වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




“මායා” ළඟදීම

“මායා” ළඟදීම

දැනට ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන “පත්තිනි” චිත්‍රපටයට පසුව “මායා” චිත්‍රපටය තිරගත වීමට නියමිතය. මෙය ශී‍්‍ර ලංකාවේ ප්‍රථම 3ච් චිත්‍රපටය වන අතර එහි ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවනුයේ රන්ජන් රාමනායකය. රන්ජන්ගේ සිනමා ජීවිතයේ වඩාත් කථාබහට ලක්විය හැකි ඉතා ආකර්ෂණීය චරිතයක් “මායා” හී රඟ දක්වයි. රන්ජන් ප්‍රථම වතාවට ප්‍රධාන වීර කාන්තා චරිතයකින් මෙම චිත්‍රපටයට තම උපරිම දායකත්වය සපයා ඇත. සිංහල සිනමාවේ ප්‍රථම වතාවට කි‍්‍රයාදාමයන්ගෙන් සපිරි මෙම වීර කාන්තා චරිතය වඩාත්ම සුවිශේෂ වනුයේ දරුවෙකු තම ළමා කාලයේදී ඔහු තුළ සිදුවන ලිංගික වෙනස්වීමක ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට සමාජයෙන් අත්විඳීන්නට සිදු වූ අසාධාරණකම් මුල් කොට මෙම චරිතය නිර්මාණය වී ඇති හෙයිනි. ජූලි මස අගදී තිරගත වන මෙම “මායා” සිනමා පටය නැරඹීමට තම ප්‍රේක්ෂකයන් සියලු දෙනාට මෙයින් ආරාධනා කරන බැව්ද රන්ජන් පැවසීය. ඔහුගේ රංගනයන් ඇතළත් “ච්ප. නවරියන්” චිත්‍රපටයද ඉදිරියේදී තිරගත වීමට නියමිත අතර මෙතැන් පටන් ඔහු තමන්ගේ නවතම චිත්‍රපටය සඳහාද සූදානම් වෙමින් සිටියි. ඒ සඳහා තම පෙනුම මුළුමනින්ම වෙනස්කර ගැනීමටද ඔහු එකඟ වී ඇත. එයද අභියෝගාත්මක චරිතයක් වන අතර එහිදී තම හැඩය සම්පූර්ණම වෙනස් කර ගනිමින් හිස මුඩු කිරීමටද මුහුණ පුරා මුළුමනින්ම රැවුලක් වැවීමටද එකඟතාවය පල කොට ඇත. ඉදිරියේදී තම ප්‍රේක්ෂකයන් හට ඔහුගේ මෙම නවතම පෙනුමින් වඩාත් වැඩි කාලයක් දැක ගත හැකි වන බැව්ද පැවසීය.


සිග්නිස් සම්මාන උලෙළ සඳහා නිර්මාණ භාර ගැනේ

සිග්නිස් ශ්‍රී ලංකා ආයතනය මඟින් සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නිස් උත්මාචාර සම්මාන උලෙළ 2016 සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු වේ. මේ සඳහා සලකා බැලෙනුයේ 2015 වසරේ තිරගත වූ චිත්‍රපට සහ 2015 දෙසැම්බර් 31 වැනිදාට පෙර විකාශය නිමා කළ කොටස් 100 ට නොවැඩි ප්‍රාසාංගික ටෙලි නාට්‍යයන්ය. සිය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කිරීමට කැමැති නිර්මාණකරුවන් ඒ වෙනුවෙන් ඇති අයැදුම් පත්‍රය අංක 19, බැල්කම් පෙදෙස, බොරැල්ල, කොළඹ 08 ලිපිනයෙහි පිහිටි සිග්නිස් ශ්‍රී ලංකා කාර්යාලයෙන් ලබාගත හැකිය. නිර්මාණ බාර දිය යුතු වන්නේ ඩී. වී. ඩී. මාධ්‍යයෙනි. ඒවා ජූලි මස 31 වැනිදාට ප්‍රථම ලබාදිය යුතුය. මෙම උලෙළට සමගාමීව පවත්වනු ලබන ජයවිලාල් විලේගොඩ ආධුනික සිනමා විචාර තරගයට විචාරයන් ද මේ දිනවල බාර ගැනේ. 'මානව සමාජය ඒකාබද්ධ කරන මාධ්‍යය සිනමාව නම් එහි හැදෑරිමක් නැති තැන සිනමාවට අනාගතයක් ඇද්ද' යන මාතෘකාව යටතේ වචන 3000 කට සීමා වූ විචාරයන් ඉහත ලිපිනයැති කාර්යාලයට ගෙනවිත් බාර දිය හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 0112693425 හෝ 0718059085 යන අංකයෙන් ලබා ගත හැකිය.


