවා. ඇතැම් විලාසිතා ඔබට ගැළපෙන්නෙත් නැහැ?

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා කතාවක් තියෙනවනේ. අපි නිරන්තරයෙන්ම අලුත් වෙන්න ඕනෑ. එතකොට තමයි පැවැත්මක් තියෙන්නේ. එක තැන පල්වෙවී ඉන්නවාට වඩා ලස්සනට හැඩට සමාජයට මුහුණ දෙන එක කොතරම් අර්ථවත්ද. මම වුණත් විලාසිතා කරන්නේ ඒකයි. හැබැයි මට ගැළපෙන ඒවා විතරයි මං අඳින්නේ පළඳින්නේ.

* ඒ වගේම ඔබ ශෘංගාරාත්මක ඡායාරූපවලටත් පෙනී සිටින්න හපනෙක්. ඒත් ළඟදී අපි දැක්කේ නැහැ ඔබ එවන් වූ සේයාරූ පෙළකින්?

මගේ නවකතාවක් එන්න තියනවා. ඒ සඳහා මං ඔය වගේ ඡායාරූප කිහිපයක් ගත්තා. ඒවා අතිශය ආදරණීයයි. ශෘංගාරාත්මක ඡායාරූපත් තියෙනවා.

* මෙවර ඔබ කාත් සමඟද එවන් වූ ඡායාරූපවලට පෙනී සිටියේ?

නව පරපුරේ නිළියන් කිහිප දෙනෙක් ඊට සහභාගි වුණා. එය වෙනස්ම ආකාරයේ ඡායාරූප එකතුවක් වේවි.

* වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?

කියන්න නම් දේවල් ගොඩයි. අද මාධ්‍ය ක්ෂෙත්‍රය එහෙම් පිටින්ම ආඬි හත් දෙනාගේ කැඳහැලිය වගේ.

* ඇයි එහෙම කියන්නේ?

අද තියෙන නිදහසත් එක්ක මාධ්‍යවල ඉන්න සමහරු පිස්සු නටනවා. භාෂා සංහාරයකුත් පෙනෙන්න තියෙනවා. මේවා කොහෙන් නවතීවිද කියලා කියන්න අමාරුයි. සියල්ල මුදල්වලට යටවීමත් මේ තත්ත්වයට හේතුවක්.

* තමන්ගේ චැනල් අහන බලන අයට තෑගි බෝග මුදල් ලබාදීමත් බහුල වශයෙන් සිදු වෙනවා. මේ ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ?

අන්තිම වැරැදි වැඩක්. චැනල් වලින් හොද දේවල් දෙනවා නම් ආයේ අමුතුවෙන් සල්ලි දෙන්න ඕනෑ නැහැ ඒවා අහන්න බලන්න කියලා. මාධ්‍යකරුවන් වෙළෙන්දෝ වෙලා. වෙළෙන්දොත් තමන්ගේ ලාභ බඩු අලෙවි කරගන්න මාධ්‍ය පාවිච්චි කරනවා. ඔය ක්‍රමය පටන් ගත්තේ එක්තරා පුද්ගලයෙක්. ඔහු තමයි ජනප්‍රිය ගුවන් විදුලි කලාව ආරම්භ කළේ. ඒත් එයින් විනාශයක් වුණා කියලා ඔහුවත් පිළිගත්තේ නැහැ.

* ඔබ ඔය කියන තැනැත්තා අද ජීවතුන් අතර නැහැ. ඔබට ඔහු ජීවතුන් අතර ඉන්න කොට ඔය චෝදනාව නඟන්න තිබුණා?

ඔව්. මම එහෙම කළා. මගේ මුහුණට මුහුණ කියන පොතෙහි ඔය තැනැත්තාගේ නමක් එක්ක මා සටහන් කළා. මොන දේ වුණත් ඇත්ත කියන්න එපායැ.

* අද මාධ්‍ය තියෙන තත්ත්වය ඉතාමත් නරකයි කියලා ඔබ කිව්වා. ඔබගේ ගෝල බාලයිනුත් යන්නේ එවන් වූ තැන්වලට නොවේද?

ඒක ඇත්ත. ඒත් ඉතින් මොනවා කරන්නද. ඔබ ඔය ප්‍රශ්නය අහද්දී මට එක්තරා සිදුවීමක් මතක් වුණා.

* ඒකත් කියමු?

මම කිහිප දෙනෙකුම යැව්වා එක්තරා මාධ්‍ය ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට. මා අදහන මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් තමයි ඔවුන්ව පරීක්ෂණයට ලක් කරලා තිබුණේ. කියන්න කනගාටුයි ඔහු අහලා තිබුණු දේවල් ගැන. කෙළින්ම කුණුහරුප ප්‍රශ්න අහලා තියෙන්නේ. ශිෂ්‍යාවන් හොල්මන් වෙලා. පාඨමාලා වැඩක් නැහැ. මේවා තමයි දැනගන්න ඕනෑ කියලා කිව්වලු.

* සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවෝ ගැන මොකද කියන්න තියෙන්නේ?

අන්තිම පහත් වැඩක් ඒක. මං තදින් විරුද්ධයි සිංහල ඉංග්‍රීසි මික්ස් කරනවට. ඉංග්‍රීසි නිවේදිකාවෝ සිංහල භාෂාව යොදා ගන්නේ නැහැනෙ කතා කරද්දී. සිංහල නම් සිංහල, ඉංග්‍රිසි නම් ඉංග්‍රීසි. දෙකම බෑ. එකයි.

* ඒ වුණාට එහෙම සිංග්‍රීසිවලින් කතා කරන ඇතැම් අය කියනවා සමහර වචනවලට යන සිංහල වචන පාවිච්චි කළාම ශ්‍රාවකයන්ට තේරෙන එකක් නැහැ කියලා?

මොන බොරුද. සිංහල බස තරම් රමණීය බසක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. ඕනෑම දෙයකට සිංහලෙන් වචන තියෙනවා. කන්න ඕනෑ වෙලාවට කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ ඕකට තමයි. නිවේදකයන්ට පුළුවන් විය යුතුයි අපට තිබෙන අනන්ත වූ වචන මාලාව භාවිත කරමින් ශ්‍රාවකයාව ඇද බැඳ තබාගන්න. එහෙම කරගන්න බැරි නොහැකියාව ඇත්තවුන් තමයි ඔහොම කතා කියන්නේ.

* ඔබ කියන්නේ හැමෝම ගුවන් විදුලි නිවේදකයෝ වගේ වෙන්න ඕනෑ කියලද?

නැහැ. අදටත් මනා සංයමයකින් යුතු නිවේදක පරපුරක් ගුවන් විදුලියට ඉන්නවා. පෞද්ගලික නාළිකාවන්වලට ඒ සංයමය නැහැ. මම කියන්නේ නැහැ ඔක්කොම නිවේදකයෝ එහෙම වෙන්න ඕනෑ කියලා. ඒත් අහන් ඉන්න බැරි තරමට නිවේදක නිවේදිකාවෝ හිරිකිත විදිහට තම රාජකාරිය කළොත් අන්න එතන ගැටලුවක් තියෙනවා.