වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




මේක බිස්නස් එකක් ආණ්ඩුවෙන් මොකටද සහනාධාර?

මේක බිස්නස් එකක් ආණ්ඩුවෙන් මොකටද සහනාධාර?

අනුරාධ රැකව සමඟ සිනමාවේ ඩිජිටල් සංක්‍රාන්ති යුගය ගැන අලුත් කතාබහක්

අනුරාධ රැකව

කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාව

ශ්‍රී ලංකාවට ඩිජිටල් අලුත්ය. යමෙකු එය ලෝකයට ද අලුත් යැයි පැවසුවහොත් එය පට්ටපල් බොරුවකි. අපට එය අලුත් වන්නේ චිත්‍රපටයේ ඩිජිටල් ප්‍රදර්ශනය පමණි. රටක් ලෙස පෙර හා පසු නිෂ්පාදනයට ඩිජිටල් තාක්ෂණය එක්කොට බොහෝ කල්ය. පෙර නිෂ්පාදනයේ සිට චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනය දක්වා වන කාලයේ අද දින දෛවය ඩිජිටල් තාක්ෂණයයි. නමුත් සියල්ල ඩිජිටල්වලින් නිමවා ප්‍රදර්ශනයේදී අති පැරැණි, අඩු ප්‍රමිති, වැඩි වියදම් ක්‍රමයකට යාමට තරම් නිර්මාණකරුවන්ට දෛවය සරදම් කරන එකම රට ශ්‍රී ලංකාවදෝයි සිතෙනා තරම්ම ලංකාවේ ප්‍රදර්ශන පස පිරිහී තිබේ. මේ පිරිහීමේ තත්ත්වය කෙබඳු ද, මින් ගොඩ ඒමේ මඟක් නැතිද, නීතිය රකින ඉහළ බල ඇත්තන්ගේ වගකීම කුමක්ද යනු වර්තමානයේ චිත්‍රපට කර්මාන්තය විසඳා ගත යුතු ගැටලුයි. අද වන විට මිලි මීටර් 35 හේ චිත්‍රපට පිටපත් මුද්‍රණය කරන අපට ඉතිරි වී ඇති ලෝකයේ එකම ආයතනයත් වැසී යාමේ තර්ජනයකට මුහුණ දී සිටින වෙලාවක ලංකාව කුමන මඟක් ගත යුතුද. අප මෙය කතාබස් කොට දැනගන්නට සිතුවේ අනුරාධ රැකව ගෙනි. සිය වසකටත් වඩා පැරැණි චිත්‍රපට ප්‍රදර්ශනය, නිෂ්පාදනය හා ආනයනය ගැන නමක් තබා ඇති ලංකාවේ නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ඔහුය. අඩි දහස් ගාණක් දිග ලංකාවේ සෙලුලොයිඩ් චිත්‍රපටයේ අවසානය ගැන කියන්නට ඔහු එක් වුණේ මෙසේය.

* අනුරාධ අපි නිව් ඉම්පීරියල් ටෝකීස් ඉඳන්ම පටන් ගනිමු නේද

නිව් ඉම්පීරියල් ටෝකීස් ඉතිහාසය පටන් ගන්නේ 1900 දශකයේ ඉඳන්. මුලින්ම මේ සමාගම පටන් ගත්තේ ඒ දවස්වල ලංකාවේ හිටපු පෝලන්ත ජාතික මහත්මයෙකුයි හාන්ස් ඇන්ඩ්‍රියස් වැන් ස්ටැරෙක්ස් මහත්මයයි. ඒ පෝලන්ත ජාතික මහත්මයා ව්‍යාපාරය භාර දිලා රටෙන් පිටවුණ නිසා ඒ දිනවල සිලෝන් තියටර්ස් සමාගම තමයි බොහෝ චිත්‍රපට ලංකාවට ගෙන්නුවේ. සිලෝන් තියටර්ස් සමාගම නගරබද ස්ථාවර සිනමා ශාලාවල චිත්‍රපට පෙන්වන කොට ඒ චිත්‍රපට ගම්බද පෙන්වූයේ නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගම. ඒ ජංගම කූඩාරම් සිනමා ශාලා නමින් ගමට ගෙනිහින්. මේ ව්‍යාපාරය වැඩෙන කොට පළමුවැනි ලෝක යුද්ධයවත් ලෝකෙට ඇවිත් නැහැ.