‘පාට පාට’ ළමා වැඩසටහනෙන් මෙවර ‘මිහිර’ ගැන

ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම සෙනසුරාදාවකම සවස 5 ට විකාශය වන 'පාට පාට' ළමා වැඩසටහන තුළින් මෙම මස 02 වැනිදා එනම් එන සෙනසුරාදා 'මිහිර' ළමා පුවත්පත සැකසෙන ආකාරය ගැන දැනුම්වත් කෙරේ. මෙරට ප්‍රථම සහ පැරැණිතම ළමා පුවත්පත වන මෙහි 52 වැනි උපන් දින සැමරුමට සමගාමීව විකාශය කෙරෙන මෙම වැඩසටහන මඟින් කර්තෘ මණ්ඩලයේ සිට අවසන් මුද්‍රණය දක්වා මිහිර පුවත්පතේ ක්‍රියාවලිය පියවරෙන් පියවරට ඉදිරිපත් කරනු ලබයි. 'පාට පාට' වැඩසටහන ජාතික රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් අංශය වෙනුවෙන් සුරනිමල ජිතේන්ද්‍රසිංහගේ නිෂ්පාදනයකි.


කීර්ති, අතුල, නිරෝෂා ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග මාලාවක

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රසංග මාලාවක් සඳහා කීර්ති පැස්කුවල්, අතුල අධිකාරි සහ නිරෝෂා විරාජිනි විදෙස් ගතවීමට නියමිතය. මෙම ප්‍රසංගයන් ජූලි 03 දා මෙල්බර්න්, 09 දා සිඩ්නි, 10 දා බ්‍රිස්බේන් සහ 16 දා පර්ත් නගරයන්හි පැවැත්වේ. මෙම ප්‍රසංග මාලාවේ පර්ත් හි ප්‍රසංගය සඳහා සුනෙත් චිත්‍රානන්ද (චූටි මල්ලි) සහ ගාමින්ද ප්‍රියවිරාජ් (පොඩි මල්ලි) සහභාගි වනු ඇත. ඉන්ද්‍රජිත් මිරිහාන මෙම ප්‍රසංග මාලාවේ සංගීතය මෙහෙයවනු ලබයි.


ගාමිණී මල්වැන්න මියයයි

ප්‍රකට ගුවන් විදුලි නිෂ්පාදකයකු මෙන්ම ගේය පද රචකයකු ද වන ගාමිණී මල්වැන්න පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැටකි. සසර, මායා ටෙලි සිතුවම් අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයටද පිවිසි ගාමිණී දෙදරු පියෙකි. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ලේදී සිදු විය.


සිනමා කතිකාව දෙවැනි අදියර අද

ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් සංවිධානය කරනු ලබන සිනමා කතිකාව දෙවැනි අදියර අද සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. සිනමාව සහ පවුල යන තේමාව යටතේ සිනමාවේදී අශෝක හඳගම සහ සිනමා විචාරක භූපති නලීන් මෙහිදී දෙසුම් පවත්වනු ලබයි. මෙම කතිකා සංස්ථා සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතාගේ උපදේශකත්වය යටතේ පවත්වනු ලබයි.


ඇන්ටන්ගේ ගී ප්‍රසංගය 3 වැනිදා

ගායක ඇන්ටන් සිල්වාගේ නවතම ඒක පුද්ගල ගී ප්‍රසංගය එළඹෙන ජුලි මස 03 වැනිදා එනම් එන ඉරිදා සවස මොරටුව බෞද්ධ මන්දිර රඟහලේදී පැවැත්වෙයි. ඇන්ටන් / රොෂාන් ප්‍රමුඛ ඇරෝස්ටාර් සංගීත කණ්ඩායම එදින සංගීතය මෙහෙයවීමට නියමිතය. මෙම ප්‍රසංගයෙන් ලැබෙන සියලු ආදායම මොරටුවේ අසරණ වූ දුවා දරුවන් කිහිප දෙනෙකුට බෙදා දීමට නියමිතය. දශක තුනකට වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ ගායකයකු වශයෙන් කටයුතු කළ ඇන්ටන් සිල්වා වඩාත් ජනප්‍රිය වුණේ පුන්සඳ පායා මගෙ රට දිලෙන්නා නම් වූ ක්‍රිකට් ගීතයෙනි. එය මෙරට ප්‍රථම ක්‍රිකට් ගීතය ද වේ.


