වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




බුද්ධිකගේ මොළෙන් හිතමු...

බුද්ධිකගේ මොළෙන් හිතමු...

බුද්ධික ජයරත්න තමන්ගේ ෆේස්බුක් ගිනුමෙහි පසුගියදා අපූරු සටහනක් එක්කොට තිබුණා. ඔහු එයට ඡායාරූප සාක්ෂි කිහිපයකුත් එකතු කළා. එය දුටුවම ඕන කෙනෙකුට හිතෙනවා කතාව ඇත්ත කියලා. මේකයි සිදුවීම. ජාතික චිත්‍රපට සංස්ථාව තියෙන මාවතේ තමයි ජාතික රූපවාහිනී නාළිකාවෙහි ප්‍රධාන කාර්යාලය තියෙන්නේ.

රූපවාහිනියේ ඉස්සරහ ලොකු කටවුුට් කිහිපයක්ම ගහලා තියෙනවා ඒකේ විකාශය වන නාට්‍ය හෝ වෙනත් නිර්මාණ ගැන. එහෙම කරන්නේ නාළිකාවේ ප්‍රවර්ධනය උදෙසා. නමුත් ජාතික චිත්‍රපට සංස්ථාව ඉදිරිපිට කිසිදු පුවරුවක් නැහැ. අඩුම තරමේ ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට කිහිපයකවත් කටවුට් තිබුණා නම් කොච්චර දෙයක් ද කියලයි බුද්ධික කියන්නේ. එතැනින් දෙනෝ දාහක් දෙනා ගමන් කරනවා. සංස්ථාව ඉදිරියේ චිත්‍රපට නාමපුවරු තියෙනවා නම් ඒ අයගෙ නෙත ගැටිලා චිත්‍රපට ගැන අංශු මාත්‍රයක් තරම් හෝ උනන්දුවක් ඇති වෙනවනෙ. බලාගෙන ගියාම එක අතකින් බුද්ධික හරි.


දඟ මල්ලගේ කොණ්ඩා කැපිල්ල

හිමාලි සයුරංගිට පුංචි අකරතැබ්බයක් වෙලා. ඇයට මේ දේ වෙලා තියෙන්නේ ඇයගේ පුංචි බබා නිසා. මේ හේතුවෙන් හිමාලිට මෙච්චර කල් තමන් කොණ්ඩෙ හදා ගත්තු සැලොන් එකත් නැති වුණාලු. මෙන්න මේකයි සිදුවීම. හිමාලි කලක පටන් හෙයාර්ස්ටයිල් දාන සැලොන් එකට ඇය ගිහින් බබාත් එක්ක. බබා දඟ මල්ලක්ලු. හිමාලි අවවාද කරලා තමයි බබා එක්කගෙන ගිහින් තියෙන්නේ. ඔන්න හිමාලි හෙයාර් ස්ටයිල් එක දාන්න පටන් ගත්තලු. ටික වේලාවක් ගිගයාම ඔන්න ඇහෙනවලු කතුරකින් කොණ්ඩයක් කපන සද්දයක්. හිමාලි බැලුවලු තමාගේද මේ කොණ්ඩෙ කපන්නේ කියලා. එහෙම නැහැ. බබා ඇවිත් කතුරකුත් අරන් එහාට වෙන්න වාඩි වුණාලු. හිමාලිට මොකක්දෝ වෙනසක් දැනිලා. මෙන්න වැඩක් කොණ්ඩා කෑලි කිහිපයක්ම බිමලු. බබා හොරා වගේ හිමාලිගේ හෙයාර් ස්ටයිල් එක දදා හිටපු ගැහැනු ළමයගෙ කොණ්ඩය කපලා සෑහෙන ප්‍රමාණයක්. හිමාලිත් දැන් කර කියා ගන්න දෙයක් නැතිලු. ආයේ ඉතින් කොණ්ඩෙ අලවන්නයැ. මේ සිද්ධිය නිසා හිමාලිට දැන් ඒ සැලොන් එකේ පැත්තටවත් යන්නෙ නැතිලු.


බෑණාගේ චිත්‍රපටයට නැන්දාගේ ගැයුමක් නෑ...

