|
නිධානයේ ඇගැයුම් නොලද තෙවැනි ඇස
එම්. එස්. ආනන්ද (1933 - 2016)
පසුගිය මැයි මාසයේ මැද භාගයේ සුප්‍රකට නිළි ශ්‍යාමා ආනන්ද කැනඩාවේ සිට හදිසියේ ලංකාවට පැමිණියාය. ඇය මෙරට ගත කළ සති කිහිපයක සුළු කාලය මුළුමනින්ම වැය කළේ තම ආදරණීය පියාණන් වූ ප්‍රවීණ කලාකරු එම්. එස්. ආනන්දගේ සුව දුක් බැලීම, කුදු මහත් කටයුතු, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම් හා හෙදකම් උදෙසාය. මේ පියා හා දියණිය හමු වී සම්මුඛ සාකච්ඡාවක් කොට ලිපියක් ලියන්නේ නම් මැනවැයි කියා අප හිතවත් චන්දන දයාසිරිවර්ධන හට මම යෝජනා කළෙමි. ඔහු ඉත සිතින් ඊට කැමැති වී ශ්‍යාමාගෙන් සුදුසු දිනයක් ඉල්ලා සිටියේය. එහෙත් පසුගිය මැයි 24 වැනිදා ඇය ආපසු කැනඩාව බලා පිටත් වනතුරු චන්දනට දිනයක් ලබා ගත නොහැකි වූයේ ශ්‍යාමා තම පියාගේ වැඩ කටයුතු වෙනුවෙන් බලවත් ලෙස ඇප කැප වී සිටි හෙයිනි. එම්. එස්. ආනන්ද පවුල හා අපේ පවුල අතර සමීප මිත්‍රත්වය අඩ සියවසක කාලයක පමණ ඈතට දිව යන්නකි. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍යාමා ආනන්ද හා ඇගේ සැමියා වන සාලිය පෙරේරා වරින්වර ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔවුන්ගෙන් භෝජන සංග්‍රහයක් සඳහා අපේ පවුලට ඇරැයුම් ලැබීමය. ඒ අනුව පසුගිය මැයි මාසයේදී එවැනි සාදයකට අපට ඇරැයුම් ලැබිණ. පෙර කී ලෙස චන්දනගේ සම්මුඛ සාකච්ඡාව පසුවට කල් දැමුවත් සරසවිය වෙනුවෙන් එම්. එස්. ආනන්ද මහතාගේ ඡායාරුප ගැනීමේ අටියෙන් අප හිතවත් ලාල් සෙනරත් මහතා ද සාදයට එක් වූයේය. එදින (මැයි 23 වැනිදා) ඔහුගේ කැමරා කාචයේ සටහන් වූ ඡායාරූප ආනන්ද මහතාගේ අවසන් ඡායාරූප වේ යැයි අපි කිසිවකු නොසිතුවෙමු. ශ්‍යාමා යළි කැනඩාව බලා පිටත්ව ගියාය. ඡායාරූප ගෙන තිබූ නිසා ආනන්ද මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා දිනයක් යොදා ගැනීමට චන්දන සැදී පැහැදී සිටියේය. එහෙත් ඒ පැතුම ඉටු නොවුණි. ආනන්ද පවුල සහ අපේ පවුල අතර මිත්‍රත්වය තවත් අතකට වර්ධනය වූයේ එම්. එස්. ආනන්ද මහතා සහ වයලට් ආනන්ද මහත්මිය මොරටුවේ අප නිවසට යාබදව පිහිටි ‘ප්ලෙෂර් කෝට්’ නිවාස සංකීර්ණයේ පදිංචියට පැමිණීමත් සමඟිනි. අපි නිතර හමු වී අතීත සිනමා තොරතුරු කතාබහ කළෙමු. ආනන්ද යුවළ තම දරුවකුට මෙන් මට ආදරය කළහ. වයලට් මහත්මිය ඉතා ප්‍රණීත ලෙස ආහාර පිසීමට දක්ෂ කාන්තාවකි. ඒ සංග්‍රහ බොහෝ විට මම බුක්ති විඳ ඇත්තෙමි. ශ්‍යාමා, කාන්ති