හාන්ස් ඇන්ඩ්‍රියස් වැන් ස්ටැරෙක්ස්

* අද වෙද්දී ජංගම සිනමා ශාලා සංකල්පය රටේ නැතත් විශිෂ්ට සිනමා සංස්කෘතියක් බිහි කරන්න මේ සංකල්පය හේතු වුණා නේද?

අනිවාර්යයෙන්ම. ඒ දවස්වල ලොකු විනෝද මාධ්‍යයක් මිනිස්සුන්ට තිබුණේ නැහැනේ. ඒක නිසා මේ කූඩාරම් සිනමා ශාලාවලට මිනිස්සු පුදුම ප්‍රතිචාරයක් දැක්වූවා. ඒ දවස්වල ගොන් කරත්තවලින් තමයි මේවා ප්‍රවාහනය කළේ. විශේෂයෙන්ම ගම්වල අස්වනු කැපිලා මිනිස්සුන්ගේ අතේ මිටේ මුදල් ගැවසෙන කාලෙට තමා වැඩියෙන්ම වැඩ තියෙන්නේ. ඒ වගේම මෝසම් වැසි කාලෙත් අපි මඟ හරිනවා. රත්නපුරෙන් පටන් ගත්තම අම්පාර, මඩකලපුව, මුතූර්, ත්‍රිකුණාමලය පැතිවලට මේ සිනමාහල් කණ්ඩායම් ගමන් කළා. අපේ සමාගමට ඒ වගේ කණ්ඩායම් විස්සකට වැඩිය හිටියා. ආදායම් අතින් සරු වුණත් මේ වගේ කූඩාරම් පරිපාලනය කරගන්න එක ලෙහෙසි නැහැ. මේ ජංගම සිනමාහලකට සේවකයෝ 25 ක් විතර ඉන්නවා. කූඩාරම් අධිපති තමයි ලොක්කා. ප්‍රොජෙක්ටර් එකටම ඉන්නවා සේවකයෝ බර ගාණක්. ප්‍රධාන ඔපරේටර්වරයාට අමතරව පටල පටි දර්ශනයකින් පස්සේ ආපස්සට කරකවන්න රිවයින්ඩර් කෙනෙකුත් හිටියා. ඒ දෙන්නට සහායකයෝ දෙන්නෙකුත් හිටියා. පෝස්ටර් අතින් අඳින්න චිත්‍ර ශිල්පියෝ කිහිප දෙනෙකුත් කෝකිවරුත් හිටියා. ඒ වගේම අර කූඩාරම් අධිපතිට තුවක්කුවකුත් උණ්ඩත් දීලා තිබුණා. මොකද ඈත පිටිසර ප්‍රදේශවල හාල්, පොල් හොයා ගන්න පුළුවන් වුණාට මසක් මාංශයක් හොයා ගන්න නැහැ. ඒ නිසා දඩයමේ යන්නයි සමාගම ඒවා දුන්නේ. ඔක්කෝමටත් වඩා කූඩාරම්වලට එන සෙනඟ ආම්බාම් කරන එකයි අමාරුම වැඩේ. ඒකටත් සේවකයෝ හිටියා. කොහොම කොහොම හරි ඒ ගම්වල තරුණියො ඒ අයත් එක්ක යාළු වුණා. (සිනාසෙමින්) මොකද නිකං ෆිල්ම් බලන්න පුළුවන්නේ. ඒ කෙහොම වෙතත් ඔය සෙනඟ පාලනය කරන්න ගිය වැඩෙන් පිහි ඇණුම් දෙකකුත් වාර්තා වුණා. වාසනාවකට ඒවා මිනීමැරුම් නොවී බේරුණා.

* එතකොට සමාගම කාලයත් එක්ක ස්ථාවර සිනමා ශාලාවලට මාරු වුණේ නැද්ද?

