වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




මට දැන් හැත්තෑවයි රහස සුවිශේෂයි

මට දැන් හැත්තෑවයි රහස සුවිශේෂයි

එඩ්නා සුගතපාල

සුන්දර දැරිවියගේ ඇඟිලි තුඩු පියානෝවේ එහා මෙහා ගියේ තාලයට. ඒ හඬ මුළු නිවෙසෙ ම සිටි අයගේ සිතට ගෙනාවේ සතුටක්. මේ අය අතරෙන් කාටත් වඩා සතුටු වුණ තැනැත්තියක් ඒ නිවෙසේ සිටියා. ඒ මේ දැරිවියගේ අම්මා ස්වර්ණා මේරි එක්වරම දැරිවියගේ පියානෝව හඬ නැවතුණා. ස්වර්ණාගේ නෙත නතර වුණේ ඈ අසල ම තිබුණු හෝරා යන්ත්‍රයේ කටු අතර.

පස්වරු 5.25

“මොකද මේ ළමයා පියානෝව වයන එක නැවත්තුවේ. තවත් විනාඩි පහක් තියෙනවා නේ 5.30ට?”

ඈ කිව්වේ පියානෝව වයන දැරිවියට. නියමිත වෙලාවට කලින් පියානෝව නැවතුණොත් එදාට මේ දැරිවියට වේවැල් කසාය ෂුවර්. ඒ කසායෙන් ස්වර්ණා දැරිවියට පියානෝ පාඩමට අමතරව තවත් පාඩමක් කියලා දුන්නා. ඒ වෙලාවට වැඩ කිරීමේ පාඩම.

“එදා අම්මා කියලා දුන්න කාල කළමනාකරණය කිරීමේ ඒ පාඩම් මගේ ජීවිතයට ම වැදගත් වුණා. අද මේ තරම් හොඳීන්, ඉක්මනට මගේ කටයුතු කරගන්න මට පුළුවන් වුණේ ඇගේ ඒ ක්‍රියා කලාපය නිසා. ඒකට මා ඈට ස්තූතිවන්ත විය යුතුයි.”

එඩ්නා සුගතපාල කියන අපේ ප්‍රවීණ නිළිය, ජ්‍යෝතිෂවේදිනිය සාලයේ නිහඬව බලාගෙන සිටි පියානෝව අසලට ළංවුණේ ඒ අතීත සිදුවීම සිහිපත් කරමින් ම. එදා වගේ ම ඇගේ රතැ’ඟිලි පියානෝවේ ස්වර අතර එහා මෙහා දිව්වේ තාලයට. ඉන් ඇසෙන මිහිරි ස්වරය අපගේ සිතට ගෙනාවේ සතුටක්.

මේ විදියට පසුගිය දවසක අපි එඩ්නා සුලතපාලගේ කැදැල්ලට පිවිසුණේ ඇගේ සුවදුක් සොයන්න සිතාගෙන. පිළිවෙළකට, පිරිසිදුව සකසලා තිබෙන සාලයේ සැප පහසු අසුනකට බරවුණු අපගේ නෙත නතර වුණේ එඩ්නා සුගතපාල අසල.

“ඔබගේ සුන්දරත්වයේ රහස මොකක් ද?”

ඇගේ සුන්දරත්වය නෙතට රසඳුනක් නිසා ම මා විමසුවා.

“නිහතමානී, අවංක සිතක මහිමයෙයි ඒ රහස රැඳී තිබෙන්නේ. හැම තිස්සේ ම ඊර්ෂ්‍යාව, කුඩුකේඩුකම, වෛරය, පළිගැනීම වගේ සිතුවිලි සිතක තිබෙන්න හොඳ නැහැ. මේ දුර්ගුණ තිබෙන විටයි තමන්ගේ නිරෝගීකම පලා යන්නේ. තරුණකම පලා යන්නේ. මට මේ වනවිට වයස හැත්තෑවක්. ඒ වයසෙදිත් නිරෝගීව මේතරම් ලස්සනට ඉන්න හැකිව තිබෙන්නේ කලින් සඳහන් කළ කිසිම දුර්ගුණයක් මගේ සිතේ නැති නිසයි. මගේ සිතුවිලිවල තිබෙන සුන්දරත්වය නිසයි.”

කවදා දැක්කත් එක ම විදියට දකින එඩ්නා සුගතපාලගේ සුන්දර රුව ගැන රසිකයන් සිතුවෙත් අපි සිතුව විදියට. වසර ගණනකට පස්සේ දැක්කත් ඈ ගැන ඔවුන් කියන්නේ එක ම එක දෙයක්. ඒ අදත් ඈ එදා දැක්ක වගේ කියලා. ඔන්න ඈ රසිකයන්ගේ ඒ ප්‍රශ්නයටත් මේ වෙලාවේ උත්තරයක් දුන්නා. ඒ වගේම ඒ අවස්ථාවේ ඇගේ වයස හෙළි කරන්නත් එඩ්නා අමතක කළේ නැහැ. එඩ්නා රංගන ශිල්පිනියක් වගේ ම අපූරු සංගීත ගුරුතුමියක්.

“මේ වනවිට ඔබ රංගන ශිල්පය වගේ ම සංගීතයත් අමතක කරල ද?”

“මම මේ වනවිට රංගන කටයුතුවල නියැළෙන්නේ නැහැ. ඒ වගේම මා මෙතෙක් දරු - දැරියන්ට ඉගැන්වූ පියානෝ වාදන පන්තියත් නැවැත්තුවා. බොහෝ කාලයක් මේ කාර්යයන් දෙකේ ම නියැළුණ නිසා ඉන් විවේකයක් ගත යුතු යැයි සිතුවා. එහෙම වුණත් සංගීතය කියන්නේ මගේ ජීවිතයයි. ඒ නිසා ඉඳලා හිටලා පියානෝ එක වයන්න නම් මා අමතක කරන්නේ නැහැ.”

පුංචි කාලයේ උගත් පියනෝ පාඩම් ටික ආදරණීය එඩ්නා ගුරුතුමිය නොයෙක් දරු - දැරියන්ට කියා දුන්නා. ඒ ඒ විභාගවලටත් ඔවුන්ව යොමු කළා. ඒ අතර ම ජ්‍යෝතිෂ කටයුතු ඈ කරගෙන ගියා.

“බොහෝදෙනා අතර ඔබ ජ්‍යෝතිෂ කටයුතුවලට බොහොම ජනප්‍රියයි නේද?”

“පසුගිය කාලයෙත් මගේ ජ්‍යෝතිෂ කටයුතු මා දිගටම කරගෙන ගියා. ඒ සේවය ලබා ගන්න බොහෝදෙනෙක් මා වෙතට පැමිණියා. ඒ පැමිණෙන ප්‍රමාණය එන්න එන්න ම වැඩිවුණා. මේ තත්ත්වය තව තවත් වර්ධනය වන්නේ මේ ළඟදි මා සහභාගි වුණු වැඩසටහන් හා පුවත්පත්වලට ලැබුණු ප්‍රචාරයත් සමඟයි. ඒ ඔස්සේ අපේ රටේ සෑම ප්‍රදේශයක ම සිටින බොහෝදෙනා මට දුරකථන ඇමතුම් දෙන්න පටන් ගත්තා. ඒ අනුව මා නිතර ම ඔවුන්ගේ පලාපල අවශ්‍යතා සියල්ල ඉටු කිරීමට මහන්සි වෙනවා. මේ විදියට බොහෝදෙනා මගේ සේවය ලබා ගන්නට පැමිණෙන්නේ මා කියූ පලාපලවල නිවැරැදිතාව නිසයි.”

එඩ්නා පළකළ විවිධ ජ්‍යෝතිෂ අනාවැකි අද වනවිට සාර්ථක වෙලා. කලා ලොවේ බොහෝ දෙනෙකුටත් ඈ විවිධ අනාවැකි පළ කළා. ඒ සියල්ලත් හරියට ම හරි. මේ සෑම දෙයක් ම කරන්නේ හැදෑරීමකින් පසුව වීමයි ඇගේ විශේෂත්වය වන්නේ. කුමන කර්තව්‍යයක නියැළුණත් ඈ උදෙන්ම අවදි වෙන්නේ අනලස් කාන්තාවක ලෙසින්.

“උයන පිහන කටයුතු සිදු වෙන්නෙත් ඔබගේ දෑතින්ම ද?”