ඇතුළු දියණියන් විදෙස් ගත වී සිටි නිසා ‘ඕනෑම හදිස්සියකට අපට කතා කරන්නැයි’ ජීවිතයේ සැඳෑ සමය ගත කරන මේ යුවළට අපි දන්වා සිටියෙමු. මේ දෙපළගේ සියලු වැඩ කටයුතු කර දෙමින්, රැක බලා ගැනීමට ඉතාමත් අවංක, කාර්යශූර උපස්ථායක තරුණයෙක් (අමිල) ඔවුන්ට සිටියේය. ආනන්ද යුවළ ඒ තරුණයාට තම දරුවකුට මෙන් සැලකූ අතර ඔහුගේ අනාගතය සඳහා බොහෝ දායාද හිමි කොට දුන්නේය. දිනය පසුගිය ජූනි 24 වැනිදා අලුයම 2.00 ට පමණ ඇත. අප නිවසේ දුරකථනය නාද විය. එමඟින් කියැවුණේ ශෝකජනක පුවතකි. ගමනක් ගොස් එද්දී හදිසියේ පය පැකිළී වැටීමෙන් සිහිමුර්ජා වූ ආනන්ද මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්ය. එදින දහවල් ඔහු බැලීමට මම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගියෙමි. ඔහුගේ සයනය අසල කඳුළු පිරි දෙනෙතින් සිටි වයලට් මහත්මිය පැවසූ දෙයින් මට මහත් කම්පනයක් දැනිණි. ‘අන්කල්ට මොනවා හරි වුණොත් මමත් වැඩි කලක් ජීවත් වෙන එකක් නැහැ පුතා’ ඒ කියමන තුළ තිබුණේ සැබෑම පති භක්තියකි. විවාහ වී වසර 60 කට ආසන්න කාලයක් පුරා මේ යුවළ නොවෙනස් ඉතා දැඩි අන්‍යෝන්‍ය ප්‍රේමයෙන්, ගෞරවයෙන් ජීවත් වූ දම්පති යුවළකි. කලා ලෝකයේ එබඳු අඹු සැමියන් මා දැක ඇත්තේ ඉතා අල්ප දෙනෙකි. පසුගිය ජූනි 25 වැනිදා එම්. එස්. ආනන්ද මිය යන විට අසූ තුන් වැනි වියෙහි පසු විය. ඒ වන විට ජීවත්ව සිටි මෙරට සිනමාවේ ජ්‍යෙෂ්ඨතම කැමරා ශිල්පියා ඔහු නොවේද? 1933 අප්‍රේල් 21 වැනිදා යාපනයේ ජන්ම ලාභය ලැබූ මාක් සැන්ඩු ආනන්ද, එහි ශාන්ත ජෝන්ස් හා කොළඹ ආනන්ද විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබුවේය. ඔහු බොලෙක්ස් කැමරාවට පෙම් බැන්දේ පාසල් සමයේදීය. අසීමිතව චිත්‍රපට නැරඹීම ආනන්දගේ ප්‍රමුඛ විනෝදාංශය විය. ඔහු සිනමාවට පිවිසුණේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ (1952) චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ බී. එස්. මානිගේ සහායකයකු ලෙසිනි. එස්. එම්. නායගම් ලංකාවේ ඉදි කළ ප්‍රථම චිත්‍රාගාරය වූ කඳානේ සුන්දර සවුන්ඩ් හී නිපද වූ ප්‍රථම චිත්‍රපටය මෙය වේ. ඉන් ඉක්බිතිව ආනන්ද ‘එදා රෑ’ (1953), ‘ප්‍රේම තරඟය’ (1953) යනාදී චිත්‍රපටවල සහය කැමරා ශිල්පියකු ලෙස දායක වූයේය. චෙන්නායි හී (එවකට මදුරාසියේ) නැප්චූන් චිත්‍රාගාරයට ගොස් වසර 3 ක කාලයක් කැමරාකරණය පුහුණුවීමේ අවස්ථාව ඔහුට ලැබිණ. ඉන් පසුව මුම්බායි හී (එවකට