මාරු වුණා. 1920 දශකය වෙනකොට අපි පළමුවැනි ස්ථාවර සිනමාහල යටියන්තොට පටන් ගත්තා. ඒක දැවැන්ත සිනමා හලක්. යටියන්තොට රබර් වතු තිබුණු ජනාකීර්ණ පැත්තක් නිසා සුද්දොත් ලාංකිකයොත් සෑහෙන පිරිසක් ආවා චිත්‍රපට බලන්න. ඒකේ බැල්කනි ආසන විතරක් 200 ක් තිබුණා. ඒවා වෙන් වුණේ සුද්දන්ට. ලංකාවේ මිනිස්සුන්ට තිබුණේ පහළ බංකු . නගර ශීඝ්‍රයෙන් ජනාකීර්ණ වුණු නිසා අපි සම්පූර්ණයෙන් ව්‍යාපාරය ස්ථාවර සිනමාහල්වලට විතැන් කළා. යටියන්තොටට අමතරව අවිස්සාවේල්ල, කුරුණැගල, රත්නපුර, බලංගොඩ, පානදුර, මඩකලපුව, මුතූර් නගරවල අපි සිනමාහල් හැදුවා. කාලයක් යද්දී ව්‍යාපාර අයිතියෙත් වෙනසක් වුණා. ඒ ජ්‍යෙෂ්ඨ වැන් ස්ටැරෙක්ස් මහත්මයා හදිස්සියේ මිය ගිය නිසා. කණිෂ්ඨ හාන්ස් ඇන්ටන් වැන් ස්ටැරෙක්ස්ට තරුණ වියේදීම සමාගම භාර වුණා. පස්සේ කාලේක ඉන්දියාවේ සුප්‍රකට මදන් චිත්‍රපට සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී රාමසාමිත් මේකට හවුල් වුණා. කොහොම වෙතත් ඒ පරණ කූඩාරම් සිනමාහල්වලින් සෑහෙන ලාභ සමාගමට ලැබුණා. කොච්චර ලැබුණාද කියනවා නම් සමහර ප්‍රදේශවල කූඩාරම් ගහපු අක්කරයක විතර ඉඩමත් මිලදී අරන් තමයි කූඩාරම අකුලන් ගියේ. සමහර ප්‍රදේශවල හිටපු පොහොසත් අය අපේ උපකරණ මිලට අරන් ඒ තැන්වලම සිනමාහල් හැදුවා.

* අපි දන්න විිදිහට නම් සමාගමේ සිනමාහල්වලටත් ජනප්‍රිය ඉතිහාසයක් තිබුණා. නමුත් ඉන් මත්තට නිව් ඉම්පීරියල් සිනමාහල් ගැන අහන්න ලැබෙන්නේ නැති තරම්. මොකක්ද හේතුව?

හාන්ස් ඇන්ටන් වැන් ස්ටැරෙක්ස්

1970 වෙනකොට අපිට සාර්ථක සිනමාහල් 10 ක් තිබුණා. ඒවා ‘ඒ’ ශ්‍රේණියේ විශිෂ්ට සිනමාහල් හැටියටත් පසු කාලයක චිත්‍රපට සංස්ථාවෙන් වර්ගීකරණය කළා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයත් දැඩි කැපවීමෙන් වැඩ කළා. ඒ අය අනිත් සමාගම්වල අය වගේ යූනියන් හදන්න ගියෙත් නැහැ. සිනමාවේ ස්වර්ණමය කාලය එහෙම ගෙවද්දී අපිට විවිධ ප්‍රශ්න ආවා. ඒ කාලේ ආණ්ඩුව ඉඩම් පවරගන්න තීරණය ගනිද්දී අපේ සමාගමේ සිනමාහල් ඉඩම් රජයට පවරා ගත්තා. ඒ නිසා ගොඩක් සිනමාහල් වැහුණා. පස්සේ බේරුවලයි, කළුතරයි තිබුණු ඉඩම් දෙකත් ආණ්ඩුවට ගත්තා පොදු වැඩකට කියලා. ඒවායේ වන්දි හම්බ වුණෙත් අවුරුදු 10 කට විතර පස්සේ. ඊට පස්සේ ලොකු සුළි සුළඟක් ඇවිත් මඩකලපුවේ හෝල් එක ගහගෙන ගියා. ඔක්කෝමටත් වඩා යුද්දේ ඇවිලිච්ච නිසා මුතූර් හෝල් එකට කොටි ගැහුවා. අපේ සේවකයෙක් බෙහොම අමාරුවෙන් තමා යුද්දේ අස්සේ ගිහින් ඒකේ උපකරණ ටික ගලවං ආවේ. ඔහොම ව්‍යාපාරය දුර්වල වෙද්දී තමා අපි 1978 න් පස්සේ චිත්‍රපට ආනයනය පටන් ගත්තේ. ලංකාවේ ඉස්සෙල්ලම බෘාස් ලී ගේ සටන් ක්‍රියාදාම සහිත චිත්‍රපට පෙන්නුවේ අපි.

