වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




‘තුන්වැනි යාමය’ සාකච්ඡාවෙන් ධර්මසිරි කෝප වෙයි

‘තුන්වැනි යාමය’ සාකච්ඡාවෙන් ධර්මසිරි කෝප වෙයි

'දෙසතියේ'දී මා ලද තවත් අත්දැකීම් කීපයක් සටහන් කළ යුතුය.

එකල චිත්‍ර ශිල්පීන් හා ඔවුන්ගේ ප්‍රදර්ශන ගැන ලිපි ලීවේ මාය. වරක් ප්‍රවීණ චිත්‍ර ශිල්පී කොල්වින් සෙට්ටිනායක හමුවන්ට ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා සමඟ මා කොල්වින් එවක සේවය කළ මාරවිල 'බුද්ධි බතික්' ආයතනයට ගිය ගමන මට අදත් සිහිපත් කළ හැකිය. කොල්වින් ධීවර පරිසරයේම විසූ කාන්තාවක සමඟ විවාහ වී කුඩා ගෙයක පදිංචිව සිටියේය. කොල්වින් ඉතාම සරල ජීවිතයක් ගත කරන අහිංසක, නිර්ව්‍යාජ කලාකරුවකු බව මම එදා පසක් කර ගතිමි. ඔහු අපට සංග්‍රහ කළේ ගහෙන් බාපු 'රා' වලිනි.

ජයසිරි සේමගේ, ජී. ඇස්. ප්‍රනාන්දු, එස්. එච්. සරත්, මහින්ද අබේසේකර, සේනක සේනානායක, ප්‍රේමදාස බදුගොඩහේවා, කිංස්ලි ගුණතිලක මා සම්මුඛ සාකච්ඡා කළ ප්‍රවීණ සිත්තරුන් කීප දෙනෙකි.

මහාචාර්ය ඩී. වී. හපුආරච්චි ලියූ 'සිංහල නාට්‍ය ඉතිහාසය' (1860 - 1911) නම් වූ ග්‍රන්ථය නිකුත් වූයේ 1983 දී පමණය. නාට්‍ය ග්‍රන්ථය අලළා මහාචාර්ය තිස්ස කාරියවසම්ගෙන් විචාරයක් ලියව ගන්නැයි ගාමිණී විජේතුංග මට කීවේය. එම විචාරයෙන් තිස්ස බරපතළ ශාස්ත්‍රීය චෝදනාවක් හපුආරච්චි වෙත එල්ල කළේය. හපුආරච්චි තම පෙතෙන් කියා සිටියේ ප්‍රථම සිංහල නූර්තිය ලෙස සැලකෙන සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාරගේ 'රොලීනා' නාටකය වේදිකාගතව ඇත්තේ හින්දුස්තාන් ඩ්‍රැමටික් කොම්පැනිය නම් වූ ඉන්දීය නාට්‍ය සමාගම මෙරටට පැමිණෙන්ට ප්‍රථමයෙන් බවය. ඒ අනුව 'රොලිනා' නාටකයට පාර්සි නාට්‍යයේ බලපෑමක් නැතැයි හපුආරච්චි කියයි.

එහෙත් මහාචාර්ය කාරියවසම් තම විචාරයෙන් පෙන්වා දෙන්නේ එය සදොස් බවත් 'රොලිනා' රංගගත වන්ට වසර 5 කට පමණ පෙර හින්දුස්තාන් ඩැමටික් කොම්පැනිය මෙරටට විත් නාට්‍ය රඟ දැක් වූ බවත් එහි බලපෑමෙන් 'රොලිනා' නාටකය බිහි වූ බවත්ය.

මෙම විචාරයට මහාචාර්ය හපුආරච්චිගෙන් ප්‍රතිචාරයක් ලැබිණි. 'නවතින්න තිස්ස ඇයි මේ' යන සිරස යටතේ එම පිළිතුරු ලිපිය (මේ අගනා සිරස්තලය යෙදුවේ ගාමිණීය) 'දෙසතියේ' පළ වූයේය. එමඟින් හෙතෙම තම පොතේ ඇති කරුණු තවදුරටත් තහවුරු කර සිටියේය. 'රොලිනා' නාට්‍යයේ ප්‍රස්තාවනාවේ එහි මුද්‍රිත දිනය 1876 කියා සඳහන්ව තිබෙන බවත් පර්සි නාට්‍යකරුවන් මෙරටට පැමිණියේ 1882 දි බවත් ඔහු එහිලා කියා සිටී.

