|
‘සරච්චන්ද්‍රට රිදෙන්න ගහන්න’ ඒ. ජේ. රණසිංහ චිත්‍රසේනට කියයි
සුනිල් සාන්තයන්ගේ ලිපිය සරසවිය පුවත්පතේ පළ වී පසු දින උදේ වරුවේ මට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබිණ. ඒ බලයට පත් රජයේ පළාත් පාලන නිවාස හා ඉදි කිරීම් අමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතාගෙනි. ප්‍රේමදාස මහතා මා ඉතා හොඳින් දැන සිටියත් එතුමා මට දුරකතනයෙන් කතා කළ මුල්ම අවස්ථාව මෙය විය. 'මම ප්‍රේමදාස. රන්ජිත් සුනිල් සාන්ත ගැන ලියපු ලිපිය කියෙව්වා. අපි එයාට ගෙයක් දෙන්න යන්නේ. දැන්ම ජාඇලට මම වාහනයක් යවනවා. රන්ජිත් ඒ අයට උදව් කරන්න ඕනෑ. මම චෙයාමන්ටත් මේ ගැන කිව්වා.' 'සර් එයා නහයට නාහන කෙනෙක්. කොච්චර නැති බැරි වුණත් ආඩම්බරයි' මම කීවෙමි. 'මම ඒ සේරම දන්නවා. මට ඒ ගැන එවන්ස් කිව්වා. ඒ සේරම කියලයි කට්ටිය පිටත් කළේ' ප්‍රේමදාස මහතා රිසීවරය තැබුවේය. එතුමන් එවන්ස් යැයි කිව්වේ ප්‍රවෘත්ති ලේකම් එවන්ස් කුරේ ගැනය. කතුවරයාගේ උපදෙස් පරිදි' අලුත්ම තොරතුරු දැන ගැනීමට මම පසුදා උදේ ජාඇලට යන බසයෙන් එහි ගියෙමි. 'හරි වැඩේ තමයි රන්ජිත් කරන්නේ, ඊයේ නිවාස දෙපාර්තමේන්තුවෙන් මහත්තුරු වගයක් මෙහේ ආව. ප්‍රේමදාස උන්නැහේ එන්න කිව්වා කියලා මට ගෙයක් දෙන්න. දැන්ම කොළඹ යමු කිව්වා.' 'ඉතිං ඉතිං . . . ' මම කුතුහලයෙන් ඇසුවෙමි. 'මගේ නෝනා ඉස්කෝලේ ඉඳලා ආවා. අපි දෙන්නම ජිප් එකේ දාගෙන නාරාහේන්පිට පැත්තට එක්ක ගියා. 'මේව තමයි ඉස්තරම්ම, අලුතින් හදපු ෆ්ලැට්' කියලා ඇල්විටිගල ෆ්ලැට් තියන තැනට එක්ක ගියා. මම ඒ මහත්තුරුන්ට කිව්වා 'මේ කලබලේ මට වැඩක් කරන්න බැහැ කියලා. පස්සේ ඒ මහත්තුරු රාජගිරියේ වැලිකඩ පැත්තට අපිව එක්ක ගියා. කලින් රජයේ නිවාස උප ඇමතිවරයාව සිටි බී. එච්. බණ්ඩාර මහත්තයා හිටිය ගෙය . ඒක තනි ගෙයක්. මම කිව්වා 'මේ ගේ නම් හොඳයි. හැබැයි ගේ නිකම් එපා. කොටස් වශයෙන් සල්ලි ගෙවන්න පහසු ක්‍රමයක් හදලා දෙන්න කියලා. අපට කරපු උපකරවලට ඇමතිතුමාට ස්තූතියි කියලා කියන්න. හැබැයි රජෝ මට ඇමතිතුමාගේ ගම්උදා උත්සවවල සින්දු කියන්න විතරක් කතා කරන්න එපා කියලා ඇමතිතුමාට කියන්න.' සුනිලුන් එදා ගමන ගැන විස්තර කරමින් කිවේය. ඉන් පසු සුනිලුන් ගේ නව නිවස්න වූයේ රාජගිරියේ ඒ නිවසය. නව නිවසට ගිය මට කිරිබත් කෑල්ලක් කන්න යැයි සුනිල් සාන්ත යුවළ ආරාධනය කළහ. එම අවස්ථාවට මා සහභාගි වූයේ ඉතා සතුටිනි. සංග්‍රහයෙන් පසු සුනිලුන් තම බිරිඳට කී වදන මට කිසිදා අමතක නොවේ. 'ලීලා මම ජීවතුන් අතර නැති කාලෙක රන්ජිත් ගෙදරට ආවොත් තේ කොප්පයක් නොදී යන්න දෙන්න එපා. අපි අද මේ ගෙදර ඉන්නේ සරසවිය පත්‍රය නිසා. එකට අපි කළ ගුණ සලකන්න ඕනෑ. මම මේ සියලු විස්තර බෙතේජු මහතාට කීවෙමි. 'අපි කළේ පුතේ ලොකු පිංකමක්' ඔහු තම මේසයට තට්ටු කරමින් කීවේය. අද සුනිල් සාන්ත ජීවිතයෙන් සමුගෙනය. පශු වෛද්‍ය කලා ශාන්ත පදිංචිව දිටින්නේ ඒ නිවසේය. එහි පෝටිකෝවේ සුනිල් සාන්තයන්ගේ බක් ෆියට් රථය තවමත් දක්නට ලැබේ. 1977 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන රජයේ පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් ඇමති හා සභානායක ආර්. ප්‍රේමදාස මහතා එයට අමතරව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූයේ 1978 පෙබරවාරි 4 වෙනිදාය. ප්‍රේමදාස මහතා අගමැතිවීමෙන් පසු මරදානේ ටවර් රංග ශාලාව රජයට පවරා ගෙන එය නවීකරණය කොට ටවර් හෝල් රඟහල පදනම යටතේ පැරණි ටවර් නාට්‍යවලට පුනර්ජීවනය ලබාදීමේ අදිටනින් 'සිරිසඟබෝ' හා 'ශ්‍රි වික්‍රම' නාට්‍යය නැවත නිෂ්පාදනය කළේය. 'සිරිසඟබෝ', 'ශ්‍රි වික්‍රම' නව නිෂ්පාදනය ගැන විවිධ මත පළ වෙද්දී මට දිනක් මහාචාර්ය සරච්චන්ද්‍රයන් අහම්බෙන් ලයනල් වෙන්ඩ්ට් ශාලාව අසල දී හමු විය. 'සර්, මොකද හිතන්නේ 'සිරිසඟබෝ' අලුතින් කිරීම ගැන . . .' මම මහාචාර්යතුමාගෙන් ඇසුවෙමි. 'යමුකො අපි ක්ලබ් එකට ගිහින් කතා කරමු' අපි ටික වේලාවක් සිරිසඟබෝ හා ශ්‍රී වික්‍රම ගැන කතා කළෙමු. ඒ ඇසුරෙන් ලිපියක් ලියූ මම එය සරසවිය පුවත්පතේ පළ කළෙමි. එහි ශීර්ෂ පාඨය වූයේ 'සිරිසඟබෝ' හා 'ශ්‍රී වික්‍රම' ආදී පැරණි ටවර් නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීම එලොවටත් මෙලොවටත් නැති වැඩක් කියාය. ලිපිය පළ වී දින කිහිපයකින් (එදා ඉරිදා උදෑසනකි) මගේ නිවස ඉදිරියේ විශාල මෝටර් රථයක් නතර විය. ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජේ. රණසිංහ මහතාත්, සරසවිය කර්තෘ ධර්මදාස බොතේජුත් ඉන් ගොඩ බටහ. 'රංජිත් ලියපු අර ඩොක්ටර් සරච්චන්ද්‍රගේ ආටිකල් එක දැකලා ලොක්කට හොඳටම කේන්ති ගිහිල්ලා. අපි ඒකට කැපෙන්න හොඳ උත්තරයක් ලියන්න ඕනෑ' රණසිංහ මහතා කීවේය. ඔහු ලොක්කා කීවේ අගමැතිතුමාටය. 'අපි උත්තරයක් පළ කරමු' බොතේජු මහතා කලබලයෙන් තොරව, ගැඹුරු කටහඬින් කීවේය. 'චිත්‍රසේන පිළිතුරක් දෙන්න සූදානම් රණසිංහ මහතා කීවේය. 'හරි හොඳයි, ඩොක්ටර් සරච්චන්ද්‍රට උත්තර ලියන්න ඕනෑ චිත්‍රසේන වගේ කෙනෙක් තමයි' බොතේජු මහතා කීය. 'ඔව් අද හවස මම ගෙදරට කාර් එකක් එවනවා. බොතේජුයි, ඔයයි කොල්ලුපිටියේ චිත්‍රසේනලාගේ ගෙදරට එන්න. මම එහේ ඉන්නවා' එදා හවස බොතේජු මහතාත්, මාත් චිත්‍රසේනගේ නිවසට යන විට රණසිංහ මහතාත්, චිත්‍රසේනයනුත් නැපෝලියන් වර්ගයේ බ්‍රැන්ඩි පානය කරමින් සිටියහ. 