|
අන්තර්ජාතික සම්මානයන්ට වඩා අපේ සම්මානය වැදගත්
එපමණක් නොව ඇය ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේදී මෙන්ම තමිල්නාඩු අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී ද හොඳම නිළිය ලෙසින් සම්මානනීය වූයේ තම රංගන ප්‍රතිභාව ලොවටම කියාපාමින්. මේ ගෞරවය වෙනුවෙන් ඇය ජනාධිපති සම්මාන උලෙළේදී විශ්ව කීර්ති සම්මානයෙන්ද පිදුම් ලැබුවා. එදා සිට මේ දක්වා රංගනයේ දිගු ගමනක් පැමිණෙන්නට පෙර මං තැනූ ඒ සුන්දර අතීතය සිහිපත් කරන්න දමිතා සරසවියට ඇවිත්.
* ඔබත් සරසවිය සම්මාන උලෙළේ සුන්දරතම මතක සටහන් හිමි රංගන ශිල්පිනියක්? ඇත්තටම ඒ සතුට නම් කියලා නිම කරන්න බැහැ. ප්‍රථම රංගනය සම්මානයට පාත්‍රවීම රංගන ශිල්පිනියකට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.
* ඒ සතුටුදායක අවස්ථාව ආයමත් සිහිපත් කරමු? මට ප්‍රථමයෙන්ම සරසවිය සම්මාන උලෙළකට ආරාධනා ලැබුණේ මීහරකා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. එහිදී මට සම්මානයක් ලැබේවි කියලා නම් හීනෙන්වත් හිතුවේ නැහැ. ඒ වුණත් එදා මම කුසලතා සම්මානයකින් පිදුම් ලබන්න වාසනාවන්ත වුණා. සම්මානය වෙනුවෙන් මගේ නම නිවේදනය කරනවිට ලොකු සතුටක් දැණුනා. කොහොම වුණත් සම්මාන උලෙළට ආරාධනා කිරීමම මට ලොකු සතුටක් වුණා. සම්මානය ලැබෙන අවස්ථාවේදි මට දැණුනු සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ.
* මීහරකා චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබුණේ කෙසේද?
* ප්‍රථම සිනමා අත්දැකිම විඳගත්තේ කෙසේද? පළමු ටෙලි නාට්‍යය අත්දැකීමේදීත් මට අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එච්. ඒ පෙරේරා, ශ්‍රීයාණි අමරසේන, ලියෝනි කොතලාවල වැනි මහත්ම මහත්මීන් මට ලොකු සහයෝගයක් දුන්නා. ස්වර්ණා අක්කා අපේ සිනමාවේ චරිතාංග නිළියන් අතරේ ඉහළින්ම සිටින කෙනෙක්. මට මගේ ප්‍රථම චිත්‍රපටයේ රඟපාන්න ලැබුණේ ස්වර්ණා අක්කා වගේම ලින්ටන් අයියා, සනත් ගුණතිලක මහත්මයා සමඟින්. මේ අය අතරේ මම හරි පොඩි කෙනෙක්. හැබැයි මට එදා ඒ ආධුනිකත්වය දැනෙන්න මේ කිසිවෙකුත් ඉඩ තැබුවේ නැහැ. කලා ක්ෂේත්‍රයේ මං ගැන පළමු අනාවැකිය කිව්වේ ස්වර්ණා අක්කා. මේ වෙලාවේ ඇයවත් බොහොම ගෞරවයෙන් මතක් කළ යුතුයි. මේ ෆිල්ම් එකට ඔයාගේ රංගනයට අනිවාර්යනේම සම්මාන ලැබෙනවා පුතේ කියලා එදා මම රඟපානවා බලාගෙන හිටිය ස්වර්ණා අක්කා කිව්වා අද වගේ මතකයි. ඉතිං සරසවිය සම්මාන උලෙළේ කුසලතා සම්මානය වගේම ස්වර්ණ සංඛ සිනමා උලෙළ් හොඳම සහය නිළිය සම්මානයත් මට හිමි වුණා.
* එදා සරසවිය සම්මානය අතේ තියාගෙන ඉදිරිය ගැන හිතුවේ මොකක්ද? සම්මානය ලැබුණු අවස්ථාවේ මම වයසින් පොඩි වුණත් ලොකු වගකීමක් ලැබුණා වගේ හැඟීමක් දැනුණා. මම රංගනය හදාරන්න කොහේවත් ගියේ නැහැ. නමුත් මට ලැබෙන චරිත අධක්ෂවරයාගේ උපදෙස් අනුව හොඳීන්ම කරන්න මම හිතට ගත්තා. ඕනෑම චරිතයක් වෙනුවෙන් මගේ වගකීම, යුතුකම ඉටුකරන්න එදා මම හිතට ගත්තා වගේම අද දක්වාම එය ඉෂ්ඨ කරලත් තියෙනවා. මොකද ලැබෙන හැම චරිතයක්ම මට ලැබෙන දායාදයක් කියලයි හිතුවේ.