ඔබ නැතුව ඔබ එක්ක ඩී. වී. ඩී. මාධ්‍යයෙන්

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඔබ නැතුව ඔබ එක්ක සිනමාපටය ඩි. වී. ඩී. මාධ්‍යයෙන් පසුගියදා නිකුත් කෙරිණ. ඒ රිකී සිනමා ශාලාවේ පැවති විශේෂ උත්සවයකින් අනතුරුවය. අංජලි පාටිල් සහ ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත මැවූ ඔබ නැතුව ඔබ එක්ක විදෙස් සම්මාන උලෙළයන් රැසකින්ම සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයකි. මෙහි ඩී. වී. ඩී තැටිය සුනිල් ටී. ෆිල්ම්ස් බෙදා හරිනු ලබයි.


මෝටර් බයිසිකල් පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

සම්මානනීය සිනමා කෘතියක් වන මෝටර් බයිසිකල් හි පූර්ව ප්‍රචාරක පටය පසුගියදා අන්තර් ජාලයට එකතු කෙරිණි. එය මේ දිනවල සිනමා ශාලාවන්හිදී ද දැක බලා ගත හැකිය. ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ මෝටර් බයිසිකල් ඔහුගේ පළමු සිනමා කෘතිය වේ. දසුන් පතිරණ සමඟ සමනලී ෆොන්සේකා එහි ප්‍රධාන චරිත මැවුහ. මෝටර් බයිසිකල් සුරංග ජයසූරියගේ නිෂ්පාදනයක් වන අතර එය ළඟදීම සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ.


හෙක්ටර්ගේ ‘පිරිමිලියා’ළඟදීම වැඩ ඇරැඹේ

නිමන්ත හේෂාන්ට ප්‍රධාන චරිතය

අභිනික්මන සිනමාපටය අධ්‍යක්ෂණය කළ හෙක්ටර් කුමාරසිරි සිය දෙවැනි සිනමා නිර්මාණය සඳහා මේ දිනවල සූදානම් බව සරසවියට වාර්තා විය. පිරිමිලියා ලෙසට නම් තබා ඇති එය අභිනික්මනට වඩා හාත්පසින්ම වෙනස් වූ සිනමාපටයකි. හෙක්ටර් විසින් තිර රචනය කළ පිරිමිලියා හි ප්‍රධාන චරිතය මවමින් හෙක්ටර්ගේ පුතු නිමන්ත හේෂාන් සිනමාවට එක් වෙයි. ඔහුගේ ප්‍රථම රංගනය ද වන්නේ පිරිමිලියා වේ. සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වඩාත් ප්‍රකට නිමන්ත සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. මෙම සිනමාපටයේද සංගීත අධ්‍යක්ෂවරයා ද වන්නේ ඔහු වේ. පුලස්ති රාජිත බෙත්මගේ, සරත් පොඩි නිලමේ, පානදුර දොන් ප්‍රේමදාසගේ නිෂ්පාදනයෙන් සුදත් ප්‍රියන්ත කළුආරච්චි සහ සුනිල් දිසානායකගේ සම නිෂ්පාදනයෙන් තැනෙන පිරිමිලියා හි විජේරත්න වරකාගොඩ, ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, සුදර්ශන බණ්ඩාර, දමයන්ති ෆොන්සේකා, ආචාර්ය අංජලි මිශ්රා ගමගේ, චිත්‍රා වරකාගොඩ, දයාදේව එදිරිසිංහ, ශිරානි කුමාරසිරි ගමගේ, හෙක්ටර් බෙත්මගේ ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. රෙහාන් සමරදිවාකර කලා අධ්‍යක්ෂවරයාය. ලාල් ලියනගේ සහාය අධ්‍යක්ෂණයෙන් එකතු වේ.