'ආ එන්න එන්න . . . පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙනම කතා කරමු' කී රණසිංහ මහතා තමා තරුණ කාලයේ සුනිල් සාන්ත, සරත්සේන, අමරදේව සමඟ චිත්‍රසේන කලායතනයේ ගත කළ සුන්දර කාලයත්, සෙස්සන් තම තමන්ගේ ගෙවල්වලට ගියත් තමා පැදුරක් එලාගෙන නිදා ගත් යුගයක් ගැනත් මතක කළේය. 'අපි වැඩේට බහිමු' යැයි රණසිංහ මහතා නැගිට්ටේ බ්‍රැන්ඩි වීදුරු කිහිපයක් පානය කිරීමෙන් පසුවය. සටහන් පොත ද රැගෙන මා චිත්‍රසේනයන්ගේ කන්තෝරු කාමරයට ගිය අතර බොතේජු මහතාත්, රණසිංහ මහතාත් සිටි තැනම කතා කරමින් 'සරච්චන්ද්‍රට හොඳටම රිදෙන්න ගහන්න' උපදෙස් දුන්නේය. සාකච්ඡාව සාර්ථකව කෙරුණේය. ශේක්ස්පියර් නාට්‍ය තවමත් දිනපතා එංගලන්තයේ වේදිකා ගත වන බව පවසමින් කතා කළ චිත්‍රසේනයන් ගේ අදහස් ශාස්ත්‍රීය පදනමකින් යුක්තය. මේ සාකච්ඡාව පළ වීමෙන් අපූරු සංවාදයක් සරසවියෙන් ගොඩ නැගෙන බව දැන මම සත්වනක් පිනා ගියෙමි. හිටි හැටියේම රණසිංහ හා බොතේජු මහතුන් අප අසලට පැමිණියහ. මෙහිදී චිත්‍රසේනයන්ට අදහස් දුන්නේ රණසිංහයන්ය. රණසිංහ මහතා කියන දේ පත්තරේක ලිවිය නොහැකිය. එය සම්පූර්ණයෙන්ම සරච්චන්ද්‍රයන්ට පුද්ගලිකව මඩ ගැසීමකි. අපහාස කිරීමකි. අවස්ථාව ලැබූ පරිද්දෙන් චිත්‍රසේනයන්ගේ තර්කානුකූල අදහස් මම ගොනු කර ගතිමි. එහි අර්ථයක් ද ඇත. ඊළඟ සතියේ 'සරච්චන්ද්‍රයන්ට චිත්‍රසේනගෙන් පිළිතුරක්' නමින් ඒ ලිපිය පළ විය. පසුදා රණසිංහ මහතා මට ටෙලිෆෝනයෙන් කතා කළේ තරමක කේන්තියෙනි. 'අර මොනවද ලියලා තිබුණේ. චිත්‍රසේන කියපු ඒවයැ. ලොක්කට කේන්ති ගිහින් ඉන්නේ?' රණසිංහ මහතා කාටදෝ කියා ලියාගත් ලිපියක් සරසවිය කර්තෘතුමාට එවා තිබුණි. බොතේජු මහතා එය රැගෙන ලේක්හවුස් සභාපති බෝධිනාගොඩ මහතා ළඟට ගෙන ගියේය. සභාපතිතුමා ටවර්හෝල් රඟහල පදනමේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි. බොතේජු මහතා ඒ ලිපිය ප්‍රධාන උප කර්තෘ සෝමවීර සේනානායකට භාර දුන්නේ 'සෝමේ මේකේ සැර අඩු කරලා දාමු' කියමින් සෝමවීරගේ මේසයට තට්ටුවක් දමමිනි. ඊළඟ සතියේ හවසක ලයනල් වෙන්ඩ්ට් රඟහල ළඟදී චිත්‍රසේනයන් මා දැක නැවතී ඔහු වෙත එන තෙක්ම බලා සිට අතින් අල්ලා ගත්තේය. 'අයිසේ, අපි යමු බියර් එකක් බොන්න' 'අයිසේ සරසවියේ මගේ ආටිකල් එක දැක්කා. එදා අර රණසිංහ කියාපුව ලියයි කියලා මගේ ඇඟේ ලේ නැතිව හිටියේ. ඩොක්ටර්ට එහෙම ගහන්න පුළුවන්ද? 