බොම්බායේ) චිත්‍රාගාරයක ද ඔහු තත් විෂයෙහි නිපුණත්වය ලැබුවේය. ආනන්දට මේ උදෙසා එදා අනුග්‍රහය දක්වන ලද්දේ සිලෝන් තියටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. සෙල්ලමුත්තු විසිනි. සැබැවින්ම ඔහු ඉන්දියාවට ගියේ 1957 දී පමණ සිලෝන් තියටර්ස් සමාගම අභිනවයෙන් කිරුළපන ඉදි කළ ලංකා චිත්‍රාගාරයේ (CEYLON STUDIO) කැමරා ඒකකයක් ස්ථාපිත කරලනු පිණිස අවැසි පුහුණුව, පළපුරුද්ද ලැබීමටය. ඒ අනුව ලංකාවට පැමිණි පසුව ආනන්ද ලංකා චිත්‍රාගාරයේ ප්‍රධාන කැමරා ශිල්පියා බවට පත් වූයේය. එවකට ලෙනින් මොරායස් වේශ නිරූපණ සහායකයකු ලෙසත්, එම්. ඒ. ගෆූර් හා වී. වාමදේවන් ශබ්ද සහායකයන් ලෙසත් ලංකා චිත්‍රාගාරයේ සේවය කරමින් සිටියහ. ආනන්ද මේ තිදෙනාගේ දක්ෂතා හැඳිනගෙන තම ශිෂ්‍යයන් ලෙස කැමරා අංශයට බඳවාගෙන ඔවුන්ට පුහුණුව ලබා දුන්නේය. පසු කලක ලෙනින්, ගෆූර් හා වාමදේවන් යන තිදෙනාම දක්ෂ කැමරා ශිල්පීන් ලෙස දස්කම්පාන කල්හී ආනන්ද අමොද සතුටක් වින්දේය. එම්. එස්. ආනන්ද කැමරා අධ්‍යක්ෂණයට පිවිසුණේ ‘අවිශ්වාසය’ (1959) චිත්‍රපටයෙනි. ‘ගැහැනු ගැට’ (1959), ‘පුරුෂ රත්නය’ (1959), ‘දරුවා කාගේද’ (1961), ‘සංසාරේ’ (1962), ‘මංගලිකා’ (1963), ‘දීපශිඛා’ (1963) , ‘හෙට ප්‍රමාද වැඩියි’ (1964), ‘හඳපාන’ (1965), ‘සෙනෙහස’ (1969), ‘ප්‍රියංගා’ (1970) යනාදී ජනප්‍රිය චිත්‍රපට ධාරාවේ චිත්‍රපට ඔහුගේ කැමරාකරණයෙන් හැඩගැන්විණ. එවකට මෙරට ජනප්‍රිය සිනමාවේ ස්ථාපිත වූ චිත්‍රාගාර මුල් කොට ගත් ඉන්දියානු කැමරා ශෛලිය, ආලෝකකරණ ක්‍රමවේද ආනන්දගේ කැමරාකරණයෙන් කුළුගැන් වූව ද පවත්නා අභියෝග ජය ගනිමින් ඕනෑම කැමරා ශෛලියකට සුඛනම්‍ය ලෙස හැඩ ගැසිය හැකි ප්‍රතිභාවයක් ද ඔහු සතුව තිබුණි. එම්. එස්.ආනන්ද චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ‘සිතක මහිම’ (1964) චිත්‍රපටයෙනි. ඉන්පසු ‘සත පනහ’ (1965), ‘ඇතුල්වීම තහනම්’ (1966), ප්‍රවේශම්වන්න’ (1969), ‘මගේ නංගි ශ්‍යාමා’ (1975), ‘චණ්ඩි ශ්‍යාමා’ (1978), ‘හලෝ ශ්‍යාමා (1982), ‘මම බය නැහැ ශ්‍යාමා’ (1995) යන චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණය කළේය. මුල් යුගයේ ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල කැමරාව මෙහෙයවීම තම ශිෂ්‍යයන්ට (උදා - සිතක මහිම - ලෙනින් මොරායස් / සත පනහ - එම්. ඒ. ගෆූර්) පැවරූ බැව් පෙනේ. ආනන්දගේ සියලු චිත්‍රපට වර්ගීකරණය කළ හැක්කේ ජනප්‍රිය ධාරාවටය. ජනප්‍රිය ධාරාව ඉල්ලා සිටින වට්ටෝරුව (Formula) මනාව මුසු කිරීමට ඔහු ප්‍රයත්න දැරුවේය. කතා රසය වඩවන කතා පුවත් තෝරා ගැනීම එහි එක් ලකුණකි. එහෙත් ආනන්දගේ චිත්‍රපට බහුතරයේ කතා පුවත් ස්වතන්ත්‍ර නොවුණි. (උදා - සිතක මහිම - මංගයර් තිලකම් දෙමළ චිත්‍රපටය / ප්‍රවේශම්වන්න - කුලන්දයුම් දෙයිවම් දෙමළ චිත්‍රපටය / මම බය නැහැ ශ්‍යාමා - Home Alone ඉංග්‍රීසි චිත්‍රපටය / ඇතුල්වීම තහනම් - ඉවලුම් ඔරු පෙන් දෙමළ චිත්‍රපටය) දකුණු ඉන්දීය දමිළ සිනමාව ආනන්දගේ නිර්මාණවලට වඩාත් බලපෑ බව ඉන් පෙනේ. එහෙත් ඔහු විරලව හෝ බටහිර සිනමාවේ ආභාසයෙන්ද (උදා - සත පනහ) චිත්‍රපට තැනූ බැව් පෙනේ. ඇතැම් විට කතා පුවත් අනුකරණ වුවත් ඒවා අනුකරණ බව ප්‍රේක්ෂකයාට නොදැනෙන්නට චිත්‍රපට තැනීමට ආනන්ද සමත් වූයේය. මෙරට නළු නිළියන්ගේ දක්ෂතා ද (උදා - සත පනහ - ගාමිණි ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි, ප්‍රවේශම්වන්න - ටෝනි රණසිංහ, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, චණ්ඩි ශ්‍යාමා - ගාමිණි ෆොන්සේකා, ශ්‍යාමා ආනන්දගේ ද්විත්ව චරිත) එහිලා ඉවහල් වූහයි මම සිතමි. ඔහුගේ මුල් යුගයේ චිත්‍රපටවලට (සිතක මහිම, සත පනහ, ඇතුල්වීම තහනම්) ඒ. ජේ. ද සොයිසා ලියූ ඇතැම් දෙබස් ඛණ්ඩ ද ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍ර වුණි. ‘ප්‍රවේශම්වන්න’ ඔස්සේ ආනන්ද තිර රචනයට ද එක් වූයේය. සහෝදර ප්‍රේමය, අඹු සැමි සබඳතා, දුප්පත් පොහොසත් පන්ති භේදය, මාපිය දූදරු සබඳතා චිත්‍රපටවලට වස්තු විෂය කොට ගැනීමෙන් පවුලේ ප්‍රේක්ෂකයා දිනා ගැනීමට ඔහු උත්සුක වූයේය. සැබැවින්ම ඔහුගේ බහුතරයක් චිත්‍රපට (සිතක මහිම, සත පනහ, චණ්ඩි ශ්‍යාමා, මගේ නංගි ශ්‍යාමා) වාණිජ වශයෙන් සාර්ථක විය. ඉන් වඩාත් වාණිජ සාර්ථකත්වයක් (BOX OFFICE SUPER HIT) ලැබූ ‘චණ්ඩි ශ්‍යාමා’ දින 100 ක් තිරගත කෙරිණ. ලැබූ ආදායම රු. ලක්ෂ 70 කට වැඩිය. විටෙක ආනන්ද තම චිත්‍රපට උදෙසා නළු නිළියන් අත්හදා බැලුවේය. බැරෑරුම් නාට්‍යාතිශය රංග ශෛලියකට හිමිකම් කී ප්‍රේම් ජයන්ත් මුල්වරට ඉන්දියාවේ ශම්මි කපූර්ගෙන් පිළිබිඹු වූ ආකාරයේ උමතු දඟකාර ශෛලියකින් (ර්ඒච්ව්ඡ්ඉඉ ඉඊකඹ්ඡ්) රඟපානු මුල්වරට අප දුටුවේ ‘සිතක මහිම’ චිත්‍රපටයෙනි. එතෙක් සුළු චරිත රඟපාමින් සිටි ජනප්‍රිය ගායක එච්. ආර්. ජෝතිපාලයන් හට වීරයා, පෙම්වතා ලෙස ප්‍රධාන චරිතයක් ලබා දීමට (ඇතුල්වීම