“උදෙන්ම අවදි වෙලා නිවෙසේ කටයුතුවල මා නියැළෙන්නේ සුපුරුදු විදියටමයි. අස්පස් කරන කාර්යයේ පටන් උයන පිහන සියලු ම කටයුතු සිදු කරන්නේත් මගේ දෑතෙන්. උදේ, දවල්, රාත්‍රි ආහාර එක ම වෙලාවක් ඇතුළේ සකස ගන්නවා. ඒ නිසා උදේ දහය වනවිට මුළුතැන්ගෙයි සියලු කටයුතු අවසානයි. අනෙක් දේවල් වගේ ම මට මුළුතැන්ගෙයත් ලස්සනට තිබිය යුතුයි. එහි වැඩ කටයුතු සියල්ල ම පිළිවෙළකටයි සිදුවිය යුත්තේ. මේ කටයුතුවලින් පසුවයි නිවෙස අස්පස් කිරීම ආරම්භ කරන්නේ.”

ඒ කටයුතුවලින් පස්සේ ජ්‍යෝතිෂ වැඩ කටයුතු. එඩ්නා සුගතපාලගේ දවස ගෙවෙන්නේ ඒ විදියට. විශේෂයෙන් කෙනෙක් ඈව හමුවන්න එන බව පැවසුවොත් ඈ සියලු වැඩ කටයුතු කලින් ම අහවර කරලා අමුත්තන් වෙනුවෙන් කාලය වෙන් කරන්නේ ආගන්තුක සත්කාරයට ළැදි නිසා.

“සෑම කටයුත්තකදි ම ඔබට සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?”

“එයාගෙන් ලැබෙන සහයෝගය ගැන කියන්න ගියොත් මට පොතක කරුණු කියන්න වෙනවා. ඒ තරමට පොඩි ළමයෙක් බලා ගන්නවා වගෙයි ඔහු මාව බලා ගන්නේ. වයසට ගියත් අපේ බැඳීම එදා වගේමයි. උදේ නැඟිට්ට වෙලාවේ පටන් රාත්‍රි නින්දට යනතුරුත් අන්‍යෝන්‍ය බැඳීමෙන් හා අවබෝධයෙන් යුතුව එකිනෙකාට උදව් කර ගනිමිනුයි අපි කාලය ගත කරන්නේ.”

සැපේදි, දුකේදි සෙවණැල්ල වගේ ඉන්න සිය සැමියා ධර්මපාලගෙන් ලැබෙන ආදරය, සෙනෙහස එඩ්නට මහමෙරක් වගේ. අපේ කතාබහ අතරතුරත් ඔහු ඈ අසල ම සිටියා. ඒ අපත් සමඟ ළෙන්ගතු කතාබහක යෙදෙමින්. ඒ අතර ඔවුන් දෙදෙනාගේ සහයෝගයෙන් කරන ව්‍යාපාරය ගැනත් ධර්මපාල සඳහනක යෙදුණා.

“මේ ව්‍යාපාරය ආරම්භ කළේ ළඟදි ද?”

“මේ වනවිට මේ ව්‍යාපාරයට වසර විස්සක් විතර කාලයක් ගතවෙලා. ඒ තීන්ත ව්‍යාපාරය නම් කරලා තිබෙන්නේ මගේ බිරිඳගේ නමින්. එඩ්නා තීන්ත. දැන් එඩ්නා තීන්ත කා අතරත් ජනප්‍රියයි.”

ධර්මපාල කියන්නේ සිනාවෙවී. මේ තීන්ත හදන්නේ රබර් ඇටවලින්. එඩ්නත් - ධර්මපාලත් අගය කරන්නේ දේශීය දේ. දේශීයත්වයට මුල් තැනදෙන මේ සොඳුරු යුවළ හැමෝටම කියලා දෙන්නේ අපූරු කතාවක්. ඒ උත්සාහය, නිහතමානී බව ජීවිතය සොඳුරු ඉමක් කරා රැගෙන යන බවයි. ඒ සුන්දරත්වයෙන් හා සතුටෙන් එඩ්නා - ධර්මපාලගේ කැදැල්ල පිරිලා ඉතිරිලා. අපි ඔවුන්ගෙන් සමුගත්තේ ජීවිතේ මියෙනතුරාවට ම ඒ සෙනෙහස, ආදරය මේ කැදැල්ලේ රැඳේවා කියන අදහස පෙරදැරිව.