* අද වෙනකොට සිනමා සංස්කෘතියත් සමාජයෙන් ඈතට ගිහින්නේ. එහෙම තත්ත්වයක් උඩ ප්‍රේක්ෂක ඔළු ගෙඩි අඩු ප්‍රමාණයකින් හොඳ සිනමාහලක් පවත්වාගෙන යන එක සෑහෙන දුෂ්කර වැඩක් නේද?

මම ඔයාට හොඳ උදාහරණයක් කියන්නම්. ඔයා මේ කතාව විශ්වාස කරන එකකුත් නැහැ. අපේ කුරුණෑගල ඉම්පීරියල් හෝල් එකට කාලෙකට කලින් දැම්මා දෙමළ චිත්‍රපටයක් ‘වේදලම් කියලා. ඒකේ ඉන්නේ අජිත් කුමාර්. දැම්මේ රාත්‍රී දර්ශන වාරයකට. ඔයා විශ්වාස කරන්න හෝල් එකට දරන්න බැරි සෙනඟ ගොඩක් එතැන තෙරපි තෙරපි හිටියා. අන්තිමේදී පෝලිම් දික් ගැස්සිලා සෙනඟ පාරේ පොරකනවා. පොලීසියෙනුත් අපිට බැනුම් අහන්න වුණා අපිට සෙනඟ පාලනය කරන්න බැරි නිසා. අන්තිමේදී දර්ශන වාරය හවුස්ෆුල් වුණා. මේ වැඩි හරියක් තරුණයෝ. සද්ද බද්ද අස්සේ මේගොල්ලො බලලා ගියාට පස්සේ මම ගියා හෝල් එක ඇතුළට. හෝල් එක ගන්න දෙයක් නැහැ. බියර් කෑන් හැම තැනම. කොහොම හරි මේ දෙමළ චිත්‍රපට බලන්න තරුණයෝ පුත්තලමෙන් අනුරාධපුරයෙන් පවා එන්න ගත්තා ලොරිවල එහෙම නැගලා. විජේයිගේ ‘තෙරී’ චිත්‍රපටයටත් ඕකමයි වුණේ. පස්සේ බැරි තැන සෙනඟ පොරකන නිසා වැටක් ගැහුවා සෙනඟ පාලනය කරන්න. ඒක ශාලාවේ පිටත පෙනුමට අවුල්. ඒත් කරන්න දෙයක් නැහැ. ඉතිං චිත්‍රපට සංස්ථාවෙන් ප්‍රශ්නයක් අපිට නැහැ. හොඳ නිර්මාණ විඳින්න මිනිස්සු එනවා. මිනිස්සු වැඩි හරියක් වියදම් කරන්නෙත් කන්න බොන්නයි විනෝද වෙන්නයිනේ. මේ විදිහට නැවත ප්‍රේක්ෂකයෝ පොර කකා එන්න ගත්තේ ඩිජිටල් තාක්ෂණයෙන් අනර්ඝතම රූප ටිකක් දෙන්න පුළුවන් වුණු නිසා.

* මම ඔය ඩිජිටල් කතන්දරයට එන්න හැදුවේ. දැන් ඔබ එතැනට ස්වෙච්ඡාවෙන්ම ආවා. ඔබේ සමාගම කුරුණෑගල ඉම්පීරියල් සිනමාහල 2K ත්‍රිමාන (3D) සිනමාහලක් බවට පරිවර්තනය කළා. දැන් ඒක කොළඹින් එපිට තිබෙන විශිෂ්ටතම සිනමාහලක්. මේ තාක්ෂණය භාවිත කිරීමේ දැනට ලංකාවේ තත්ත්වය මොන වගේද?