* එයින් වසර නවයක් ගත වූ පසුව ඔබ එහි විශිෂ්ට ප්‍රතිඵල පෙන්වනවා නේද? ඉනෝකා සත්‍යාංගනි අක්කා අධ්‍යක්ෂණය කළ සුළං කිරිල්ලී චිත්‍රපටයේ රංගන වෙනුවෙන් මට 2004 වසරේදී සරසවිය හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව දැනටත් මගේ හිතේ නැවුම්ව තියෙනවා. ඇත්තටම මගේ සිනමා ජීවිතයට සුළං කිරිල්ලී විතරක්ම වුණත් ඇති. එදා ඉනෝකා අක්කා මට දුන් අවස්ථාව නිසා මට ලෝකේ වටේම යන්න අවස්ථාව ලැබුණා. ඒ රංගනය නිසා දැවැන්ත අන්තර්ජාතික සිනමා උලෙළවලදීත් මම හොඳම නිළි සම්මානයෙන් පිදුම් ලබන්න වාසනාවන්ත වුණා. දැනටත් අපේ රටේ වැඩිම අන්තර්ජාතික සම්මාන ගණනක් ලද සිනමා නිර්මාණය වෙන්නෙත් සුළං කිරිල්ලී. සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් සුළං කිරිල්ලී සම්මානනීය වෙන විටදී මම හොඳම නිළිය වුණා. ලෝකේ කොහෙන් සම්මාන ලැබුවත් අපේ රටේ අපේම අයගේ අත්පොළසන් නාදය මැද සම්මානයක් අතට ගන්න කොට දැනෙන සතුට ගොඩක් ඉහළයි.
* අධ්‍යක්ෂවරියක සමඟින් කටයුතු කිරීම කොහොමද?
එදා සුළං කිරිල්ලි චිත්‍රපටයේ රතීගේ චරිතය වෙනුවෙන් ඉනෝකා අක්කා මා කෙරෙහි දැක් වූ විශ්වාසය අදටත් එලෙසින්ම තියෙනවා. ගැහැණියකගේ අභ්‍යන්තරය මට ඉනෝකා අක්කා තුළින් තේරුම් ගන්න හැකි වුණා. මාව රතීගේ චරිතයට පොළඹවන්න ඇය මට දුන් උපදෙස් විශේෂ වුණා. විශේෂයෙන් කාන්තාවක් විසින් තවත් කාන්තාවක් අධ්‍යක්ෂණය කිරීම අමාරු දෙයක් කියලා හිතුවත් ඒක එහෙම නැහැ කියලා ඇය සුළං කිරිල්ලී හරහා ඔප්පු කළා. රතීගේ චරිතයට විතරක් නෙවෙයි මේ ක්ෂේත්‍රෙය් ඉදිරියට යන්නත් ඇයගෙන් ලද උපදෙස් මට ගොඩක් වටිනවා.
* ඔබ සම්මානනීය වූ මේ චිත්‍රපට දෙකේදීම ලින්ටන් සේමගේ නම් නළුවා සමඟ රංගනය විශේෂයි? මීහරකා චිත්‍රපටයේ වගේම සුළං කිරිල්ලී චිත්‍රපටයෙත් මට රඟපාන්න ලැබුණේ ලින්ටන් සේමගේ අයියා එක්ක. මීහරකා චිත්‍රපටයේදී තියපු තැනමයි ලින්ටන් ඒ වෙනකොටත් මාව තියලා තිබුණේ. ඒ නිසාම සුළං කිරිල්ලී දර්ශන තලයේදී අයියෝ ඉනෝකා මේ මගේ නංගිනේ ඔයා ගෙනත් තියෙන්නේ කියලා කිව්වා. ඔහු අපේ කලා ක්ෂේත්‍රයේ සිටි සම්පතක්. අති දක්ෂ නළුවෙක්. ඒ වගේම සහෝදර ශිල්පීන්ට ගරුකරන කලාකරුවෙක්. ඒ වගේම වෘත්තිය ගෞරවය රකින නළුවෙක්. මට මීහරකා චිත්‍රපටයේදී වගේම සුළං කිරිල්ලී චිත්‍රපටයේදීත් ඔහුගෙන් ලද සහයෝගය ඉතාම ඉහළයි.
* රංගනය පමණක් නොව ඔබ නර්තනයට සේම ගායනයටත් දස්කම් දක්වනවා. නමුත් මේ සෑම අංශයකින්ම සිනමාවට ඔබෙන් ලද දායකත්වය ගැන සෑහිමකට පත් වෙනවාද? මට මගේ නර්තන හැකියාව නම් සිනමාව වෙනුවෙන් දෙන්න බැරි වුණා. ඒ හැඟීම මගේ හිතේ තියෙනවා. හැබැයි ගායන අංශය ගත්තොත් චිත්‍රපට තේමා ගීතයක් ගායනා කළා. නමුත් මගේ යටි හිතේ තිබූ දේ තමයි අද ඉටු වෙලා තියෙන්නේ. මම හැමදාම කැමැති වුණේ ස්වර්ණා අක්කා වගේ නිළියක් වෙන්න. වාණිජ චිත්‍රපට බලන්න ලොකු ආසාවක් තිබුණත් මම කලාත්මක චිත්‍රපට පමණක් තෝරා ගන්න හේතුවත් එය යි. කලාත්මක වුණත් තෝරා ගත් නිර්මාණවලට තමයි මගේ දායකත්වය දුන්නේ. ඒ තුළ සාර්ථක වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා නර්තනය සහ ගායනය මඟ හැරුණාට දුකක් නැහැ. මොකද මගේ යටිහිතේ තිබුණු බලාපොරොත්තුව ඉටු වෙලා.
|