වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




නම වෙනස් කළේ ප්‍රවීණ නිළි සීතා කුමාරියි

නම වෙනස් කළේ ප්‍රවීණ නිළි සීතා කුමාරියි

ඕෂධ කුමා කුරුකුලසුරිය

සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට ක්ෂේත්‍රයට පිවිසෙන්නට ආසා කළ ඕෂධ කුමා කුරුකුලසූරියට අන්තිමේ වුණේ නළුවෙකු වෙන්න. නමුත් සහාය අධ්‍යක්ෂණයෙන් නිර්මාණ සඳහා දායක වන්නට ද ඔහුට ඉඩ ප්‍රස්තාව ලැබුණා.

අහසින් වැටුණු ගැහැනිය තමයි ඕෂධගේ පළමු ටෙලි සිතුවම. එහි ඔහු රංගනයෙන් පමණක් එකතු වුණත් දෙවැනි නිර්මාණයේදී ඕෂධ සහාය අධ්‍යක්ෂවරයකු වෙනවා.

ඒ සමාවෙන්න සර් ටෙලි සිතුවම හරහා. එහිදී ද ඔහු චරිතයකුත් මැව්වා. පසුව වසුදා, පතිනි,පස්මල් පෙති, නිල් අහස ඔබ, සිත නිවන කතා, කිඳුරංගනා, ජීවිතය ලස්සනයි, අංගානි, අනවරථ වැනි ටෙලි සිතුවම් හරහා විවිධ චරිත ඔස්සේ අප හමුවට ආවා.

ඒ කාලයේදීම ස්වර්ණාභිමානය තරගාවලියෙන් ඕෂධ නිවේදන අංශයෙන් ජයග්‍රහණය ලැබුවා. ඉන් පසුව ස්වර්ණවාහිනියේ පුහුණු නිවේදකයකු හැටියට වැඩ කළා. කිඳුරංගනා ටෙලි නාට්‍යයහි සහාය අධ්‍යක්ෂවරයා වුණේ ඕෂධ. එහි ඔහු රඟපෑ චරිතය ඔස්සේ වැඩි ජනප්‍රියත්වයක් ඕෂධ කරා පැමිණියා.

කිඳුරංගනා ටෙලි නාට්‍යය කරන කාලේ එක්තරා නිළියකගෙන් තමන්ට නිතර බැනුම් අසන්නට සිදු වුණු බැව් ඔහු අපිත් එක්ක කිව්වා. ඇතැම් අවස්ථාවලදී ඕෂධට ක්ෂේත්‍රය එපාවන තරමටම හිතත් කලකිරුණලු. නමුත් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්ෂේත්‍රයේ ඉදිරිය දකින්න ඔහු තීරණය කළා. කෙසේ වෙතත් එම ටෙලි සිතුවමෙන් පසුව ඕෂධ වැඩිය සහාය අධ්‍යක්ෂණයට ප්‍රිය කළේ නැතිලු.

රංගන කටයුතුවලට ගිහින් අනවරථ ටෙලි සිතුවම වැඩ කටයුතු අතරතුර ඕෂධට බිහිසුණු සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වුණාලු. ඕෂධ පැමිණි වාහනය හැප්පිලා. වාසනාවට සුළු තුවාල හැර ඔහුට වැඩි ආපදාවක් සිදු වුණේ නැතිලු.

ඕෂධගේ ගම මීගමුව කුරණ. කුරණ ශාන්ත ආනා සහ මීගමුව ලොයෙලා යන විදුහල්වලින් තමයි ඔහු සිප්සතර හැදෑරුවේ. මේ වන විට ඕෂධ කොළඹ අගරදගුරු පදවියේ මීගමුව කලාපයේ නාහිමි කාර්යාලයේ සේවය කරනවා. රැකියාවෙන් තමන්ට හොඳ නිදහසක් ලැබෙන බව ඔහු කිව්වා.

ඕෂධ ක්ෂේත්‍රයට පැමිණෙද්දී භාවිත කළ නම තමයි චන්දන කේ. කුරුකුලසූරිය. සීතා කුමාරි නම් වූ රංගන ශිල්පිණියයි ඔහුගේ නමේ ඉතිරි කොටස් එකතු කරලා ඕෂධ කුමා කුරුකුලසූරිය කියලා නම තියලා තියෙන්නේ.

ඕෂධ වර්තමානයේදී රංගනයට අමතරව හඬ කැවීමේ කටයුතුවල ද නියැළෙනවා. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය හතරකටම ඕෂධ රංගනයෙන් දායක වෙනවා. ඒ දේදුනු මායා, වස්සානේ ප්‍රේමය සහ කොළඹ අපි ආවා.

මෙතෙක් පැමිණි ගමනට තමන්ට උදව් කළ සුරංග ලක්මාල් සෙනෙවිරත්න, මේධා ජයරත්න, පවුලේ පිරිස සහ මීගමුව කළාපය බාර නා හිමිපාණන්ට තුති පිදීමට ද ඕෂධ අමතක කළේ නැහැ.