තහනම්) ඔහු පැකිළුණේ නැත. එහිදී ජෝතිගෙන් මතු වූයේ ද පෙර කී උමතු දඟකාර රංගන ශෛලියමය. පෙම්වතියගේ චරිතය කිසිදු විටෙක රඟ නොපෑවත් තම දියණිය ශ්‍යාමා ආනන්ද ජනප්‍රිය සිනමාවේ සාර්ථක කථා නායිකාවක වූයේ ද ඔහුගේ අරුමය නිසාවෙනි. ආනන්ද තම දියණිය ශ්‍යාමා පෙම්වතියගේ චරිතය රඟපානවාට කැමැති නොවුණි. ශ්‍යාමාට නිළියක වශයෙන් දිගු ගමනක් යෑමට මේ ආකල්පය බාධාවක් වූ අතර පසුකාලීනව ආනන්දගේ චිත්‍රපටවල කතා වස්තුවද මේ සීමාව තුළ රැඳී අවසන නතර වූයේ යැයි මට සිතේ. මේ පිය - දියණි අපූර්ව සුසංයෝගය තුළ ඇයට සොහොයුරියක (චණ්ඩි ශ්‍යාමා, මගේ නංගී ශ්‍යාමා) දියණියක (හලෝ ශ්‍යාමා) හා මවක (මම බය නැහැ ශ්‍යාමා) ලෙස පමණක් ස්වකීය භූමිකා සීමා කර ගැනීමට සිදු විය. ඇය තම පියාගේ අධ්‍යක්ෂණය යටතේ චිත්‍රපට ත්‍රිත්වයක (ප්‍රවේශම්වන්න, මගේ නංගි ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා) ද්විත්ව චරිත (ච්භචත අධතඥ) නිරූපණය කළාය. ආනන්ද තම මිනිබිරිය වන මන්දිරා පෙරේරා හට ‘මම බය නැහැ ශ්‍යාමා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලබා දෙමින් තෙවැනි පරපුර ද සිනමාවට යොමු කළේය. අකාලයේ අපට අහිමි වූ ශ්‍රීනාත් බස්නායක නළුවකු ලෙස ප්‍රකට වූයේ ‘සත පනහ’ චිත්‍රපටයෙනි. ‘මම බය නැහැ ශ්‍යාමා’ ඔස්සේ කැලුම් විජේසූරිය හට මුල්වරට ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබුණු අතර ඉන් දොරට වැඩි නවතම සංගීත අධ්‍යක්ෂවරයා වූයේ කීර්ති පැස්කුවල්ය. තම චිත්‍රපට සඳහා ජනප්‍රිය ගීත නිර්මාණය කොට ගැනීමට ද ආනන්ද ආරම්භයේ සිටම උත්සුක වූයේය. ආර්. මුත්තුසාමි සංගීතවත් කළ ‘සිතක මහිම’ චිත්‍රපටයට ඇතුළත් වූ ‘මධුර යාමේ (ආර්. මුත්තුසාමි හා සුජාතා අත්තනායක ගැයූ), නිල්වලා පෙත්තේ (ජෝතිපාල හා සුජාතා), හිතේ දුකක් නැති මිනිහා (ජෝතිපාල), ආර් මුත්තුසාමි සංගීතවත් කළ ‘සත පනහ’ චිත්‍රපටයට ඇතුළත් වූ ‘චන්ද්‍රා මේ රෑ පායා ආවා’ (ජෝතිපාල හා සුජාතා), මල්සරාට ප්‍රේම ලෝකේ (සුජාතා), අද අපි ඉන්නේ විනෝදෙන් (මිනෝන් රත්නම්), ඔබ පානා ඔය බැල්මේ (මුත්තුසාමි හා සුජාතා), ‘අද දෙවියන් අපගේ මූණ බැලුවා’ (මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට, නොයෙලින් සිල්වා), පී. එල්. ඒ. සෝමපාල සංගීතවත් කළ ‘ඇතුල්වීම තහනම්’ චිත්‍රපටයට ඇතුළත් වූ ‘තරුණ නෙත් ජයමංගලේ’ (ජෝතිපාල, සුජාතා), ‘ලැසි ගමනින් යන හනිකේ’ (ජෝතිපාල), ‘ජීවිතේ වසන්තේ’ (ජෝතිපාල, ඇන්ජලින්), පී. එල්. ඒ. සෝමපාල සංගීතවත් කළ ‘ප්‍රවේශම්වන්න’ චිත්‍රපටයට ඇතුළත් වූ ‘ආදරේ සිහිනයකි’ (ජෝතිපාල, සුජාතා), ‘ රකිමු අපේ සිරිලක් අම්මා’ (ඉන්ද්‍රාණි විජයබණ්ඩාර), පී. එල්. ඒ. සෝමපාල සංගීතවත් කළ ‘චණ්ඩි ශ්‍යාමා’ චිත්‍රපටයට ඇතුළත් වූ ‘නංගී මගේ ශ්‍යාමා’ (ජෝතිපාල, සුජාතා) යනාදී ගීතවල ජනප්‍රියත්වය අදත් එක ලෙස පවතී. මේවා අනුකාරක ගී තනු බව සැබවි. එහෙත් මේ ගී ගැයූ ගායන ශිල්පී, ශිල්පිනීන්ගේ විශිෂ්ටභාවය නිසාත් පද රචකයන්ගේ ප්‍රතිභාව නිසාත් මේවා අනුකාරක තනුවලින් හැදූ ගී බව ප්‍රේක්ෂකයාට අමතක වී තිබුණි. එහිදී ඇතැම් විට හින්දි තනු ද (චන්ද්‍රා මේ රෑ පායා), දෙමළ තනු ද (ඔබ පානා ඔය බැල්මේ), ඉංග්‍රීසි ගී තනු ද (සිතක හැටි පිළිගන්නවා, අද අපි ඉන්නේ විමෝදෙන්) උපුටා ගෙන ඇත. තම බිරිය වයලට් ආනන්ද එදා ‘ප්‍රවේශම්වන්න’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇයට අයත් ඉඩමක් විකුණා ලබාගත් මුදලින් බව වරක් ආනන්දයෝ මට පැවසූහ. කෙසේ වුවත් එම්. එස්. ආනන්ද නමැති කෘතහස්ත කැමරා ශිල්පියා වඩාත් ඉස්මතු වූයේ කලාත්මක ධාරාවේ චිත්‍රපට ඔස්සේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණය යටතේ ලංකා චිත්‍රාගාරය නිපද වූ චිත්‍රපට ත්‍රිත්වයක (ගොළු හදවත - 1968, අක්කර පහ - 1970, නිධානය - 1972) කැමරාව මෙහෙයවීමේ භාග්‍යය ඔහුට ලැබිණ. ඒ ලෙස්ටර් හා ලංකා චිත්‍රාගාරය අතර පැවති ගිවිසුමේ අනිවාර්ය ඵලයක් ලෙසිනි. එවකට ආනන්ද ලංකා චිත්‍රාගාරය සමඟ බැඳුණු කාර්මික ශිල්පියෙකි. මේ ගිවිසුමට අනුව කතාව, නළු නිළියන්, සංගීත අධ්‍යක්ෂවරුන් තෝරා ගැනීමට ලෙස්ටර් හට නිදහස තිබුණත් කාර්මික ශිල්පීන් ලංකා චිත්‍රාගාරයෙන්ම තෝරා ගත යුතු විය. ආනන්ද බොම්බායේ හා මදුරාසියේ චිත්‍රාගාර ආලෝකකරණය අනුදත් කැමරා ශිල්පියෙකි. අනෙක් අතට ඔහු ඉස්මතු වූයේ ජනප්‍රිය චිත්‍රපට ධාරවෙහිය. ඔහුගේ ශෛලිය තමාගේ කලාත්මක සිනමා භාවිතයට ගළපා ගත හැකි වේද යන සැක සාංකාව හා අභියෝගය ලෙස්ටර්ගේ සිත් මඩියෙහි පැවති බව සත්‍යයකි. ලෙස්ටර් ‘ගොළු හදවත’ හිදී නව්‍ය සිනමා ආකෘතියක්, ආඛ්‍යානයක් මෙරට සිනමාවේ පළමුවරට අත්හදා බැලුවේය. එනම් එකම මුඛ්‍ය පෙම් පුවත දෙදෙනකුගේ දෘෂ්ටි කෝණවලින් විදාරණය කිරිමය. එහිදී ලෙස්්ටර්ගේ ඊප්සිතාර්ථය වූයේ කැමරාකරණයේදී දෘෂ්්ටි කෝණ ද්වයට දෙයාකාරයක තාක්ෂණික ක්‍රමවේද භාවිතයට ගැනීමකි. ඒ අනුව ආනන්ද සුගත්ගේ අතීතාවලෝකනය සාමාන්‍ය කැමරා කාචවලින්(PRIMARY LENSES) රූගත කළ අතර දම්මිගේ අතීතාවලෝකනය උදෙසා මි. මී. 