පොදුවේ ලංකාවේ තාක්ෂණික තත්ත්වය ගත්තහම තවමත් තියෙන්නේ දුර්වල මට්ටමක. මුළු රටේම තියෙන්නේ සිනමාහල් 160 කට කිට්ටු ප්‍රමාණයක්. මේවායින් වැඩි හරිය තවමත් දුවන්නේ මිලිමීටර් 35 හේ පැරැණි ප්‍රොජෙක්ටර්වලින්. ප්‍රක්ෂේපණය ඩිජිටල් ස්වල්ප සිනමාහල් ගණනක විතරයි. වැදගත්ම දේ හොඳ නිර්මාණකරුවෝ දැඩි අකැමැත්තක් දක්වනවා තමන්ගේ චිත්‍රපට 35 මි. මී.වලින් පෙන්වන්න. මොකද ඔවුන් පාවිච්චි කරන කැමරා හා අනෙකුත් තාක්ෂණය ඉතාම දියුණු නවීන ඩිජිටල් ඒවා. ඒවායින් කරන නිර්මාණ මි. මී. 35 න් පෙන්වන කොට රූපවල තත්ත්වය බාල වෙනවා. අනික් කාරණය මි. මී. 35 පිටපතක් දැන් තිබෙන තත්ත්වෙත් එක්ක මුද්‍රණය කරන්න ලක්ෂ 2 කට කිට්ටු වියදමක් යනවා ඩොලරයේ අගයත් වැඩි නිසා. වැදගත්ම දේ මේ මුද්‍රණ කටයුතු කරන්න ඉන්දියාවේ පිහිටලා තියෙන්නේ එකම ලැබ් එකයි. අනිත් ඔක්කොම වහල දාලයි තියෙන්නේ. මුම්බායිවල තියෙන මේ ලැබ් එකත් මම හිතන්නේ නැහැ 2017 වෙනකම්වත් දුවයි කියලා. ඒදාට අපේ අයට යන්න තැනක් මේ අවට නැහැ. එදාට හැමෝටම සිද්ධ වෙනවා ඩිජිටල් ප්‍රක්ෂේපණ හයි කරගෙන සිනමාහල හදාගන්න.

* නමුත් ඩිජිටල් තාක්ෂණයෙන් 2K ඉවතට විසිවෙලා 4K තෙක් තත්ත්වය උසස් වෙලා. එහෙම බලන කොට අපිත් පසුගාමී ඩිජිටල් යුගයේ නේද පසු වෙන්නේ?

එහෙම බැලුවොත් අපි පිටිපස්සේ තමයි. ඩුබායිවල දුම ගහල වතුර ගහල 5D චිත්‍රපට පෙන්නනකොට අපි තාම 3D බලනවා. නමුත් මේ දේවල් ක්‍රමානුකුලව වෙන්න ඕනෑ. දැනට ලංකාවට 2K තාක්ෂණය ප්‍රමාණවත්. ඒකේ තත්ත්වය හොඳයි. නමුත් වියදම් වැඩියි. 2K තාක්ෂණයට පහළින් තමා ‘ඥ’ සිනමා තාක්ෂණය තියෙන්නේ. ඩිජිටල් තමයි නමුත් වියදම් සාපේක්ෂව අඩුයි. ගොඩක් අය මේ තාක්ෂණයට දැන් යොමු වෙලා තියෙනවා. නමුත් ප්‍රශස්ත තාක්ෂණය තමයි 2K හෙවත් ‘D’ සිනමාව.නමුත් ජනාකීර්ණ නගරයෙන් ඈත සිනමාහල් කොහොමද එක පාර ලොකු වියදමක් කරලා 2ම් තාක්ෂණය ගේන්නේ. ඒක ඔවුන්ට දරන්න අමාරුයි. ‘ඥ’ සිනමාවෙන් ඔවුන්ට පටන් ගන්න පුළුවන්. අනික ලොකු සිනමාහලක් 2K ත්‍රිමාන තත්ත්වයට සියලු පහසුකම් එක්ක පරිවර්තනය කරනවා නම් මිලියන 20 ක් වත් වැය වෙනවා. මොකද ටොයිලට් එකේ ඉඳන් සියලුම පහසුකම් හදන්න එපායැ.

* මේ ප්‍රායෝගික ගැටලු දිහා බලද්දී සිනමා ශාලා හිමියන් රජයෙන් සහනාධාර ක්‍රමයක් ඉල්ලන එක සාධාරණයි නේද?