1983 දී සිදු වූ තවත් සිද්ධියක් නම් 'තුන්වැනි යාමය' චිත්‍රපටය තිරගත වීම නිමිත්තෙන් ධර්මසිරි බණ්ඩාරනායක සමඟ ගාමිණීත් මාත් කළ සම්මුඛ සාකච්ඡාවය. 'මගේ චිත්‍රපට ශිල්පීය හරඹ වෙන්නේ උඹලාට' යන නමින් එය 'දෙසතිය' ජූලි 15 කලාපයේ පළ වූයේය. මෙම සම්මුඛ සාකච්ඡාවේදී අප ඇසූ ප්‍රශ්නවලට ධර්මසිරි බෙහෙවින් කෝප ගත්තේය. ඔහු අප හැඳින් වූයේ තම පෞද්ගලික ලෝකය ආක්‍රමණය කළ විචාරකයන් දෙදෙනකු ලෙසය. (ඒ බව ලිපියේ සඳහන්ව ඇත) ඊට පසු ටික කලක් ධර්මසිරි ගාමිණී සමඟත් මා සමඟත් අමනාපව සිටියේය. මෙය ඉතා සාර්ථක සම්මුඛ සාකච්ඡාත්මක ලිපියක් බව සිරිල් බී. පෙරේරා මා හමු වූ අවස්ථාවක කියා සිටියේය. සිරිල් වැනි ජ්‍යෙෂ්ඨ කලා විචාරකයකුගෙන් එබඳු ප්‍රශංසාවක් ලැබීම භාග්‍යයක් කොට මම සැලකුවෙමි.

මා ජී. බී. සේනානායක හමුවන්ට ගියේ ද 'දෙසතිය' වෙනුවෙනි. (එම ගමනට මා මිත්‍ර ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ද එක් වූ බව මතකය). එවක ජී. බී. සිටියේ ජාඇල විශාකා වත්තේය. ඔහු පදිංචිව සිටි ස්ථානය පිළිබඳ හෝඩුවාව දුන්නේ ලෙස්ලි බොතේජුය. මුලින් ජී. බී. අපට සම්මුඛ සාකච්ඡාව දීම ප්‍රතික්ෂේප කළේය. ඔහු කියා සිටියේ ධනපති පත්තර කන්තෝරු හා පොත් ප්‍රකාශකයන් තමා සුරාකෑ බවය. වෛද්‍යවරුන්ට, නීතිඥයන්ට මෙන් තමාට ද කිසියම් ගෙවීමක් කරන්නේ නම් සම්මුඛ සාකච්ඡාවකට ඉඩ දිය හැකි බව හෙතෙම කියා සිටියේය. එහෙත් අප පත්‍ර කලාවට ආධුනිකයන් බැවින් ආපසු හරවා නොයවන ලෙස අපි ඔහුගෙන් ඉල්ලා සිටියෙමු. අවසානයේ ඔහු අපට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය. ඊට අදාළ ලිපිය 'රුක් සෙවණැලි අතර දැල්වෙන පළිඟු පහනක්' යන නමින් දෙසතිය 1981 නොවැම්බර් කලාපයේ පළ විය.

ගුණදාස ලියනගේ මහතා 'කල්පනා' සඟරාව වෙනුවෙන් ජී. බී. සේනානායකට රුපියල් 300 ක ගෙවීමක් කොට ඓතිහාසික සම්මුඛ සාකච්ඡාව ලබා ගත්තේ ඊට පසු කලෙකය. ඒ අවස්ථාව අපෙන් ගිලිහී ගියේ ඒ වන විට අප පුවත්පත් කලාව ගැනත් සිදුවීම්වල ප්‍රවෘත්තිමය වටිනාකමත් නොදැන සිටි බැවිනි.

මගේ කුසලතාව කෙරෙහි බලාපොරොත්තුවක් තැබූ ගාමිණී මට 'දෙසතිය' පිටු හතරක සාහිත්‍ය අතිරේකයක් කරන්ට භාර දුන්නේය. සාහිත්‍යකරුවන් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡා, පොත් විචාර එහිලා පළ වූයේය. ඒ වනවිට පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා නොදුන් අජිත් තිලකසේනගෙන් සාකච්ඡාවක් කොට ලිපියක් සකස් කරන්ට ලැබීම මා ලත් ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකා සිනමා විචාරක සංගමය බිහි වූයේ 'දෙසතිය' කාර්යාලයේදීය. ඒ වනවිට චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය බිඳ වැටී තිබිණි. එහි නිතර ආගිය නීල් අයි. පෙරේරා, සිරිල් බී. පෙරේරා යන දෙදෙනා විචාරක සංගමය අභිනවයෙන් පිහිටුවිය යුතුය යන අදහස ගාමිණීට ඉදිරිපත් කළේය. මගේ පරණ දින පොත්වලට අනුව ශ්‍රී ලංකා සිනමා විචාරක සංගමය 1986 පෙබරවාරි 15 වැනි දින ජාතික කතෝලික සිනමා පර්ෂද කාර්යාලයේදී පිහිටුවන ලදී.