වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දිකා උපමාලි අසෙනිය මල් කැටුව

ඉන්දිකා උපමාලි අසෙනිය මල් කැටුව

ගීතය ගැන කතාබහ වන රස වින්දන මානයන් බොහොමයි. නමුත් ක්‍රමානුකූල රස වින්දනයක් එක් රාමුවක සිට අඛණ්ඩව කනට ගෝචර වන්නේ නම් එය නම් කෙබඳු භාග්‍යයක් ද. එවන් පුළුල් රස වින්දනයක් රාමුගත කොට අඛණ්ඩව ඉදිරිපත් කිරීමට දරන මේ ප්‍රයත්නය විශාරද ඉන්දිකා උපමාලිගෙනි. සම්භාව්‍ය සංගීතය හොඳින් රස විඳිනු වස් වින්දන මානයන් පුළුල් කිරීමට මෙවර ඇගේ අරමුණ බව ඇය පැවසුවා. 'අසෙනිය මල්' සිය ආර්ට් සවුන්ඩ් ගායන පාසලේ යොවුන් හඬවල් සමඟ කෙරෙන වින්දනාත්මක පර්යේෂණය ජූලි මස 3 වනදා සවස 6 ට පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේදී පැවැත්වීමට නියමිතයි. ඇගේ රස වින්දන ප්‍රසංගය ගැන කතා කරන්න ඇය මෙසේ සරසවිය සමඟ එක් වූවා.

ඔබ ප්‍රසංගය රස විින්දනාත්මක ප්‍රසංගයක් හැටියට පවත්වන්නයි සූදානම. කලකට පසු රස වින්දනය කියන එක පුළුල් තේමාවක් කළේ ඇයි?

මේ උත්සාහය රස වින්දනය කියන එක ගැන පුළුල් කතාබහක් ඇති කරන්න මෑතක මට ලැබුණු හොඳම ගායනයට හිමි රයිගම් සම්මානයත් එක්ක මට ලොකු පන්නරයක් ලැබුණා මේ වැඩේ දිගටම කරන්න. මම දැන් අවුරුදු 20 ක් තිස්සේ සංගීතයත් එක්ක ඉන්නේ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගත්තු පෙරදිග, අපරදිග, කර්ණාටක සංගීතය පිළිබඳ දැනුමත් කේමදාස මාස්ටර් සමඟ වැඩකරපු කාලයත්, වර්තමානයේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ගුරුවරියක් හැටියට ඉගැන්වීම් කටයුතු කරන නිසාත් මම හිතනවා මට වගකීමක් තියෙනවා අලුත් පරම්පාවට සංගීතය ගැන රස වින්දනය පුළුල් කරන්න. අලුත් පරම්පරාවේ සාහිත්‍ය දැනුම ප්‍රශ්නකාරීයි. ඔවුන්ගේ සාහිත්‍ය පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම ඔවුන්ට නිර්මාණයක් තෝරාගෙන රස විඳින්න දැනුමක් නැහැ. ඒ නිසා රස වින්දන ප්‍රයත්නයත් ඉතා වැදගත්.

අසෙනිය මල් ආකර්ෂණීය නමක්. ඔබ රස වින්දනය පුළුල් කරන්නට යන්නේ කිනම් නිර්මාණ හරහාද?