යුග යුග හද රැන්දූ ජනප්‍රිය ප්‍රවීණ සරසවිය සම්මානලාභී විශිෂ්ට ගායිකාවකගේ බෑනණුවන් නිෂ්පාදනය කළ චිත්‍රපටයක එම ගායිකාවගේ එකම ගීතයක්වත් අන්තර්ගත වෙලා නැහැ. හරිම පුදුමයි නේද වැඩේ. නමුත් එම ගායිකාවගේ අපූරු හඬ පසුගිය දිනවල නිර්මාණය වූ චිත්‍රපට රැසකදීම පසුබිමෙන් ඇසුණා. ඒ ගායිකාව වෙනින් කවුරුවත් නෙවේ විශාරද නන්දා මාලිනී. ඇයගේ බැනණුවන් තමයි චමින්ද ගමගේ. චමින්ද, නැසීගිය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේ ගේ ආදරණීය පුතණුවන් ද වෙනවා. කෙසේ වෙතත් චමින්ද නිෂ්පාදනය කළ මේ දිනවල තිරගත වෙන ප්‍රියන්ත කොළඹගේ ගේ ආදරණීය කතාවක් සිනමාපටයට නන්දාගේ හඬ යොදාගෙන නැහැ. නමුත් ඒ ඔක්කොටම හරියන්න චිත්‍රපටයේ රඟපාන මොරින් චාරුණී 'පාවඩ දාලා පිළිගන්න ඇයි උඹ නන්දා මාලිනී කියලා හිතුවද' කියලා උදාරිගෙන් අහන දෙබසක් නම් තියෙනවා. මොරිනුයි, උදාරියි මේ චිත්‍රපටයේ රඟපාන්නේ අම්මයි, දුවයි හැටියට.


ඔන්න මානෙල් ආයෙත් ඇවිත්

බලන්න මේ පින්තූරෙ ඉන්න ඇයව මතකද කියලා. නම මානෙල් කුමාරි. කලකට ඉහතදි කාර්යබහුල නිළියක්. අන්තිමට රඟපෑවේ ආරතී ටෙලි සිතුවමේ. ඇය ඉන් පසුව රංගනයෙන් ඉවත් වුණා. ඒ නිහඬතාවය බිඳ මානෙල් නැවතත් රඟපාන්න එකතු වෙන්නයි හදන්නේ. මේ දිනවල ඇය ස්ටැන්ලි හෙට්ටිආරච්චිගේ මහ මුහුදත් ගොඩට ගලයි යන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. 1986 වසරේ දස පනත වේදිකා නාට්‍යයෙන් ඇරැඹි මානෙල්ගේ රංගන ගමන් මඟ තුළදී කාහල නාදය, එකට ගැටුම, සිව් සිය ගව්ව, සුදෝ සුදු, අපර්ණා, මායාරත්න ආදී ටෙලි සිතුම් කැපී පෙනෙනවා. ඒවා අතරින් මායාරත්න හි රට ගිය තරුණියගෙ චරිතය මානෙල්ව ගොඩක් ජනප්‍රිය කළා. ඔබට ඇයට කතා කරන්න පුළුවන්.

මේ මානෙල්ගේ දුරකතන අංකයයි. 0714272387


පිස්සු පිස්සු කාටද පිස්සු...?

අජිත් වීරසිංහට පිස්සු හැදිලාලු. ඔහු මේ දිනවල රඟපාන්නෙත් පිස්සුවෙන් වගේ. වස්සානෙ ප්‍රේමය ටෙලි සිතුවම නරඹද්දී ඔබ අජිත්ගේ මේ රංගනය කොහොමද කියලා ඔබට නිශ්චය කරන්නට පුළුවන්. ඒක නෙවෙයි දන්නවද වැඩක්, අජිතගේ මේ රංගනයට එක දවසක් වස්සානෙ ප්‍රේමය නාට්‍යයේ පිරිවර හොඳටම බය වෙලා. අජිත් එදා පිස්සු හැදෙන දර්ශන ටික පිස්සු හැදෙන්නම රඟපාලා. එය කොච්චර තාත්ත්විකව කළාද කිව්වොත් ඩිරෙක්ට් කරන සංජයත් ටිකක් බය වෙලා සීන් එක නවත්තලා. අජිත් සැබවින්ම පිස්සු හැදුනා වගේ රඟපෑවලු. අන්තිමේ පිරිවර කියලා ඔච්චර තාත්ත්වික වෙන්න එපා කියලා. ඒක මනසට හොඳ නැතිලු. බලන්නකො ඉතින් වැඩේ. අජිත් අනිත් අයව පිස්සු වට්ටපු තරම.