'මයි ඩියර් යූ ආර් අ ගුඩ් ජර්නලිස්ට්' චිත්‍රසේනයන් මට ප්‍රසාදය පළ කළේය. චිත්‍රසේන වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවකුගෙන් එවැනි පැසසුමක් ලැබීම මගේ පත්‍ර කලා ජීවිතයේ සිහිවටනයකි. ඒ. ජේ. රණසිංහ මහතා මා දුටු හොඳම සංවිධායකයෙකි. ටවර් හෝල් රඟහල පදනම අරඹා එය ඉතා උසස් තත්ත්වයක නැංවීමට ඔහු පුරෝගාමී වුවා පමණක් නොව, එහි පැවැත්ම, මනා පරිපාලනයට සෑහෙන පරිශ්‍රමයක් දැරුවේය. එපමණක් නොව අද වේදිකා නාට්‍ය ලෝකයේ ඉහළම තැන්වල සිටින නළු නිළියන් රැසකට රැකියාත්, මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේත්, සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේත් නිවාස ලබා දුන්නේය. ඇතැම් කලාකරුවන්ට නාරාහේන්පිට ඇල්විටිගල මහල් නිවාස ද, කලා පුරයෙන් ඉඩම් ද ලබාදීමට ඔහු පුරෝගාමී විය. එමෙන්ම රණසිංහ මහතා අවංක, හිත හොඳ මිනිසෙකි. මම ඔහුගෙන් කිසිදු උපකාරයක් නොගත් බව ද මෙහි සඳහන් කළ යුතුය. රුක්මණී දේවිය රිය අනතුරකින් මියගිය පසු ටවර් හෝල් රඟහල පදනමේ මෙහෙයවීමෙන් ඇය රඟපෑ චිත්‍රපට උලෙළක් ටවර් රඟහලේ පැවැත්වීමට ලේක්හවුස් සභාපතිතුමා මූලිකත්වය ගත්තේය. මෙම උත්සව කමිටුවට බොතේජු මහතාත් මාත් ඇතුළත් කෙරිණ. උළෙලට අවශ්‍ය චිත්‍රපට තෝරා ගැනීම, ඒවා සොයා ගැනීම මට පැවරිණ. ඒ සඳහා ටවර් රඟහලින් වාහනයක් මට ලබා දුන්නේය. මට අවශ්‍ය වූයේ හැකිතාක් පැරණිම චිත්‍රපට තෝරා ගැනීමය. කොටහේනේ වසා දමන ලද පැරණි සිනමාහලක් වූ 'ඩොමිනියන්' ශාලාවේ පැරණි චිත්‍රපට ගබඩා කරන ලද විශාල කාමර දෙකක් ඇති බවට ආරියරත්න කහවිටගෙන් ඔත්තුවක් ලැබිණ. මට එහි අධිපතිගෙන් චිත්‍රපට පරීක්ෂා කිරීමේ බලය ලබා දුන්නේ ඒ. ජේ. රණසිංහ මහතාය. දූවිලි පීරා, කබල් මළකඩ කෑ චිත්‍රපට කෑන්ස් පිරික්සා කපටි ආරක්ෂකයා, කවට අන්දරේ, දස්කොන්, ළාදළු, දෛවයෝගය, නළඟන, සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපට තෝරාගෙන උදය වරුවේ ටවර් රඟහලේ සිනමා ශාලාවේ නරඹා හොඳම පිටපත් තෝරා ගතිමි. රණසිංහ මහතාට මා යෝජනා කළේ ඒ ඒ චිත්‍රපටවල රඟපෑ ප්‍රධාන නළුවකුගේ ප්‍රධානත්වයෙන් චිත්‍රපට සතියක් පැවැත්විය යුතු බවය. ඔහුගේ අනුමැතිය යටතේ සේනාධීර කුරුප්පු, ක්‍රිස්ටි ද මැල්, හර්බට් එම්. සෙනෙවිරත්න, ස්ටැන්ලි පෙරේරා, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, ඩොමී ජයවර්ධන, එඩී ජයමාන්න ආදී නළු නිළියන්ගේ ප්‍රධානත්වයෙන් 'රුක්මණී දේවි' උපහාර චිත්‍රපට උලෙළ' පවත්වන ලද අතර එය අතිශයින්ම සාර්ථක විය. පේ‍්‍රක්ෂකයන් හා සරසවිය පාඨකයන්ගේ ඉල්ලීම පිට තවත් ඇය රඟපෑ චිත්‍රපට සතියක් පැවැත්වීමේ අභියෝගය මට පැවරිණ. ඒ අනුව වීදුරු ගෙවල්, පිපෙන කුමුදු, ඉහත ආත්මය, දෛවයෝගය (ප්‍රේක්ෂක ඉල්ලිම මත) සහ තවත් චිත්‍රපට ඇතුළත් කොට, රූබී ද මැල්, පියදාස ගුණසේකර, සේනාධීර රූපසිංහ ආදීන්ගේ ප්‍රධානත්වයෙන් එය පවත්වන ලදී. මේ සියලු දේවල ගෞරවය අගමැතිතුමාගෙන් ලබා ගත්තේ ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයයි. |