මේ නම දැම්මේ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර. මම විශේෂයෙන් මේ සඳහා තෝරා ගත්තේ බෞද්ධ ගීත. විශේෂයෙන් ජන ගී, නූර්ති නාඩගම්, ග්‍රැමෆෝන්, වේදිකා හා චිත්‍රපටවල එන බෞද්ධ ගීත තමයි මෙහි රස වින්දන පදනම වෙන්නේ. විශේෂයෙන්ම මව් ගුණ, දූ දරු - මාපිය සබඳකම් වගේ අපේ රටේ බෞද්ධ හැඟීම් ඉස්මතු වෙන ආකාරයකට අපි ගීත ඉදිරිපත් කරනවා. දැන් ගත්තොත් එගොඩහ යන්නෝ වගේ ගීතයක් බැලු බැල්මට ඒක තොටියෙක් කියන ගීතයක්. නමුත් ඒ ගීතය පුළුල් රස වින්දනයකට යොමු කළොත් ඒක සංසාරය ගැන ගැඹුරු බෞද්ධ දැක්මක් දෙන ගීතයක්. ඒ වගේම 'බුද්ධ මාතා' උදාන කාව්‍ය ද (උදාන ගාථා) අපි රස වින්දනයට භාජනය කරනවා. ඒ වගේමයි සන්දේශ කාව්‍යයන්.

ඔබ සන්දේශ කාව්‍යයන් මේ සඳහා තෝරා ගත්තේ විශේෂ හේතුවකටද?

අපි සන්දේශ කාව්‍යයන්ට අවධානය යොමු කළේ මේකේ බස් වහර ඉහළින් තිබෙන නිසා. මේවා ගායනා කරනකොට ඉහළ ධ්වනි ගුණයක් ජනිත වෙනවා. මේ වගේ කාව්‍යයන් මිනිස්සු අතරට නොයන්න හේතුවත් මේවායේ ධ්වනි ගුණය මතු නොවීම. ඒකම සරළ ගීතයටත් බලපානවා. අද ධ්වනි ගුණය ගොඩක් හීන නිසා ගීතවල අමු ගතිය වැඩියි. ඒ නිසා ආමන්ත්‍රණ ගුණය අඩුයි. මේ කාව්‍ය සංදේශ කාව්‍ය තුළ තිබීම නිසාත් මේවා මිනිස්සු අතරට යන්නේ නැහැ. මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ තරුණ පරම්පරාවට සන්දේශ කාව්‍ය ගෙනයාම.

ඔබ මේ රස වින්දන ප්‍රසංගය විචාරයකට භාජනය කරන්නත් සූදානම්. ඒ සඳහා ඔබ විද්වත් කතිකාවතක් සූදානම් කරනවා ගී සැඳෑව අතරේම?

ඔව්, අපි විද්වත් කතිකාවතක් සූදානම් කරනවා බෞද්ධ දර්ශනය, මානව සම්බන්ධතා සහ කලාව නමින්. පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් ගී සැඳෑව පැවැත්වෙද්දී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ විසින් මේ විද්වත් කතිකාව මෙහෙයවනු ලබනවා. මෙහි මාධ්‍ය අනුග්‍රහය ස්වර්ණවාහිනී ආයතනයෙන් ඉටු වෙනවා.

ඔබ පැවසුවා ප්‍රසංගයට සරල ගීත පදනමක් ලබා දෙන බවට. එතැනින් ඔබ රස වින්දනය යම් ලිහිලකට ලක් කරනවාද?

අපේ සරල ගීතය බලවත්. ඒ නිසයි අපි බෞද්ධ ගීත පදනම් කර ගත්තේ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් නිසා මම දන්නවා සරල ගීතයෙන් කලාවට වෙච්ච සේවය අහක දාන්න බැරි බව. අනික තරුණ පරම්පරාවට පුළුල් වින්දනයකට හුරු කරනවා නම් ලොකු දේවල් එක පාරටම දීලා ඒක කරන්න බැහැ. ඒ වගේ තැනකට යන්න උත්සාහ දරන පළමුවැනි අදියර තමයි මේ ප්‍රසංගය.

ඔබට ප්‍රවීණයන් රැසක් මේ කාර්යයට අත දෙන බව දැනගන්නට ලැබුණා?