මේක බිස්න්ස් එකක්නේ. ආණ්ඩුවෙන් මොකටද සහනාධාර? පෞද්ගලික බිස්නස්වලට ආණ්ඩුවක් කොහොමද සල්ලි දාන්නේ. අනික මේ සමහර සිනමාහල් හිමියෝ ආසාවට තීන්ත බාල්දියක් ගාන්නේ නැහැ. ඉස්සර ණය දීලා සමහර අය සංස්ථාවත් බංකොලොත් කරලා බැංකුවලටත් පොලු තිබ්බා. ඒ නිස ඒවා ප්‍රායෝගික කතා නෙවෙයි. ලංකාවේ සිනමා කර්මාන්තය වෙනුවෙන් ආයේජකයෝ ඕනෑ තරම් ඉන්නවා.

* නමුත් බදුකරණයේ ඉඳලම ආණ්ඩුව මේ කර්මාන්තයට දායක වෙනවා. එහෙම තත්ත්වයක් උඩ රජය තිරයෙන් පිටුපස කාර්යයක් නෙවෙයි නේද කරන්නේ?

සිකුරු හතේ චිත්‍රපටයෙන්...

ඇත්ත. සහනාධාර අවශ්‍ය නැහැයි කියලයි මම කිව්වේ. රජයක් කළ යුතු දේවල් සහ කළ දේවල් ගොඩක් තියෙනවා. දැන් බලන්න ශාලාවලට අවශ්‍ය සියලුම උපකරණ බද්දෙන් නිදහස්. සුළු සුළු ගාස්තු කිහිපයක් විතරයි ගෙවන්නේ. හැබැයි එක ලංකාවේ සමාගමක් ආණ්ඩුවට බලපෑම් කළා ආසනවලට බදු පනවන්න. මොකද ඔවුන් දේශීයව ඒවා හදන නිසා. නමුත් සිනමා ශාලා ආසන එකක්වත් මොවුන් හදන්නේ නැහැ. ඒ නිසා නිකරුණේ 100% ක් බදු ගෙවාගෙන ආසන ගේනවා. අනික මේ විනෝද බදු ගැහිල්ලත් සාර්ථක නැහැ. 3.10% ක බද්දක් පළාත් පාලන ආයතනයටත් 7.5% බද්දක් සංස්ථාවත් අය කර ගන්නවා. ඉස්සර පටල පටි නිතර ගිනි ගන්නා නිසා සුද්දා තීරණය කළා සිනමාශාලවලට ගිනි නිවන ඒකකය සිරුවෙන් තියන්න. ඒකටයි ඒ මුදල අය කළේ. ඒ අතින් සුද්දා කළේ සේවයක්. එත් අද ඇයි එහෙම ගාස්තුවක් ගන්නේ. අනික සමහර පළාත් පාලන ආයතන හිතූ හිතූ ගණන් අය කරනවා. අනික සංස්ථාව ඇයි මැද්දට පැනලා බිස්නස් කරන්න හදන්නේ. ඔවුන්ට මීට වැඩිය හොඳ නැද්ද ක්ෂේත්‍රයට හොඳ ශිල්පීන් හදන්න සිනමා පාසලක් පවත්වාගෙන යන එක.

* නමුත් මේ මොහොත වෙන කොටත් සංස්ථාව බලවත්. ඔවුන් නීතියක් මඟින් පාලනය වෙන්නේ. ප්‍රදර්ශනය වගේම ආනයන කටයුත්තටත් ඔවුන් මැදිහත් වෙනවා?

1971 චිත්‍රපට සංස්ථා පනතින් ඔවුන්ට ලොකු බලයක් ලැබුණා. ඒ පනතින් ඔවුන්ට කළ නොහැකි දෙයක් නොමැති තරම්. මම යෝජනා කරන්නේ සංස්ථාව ටිකට්පත්වලින් ගන්න බද්ද ඉවත් කරලා සාධාරණ ස්ථාවර ගාස්තුවක් නියම කරන්න ඕනෑ. එතකොට අර මම කියපු පිටරට ආයෝජකයන් බය නැතුව ආයෝජනය කරනවා. අනික හොඳ කර්මාන්තයක් වෙනුවෙන් චිත්‍රපට සංස්ථා පනත අහෝසි වෙලා වෙන ක්‍රමවත් යාන්ත්‍රණයක් ඇති විය යුතුයි. එතකොට ආයෝජකයන්ට තියෙන බය නැත්තටම නැති වෙයි. අනික මේ ඩිජිටල් ප්‍රදර්ශන පිටපතක් වෙනුවට දැන් ලෝකය හුරුවෙලා තියෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා චිත්‍රපට එකවර මුදා හරින්න. ඒ අලුත් තත්ත්වය අපිටත් ආපු දවසක අපිට පුළුවන් හොඳම සිනමා ශාලා විනෝද මධ්‍යස්ථාන කරන්න. යුරෝපයේ ෆුට්බෝල් තරඟ, ලංකාවේ ක්‍රිකට් තරඟ පුළුල් තිරයක අපිට පෙන්වන්න පුළුවන් උදාහරණයක් විදිහට. නමුත් පනතින් ඒ වගේ දේකට ඉඩක් නැහැ. ඒකට අනුව මේවායේ පෙන්වන්න පුළුවන් චිත්‍රපට පමණමයි.