200 දුරේක්ෂ යුහුමු කාචය (200MM TELEPHOTO ZOOM LENSE) උපයුක්ත කොට ගත්තේය. මෙකී කාචයෙන් රූගත කෙරෙන දර්ශනවල දක්නා ලැබෙනුයේ ක්ෂේත්‍ර ගැඹුර (DEPTH OF FIELD) රහිත අති සමීප රූපය. ආනන්ද මෙහි කෘත්‍රිම ආලෝකකරණයේදී ඉන්දියානු චිත්‍රාගාර ශෙලියෙන් විනිර්මුක්ත වූයේය. ලෙස්ටර්ගේ ප්‍රශංසාවට ලක් වෙමින් ඔහු විශිෂ්ට අයුරෙන් තම කැමරා පෙළහර පෑවේය. සැබැවින්ම ‘ගොළු හදවත’ රූගත කිරීම ආනන්ද හට අභියෝගයක් වූයේය. මෙහි පාසල් ළමයින්ගේ ඇඳුම් සුදු පැහැතිය. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ බිත්ති ද සුදු පැහැතිය. ඉතාමත් ශූර ලෙස මෙබඳු අභියෝග ඔහු ජය ගත්තේය. ලංකාවේ එදා මෙදා බිහි වූ විශිෂ්ටතම සිනමා කෘතිය වූ අන්තර් ජාතික ඇගැයුම් ලද ලෙස්ටර්ගේ ‘නිධානය’ (1972) හී කැමරා අධ්‍යක්ෂවරයා වීමේ අමරණීය භාග්‍යය ආනන්දට ලැබිණ. ඒ වෙනුවෙන් ඔහුට විචාරක සම්මාන උලෙළේ ගෞරව සම්මාන සහතිකය පිරිනැමිණ. එහෙත් ‘නිධානය’ අරභයා කියැවෙන ලියැවෙන බොහෝ තැන්වලදී ආනන්දගේ ප්‍රතිභාව ඇගැයුමට ලක් නොවූ තරම්ය. මෙහි ගාමිණි හා මාලිනී යුවළගේ ආලිංගන නැටුම් දර්ශනය ඔහුගේ කැමරාකරණ අත්හදා බැලීම් අතර වෙසෙසින් කැපී පෙනේ. මවිසින් පරිවර්තනය කරන ලද ‘ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා’ (2006) ග්‍රන්ථයෙහි (පිටු 63, 64) එක් ලිපියක ර්ක ඡ්ඔර්‍ථඡ්අධ්ඡ්ව්ඛ්ඡ් එධ්ඊඩ් ව්ධ්ච්ඩ්ඒව්ඒකඒ)ආචාර්ය ලෙස්ටර්, ආනන්ද ගැන මෙසේ ලියා ඇත. “ඇතැම් විට අපි අපගේ දර්ශන තලය පිළිබඳව එක සමානවම භාග්‍යවන්ත වීමු. මෙය වැසුණු කාමරවලින් යුත් අඳුරු මලානික මන්දිරයකි. පක්ෂීන්ගෙන් හා දූවිල්ලට අත්හැර දැමූ සවිමත් ගෘහ භාණ්ඩවලින් යුත් අඳුරු ගුහාවක් බඳු එහි අභ්‍යන්තරයට සූර්යයා අනාරාධිත අමුත්තෙකි. සැබවින්ම මේ මැදුර කතාවෙහි තවත් එක් චරිතයක් ලෙස හැඳින්වීමෙහි වරදක් නොපෙනේ. රාජගිරියෙහි පිහිටා තිබෙන ෆෙඩ්රික් ඔබේසේකර මහතාගේ අරුම පුදුම වලව්ව අප සෙවූ ආකාරයේ නිවසකි. මෙහි රූගත කිරීම් සිදු කළ සය මසක කාලය ඇතුළත අප කිසිවකුට එහි අනාරාධිතයන් බව නොදැනිණ. මක්නිසාද යත් අවුල්ව තිබෙන නානා විධ මෙවලම්, උපකරණ සහිත විශාල ඒකකයක් චිත්‍රපටයක් තැනීමට පැමිණෙද්දී චිත්‍රපට සඳහා වාසස්ථාන සපයන ඒවාහි බොහෝ හිමිකරුවෝ ආතතියට බියට පත් වෙති. කතාව ඉල්ලා සිටින ආකාරයට වෙනස් වන්නා වූ නානාවිධ මමෝභාවයන් තීව්‍ර කිරීම එම්. එස්. ආනන්දයන් හට අභියෝගාත්මක කාර්යය විය. ඔහු මගේ අවසාන චිත්‍රපට ත්‍රිත්වයට (1972 වන විට) සමීප ලෙස දායක වු කැමරා ශිල්පියා විය.” ‘නිධානය’ ලෙස්්ටර්ගේ මතු නොව මෙරට සිනමාවේද ප්‍රථම අධි යථාර්ථවාදී (SURREALISM) සිනමා කෘතිය වේ. මෙය ආලෝකකරණයේදී ජර්මානු ප්‍රකාශනවාදයේ (GERMAN EXPRESSIONISM) ආභාසය ආනන්දට ලැබී තිබේ. ඉක්බිති ඔහු ලෙස්ටර්ගේ ‘මඩොල් දූව‘ (1976) හා සුමිත්‍රා පීරිස්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූ ‘ගැහැනු ළමයි’ (1978) ඈ චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂවරයා වූයේය. ‘ගැහැනු ළමයි’ හි කැමරාකරණය උදෙසා ඔහු හට 1979 ජනාධිපති සම්මාන උලෙළේදී කුසලතා පදක්කමක් පිරිනැමිණ. තමාට කැමරාව මෙහෙයවීමට ලැබුණු ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ ‘මඩොල් දූව‘ ඔස්සේ ආනන්ද අන්තර් ජාතික වශයෙන් ද ඇගැයීමට ලක් වූ කාර්මික අත්හදා බැලීමක් සිදු කළේය. එහි නිදාන කතාව මෙසේය. 1965 ටයිටස් තොටවත්තගේ අධ්‍යක්ෂණය යටතේ සෙරන්ඩිබ් සමාගම ‘පුරන් අප්පු’ නමින් චිත්‍රපටයක් වර්ණයෙන් නිපදවීමට උත්සුක වුවත් එය අතරමඟ ඇනහිටිණ. මේ සඳහා ගෙන් වූ දළ සේයාපට තොගය භාවිත කොට ලෙස්ටර් ‘තුං මං හන්දිය’ චිත්‍රපටය වර්ණයෙන් නිර්මාණය කිරීමට (මහගම සේකරගේ තිර රචනය ඇසුරෙන්) සූදානම් වූයේය. නමුත් පසුව මේ චිත්‍රපටය සේකරම අධ්‍යක්ෂණය කළ බැවින් ලෙස්ටර් ඉන් ඉවත් විය. 1975 ‘මඩොල් දූව‘ රූගත කිරිම් අරඹන විට මේ වර්ණ දළ සේයාපට තොගයෙහිි කල් ඉකුත් වී තිබිණ. ආනන්ද මදුරාසියේ ජෙමිනි චිත්‍රාගාරයට ගෙන ගොස් මේ දළ සේයා පට පිරික්සා බලා ඒවා මඟින් ‘මඩෙල් දූව‘ රූගත කිරීමේ අවදානම් අභියෝගය භාර ගත්තේය. ආනන්ද උපරිම සාධාරණය ඉටු කරමින් ‘මඩොල් දූව‘ හී කැමරාව මෙහෙය වූයේය. අදටත් ඇමරිකාවේ නිව්යෝක් නුවර කොඩැක් ආයතනයේ ගෞරවයෙන් සඳහන් කොට ඇත්තේ කල් ඉකුත් වූ වර්ණ කොඩැක් දළ සේයා පට තොගයක ‘මඩොල් දූව‘ නම් වූ ලාංකික චිත්‍රපටය අති සාර්ථක ලෙස රූගත කොට එම්. එස්. ආනන්ද නමැති ප්‍රතිභාපූර්ණ කැමරා ශිල්පියා සිදු කළ සුවිශේෂ අත්හදා බැලීම පිළිබඳවය. ලාංකේය සිනමාවේ විශිෂ්ටතම සිනමා කෘතිය වූ ‘නිධානය’ පවතින තුරා එය සැබෑ නිධානයක් බවට පත් කිරිමට දායක වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් අතරට අයත් වන එම්. එස්. ආනන්දගේ නාමය ද සදානුස්මරණීයව රැඳී පවතිනු නිරනුමානය.
|