ඔව්. ප්‍රවීණ ගායක ගායිකාවන් බොහොම දෙනෙක් මට උපකාර කරනවා. සංගීත් නිපුන් සනත් නන්දසිරි, ටී. එම්. ජයරත්න, ජගත් වික්‍රමසිංහ, ප්‍රදිපා ධර්මදාස, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී වැනි ප්‍රවීණයන් මට ආශිර්වාද කරනවා. මේ ගුරුහරුකම් මටත් ආශිර්වාදයක්, අපේ බාල පරම්පරාවටත් ආශිර්වාදයක්.

ඔබේ ප්‍රසංගාත්මක ආර ගොඩක් ආකර්ෂණීයයි. මේ ආර ඔබ සෑහෙන කලකට පසුවයි නැවත ගෙන එන්නේ?

මේක ප්‍රසංගයක්මයි කියන්න බැහැ. මේ සංගීත සැඳෑවත් කරන්නේ එළිමහනේ සුනේත්‍රා දේවි පිරිවෙනේ බෝ මළුවේ. 2010 අවුරුද්දේ මගේ සංයුක්ත තැටිය පිළිගන්වපු දා ඉඳලා මම ප්‍රසිද්ධ සංගීතයට සම්බන්ධ වුණේ නැහැ. අනික එවැනි සංයුක්ත තැටියක් එළිදක්වන එක කොහොමටත් ප්‍රසංගයකුත් නෙවෙයි. මං මගේ සංගීත ආශ්‍රමයේ ළමයි එක්ක දැන් අවුරුදු 8 ක් මම ඔවුන් එක්කම ගමනක් යනවා. අනික මම විශේෂයෙන් කියන්න ඕනෑ අපි තෝරා ගත්ත නිර්මාණ සමහරක් පදවලින් හොඳින් පෝෂණය වෙලා නැහැ. ඒවායේ තනුව හොඳ නිසයි අපි ඒවා ප්‍රසංගයට ගත්තේ. ඒ නිසාමයි අපට අවශ්‍ය වුණේ විද්වත් කතිකාවක් මඟින් මේවා රස වින්දන හුරුවකට හරි විදිහට භාජනය කරන්න.

දැන් ඔබ සහ කේමදාස ශූරීන්ගේ නිර්මාණ අතර සම්බන්ධය කොයි වගේද?

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍ය තමයි ප්‍රේමසිරි කේමදාස මාස්ටර්. මට මතකයි මම මානසවිලට සම්බන්ධ වෙනකොට කේමදාස මාස්ටර් කියපු දේ. එතුමා කිව්වා මගේ ඔළුවේ තිබෙන සියලු දේ අමතක වෙනකං මාස තුනක් නිකං ඉන්න කියලා. මේ වගේ දේවල්වලින් තමයි එතුමාගේ සහයෝගය ඇතුව මගේ මූලය සකස් කර ගත්තේ. දැන් නම් කේමදාස මාස්ටර්ගේ නිර්මාණ සහ කේමදාස පදනම එතුමාගේ දියණියන් දෙදෙනා ගයාත්‍රි සහ අනුපමා හට භාර වෙලා තිබෙනවා. මම දැඩිව විශ්වාස කරන දෙයක් තමා හොඳ ගෝලයෝ බිහි වෙන්නේ නැත්නම් ගුරුවරයා අසාර්ථකයි කියන එක. කේමදාස මාස්ටර් හොඳ ගුරුවරයෙක් කියන එක ළඟදී දවසක ඔප්පු වුණු තැනක් තමා රයිගම් ටෙලි සම්මාන උලෙළේදී හොඳම සංගීතය සඳහා වන නාම යෝජනාවලට කේමදාස මාස්ටර්ගේ ගෝලයෝ තිදෙනෙක්ම යෝජනා වීම. සමන්ත පෙරේරා, නදීක ගුරුගේ, දේශක සම්පත් කියන්නේ එතුමාගේ ඵල. ඒ නිසා කේමදාස මාස්ටර්ගේ ගුරුහරුකම් ඉදිරියට ගෙනියන්න දැන් එතුමාම අවශ්‍ය නැහැ.