* මේ අතරවාරයේ චිත්‍රපට ප්‍රදර්ශන සැලැස්ම වෙනස් වෙන්නට යනවාය කියලා ආරංචියක් ආවා?

ඔව්. ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරිමට නියමිතයි ඒ ගැන. ඒ ගැනත් අපි ආරංචි මාර්ගවලින් හෙව්වා මිසක් නිශ්චිත තොරතුරක් නැහැ. ඔවුන්ට අනුව සිනමා ශාලා මණ්ඩල වර්ගීකරණයෙන් මිදිලා ස්වාධීන වෙන්න ඉඩකඩ ලැබෙන පාටක් තිබෙන්නේ. එවිට ඔවුන්ට පුළුවන් වෙනවා තමන්ගේ හෝල් එකේ දුවන චිත්‍රපටය තමන්ට තීරණය කරන්න. මේක හොඳ තත්ත්වයක්.

* හොඳයි ඔබේ සමාගම ‘ සිකුරු හතේ’ ට පසු චිත්‍රපටයක් නිපදවලා නැහැ. ඒක සෑහෙන කාලයක්?

සිතුරු හතේට කලින් අපි 70 දශකයේ ‘තෙවත’ කළා ටයිටස් තොටවත්ත මහත්මයා එක්ක. නමුත් දැන් එන තිරපිටපත් ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. ඒවා ගොඩක් වෙලාවට කොපි. ඒත් දැන් අලුත් කතාබහක් ඇති විය යුතුයි. ඉස්සර රූපවාහිනියේ විශිෂ්ට ටෙලි නාට්‍යවලට ලංකාවේ හොඳ සමාගම් අනුග්‍රහකත්වය දුන්නා. ඒ වගේ ඔවුන් දැන් චිත්‍රපටවලටත් එන්න අවශ්‍යයි. ෂාරුක් ඛාන් පෙප්සි බෝතලේ අරන් රඟපෑවට ඒවා චිත්‍රපටවලට හානි වුණේ නැහැ. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල අවුඩි කාර් එක රොලෙක්ස් ඔරලෝසුව තිබුණා කියලා හානියක් වුණෙත් නැහැ.

* වසර ගණනාකට කලින් විදේශ රටවල් අපිට තාක්ෂණික ආධාර දුන්නා නේද විවිධ කටයුතුවලට. ප්‍රශ්නය තිබෙන්නේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ නම් ඇයි බැරි ඒ රටවල්වලින් අපට ඒ යන්ත්‍ර ගෙන්වාගන්න?

ඔන්න චිත්‍රපට සංස්ථාව කරන්න ඕනෑ වැඩක්. ඒගොල්ලෝ නිකං ඉන්න එකේ එම්බසි තුන හතරකට ලිව්වා නම් මේ ප්‍රශ්නය විසඳිලානේ. හතරට යන්න තුනහමාරේ ඉඳන් ලෑස්ති වෙන කට්ටියක් එක්ක ඕවා බලාපොරොත්තු වෙන එකත් විහිළුවක්. ඒ දවස්වල අපි වෝනර් බ්‍රදර්ස්ලට යවන්න ලේඛනයක් අත්සන් කරගන්න ගියා. ඒක යනවා පස් දෙනෙක්ගේ විතර අතට. හොඳ වෙලාවට ඒ දවස්වල ෆැක්ස්වලින් ගනුදෙනු කළේ. ඊ මේල්වලින් ගනුදෙනු කළා නම් අපිට පිස්සුද කියලා අහලා ඒ ගොල්ලෝ ගනුදෙනුත් නවත්වලා.