වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාවේ ආනන්ද ජවනිකා මැවූ දයානන්ද ගුණවර්ධන
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 4

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාවක්

වේදිකාවේ ආනන්ද ජවනිකා මැවූ දයානන්ද ගුණවර්ධන

දයානන්ද ගුණවර්ධන ද කලින් ලිපියේ සඳහන් කළ පරිදි විශ්ව විද්‍යාලයෙන් බිහිවුණු නාට්‍යකරුවෙකි. ඔහු මුලින්ම නළුවෙකි. නාට්‍ය කලාව ඉගැන්වීම සඳහා මෙරටට පැමිණි ඔස්ත්‍රියානු ජාතික ඇන් නිව්මන් ජුබාල් සිංහලෙන් නිෂ්පාදනය කළ එකම නාට්‍යය වූ 'වෙද හටනේ' දයානන්ද රඟපෑවේය. නාට්‍ය යනු අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යයක්ය යන්න ජුබාල් තරයේ පිළිගත් මතවාදය විය. දයානන්ද කෙරෙහි ජුබාල් කොයි තරම් බලපෑවේ ද කිවහොත් ඔහු කොයි තරම් ජුබාල් වාදියකු වීද කිවහොත් ඔහුගේ මිතුරන් ඔහු ඇමතුවේ 'ජුබාල්' යන නමිනි. දයානන්ද මහාචාර්ය සරච්චන්ද්‍රගේ 'වඳින්න ගිය දේවාලේ' නාට්‍යයේ ද රඟපා ඇත.

දයානන්ද තම මුල්ම නාට්‍යය නිෂ්පාදනය කළේ කෑගලු මහා විදුහලේ ගුරු වෘත්තියේ යෙදී සිටියදීය. ඒ 1959 දීය. නාට්‍යය 'ස්වර්ණතිලකා'ය. 'මනමෙ' නාට්‍යය නැරඹීමෙන් ලත් ආවේශයෙන් ඔහු එය ලියා රඟදක්වා ඇත. 'ස්වර්ණතිලකා' ද 'මනමෙ' මෙන්ම නාඩගමකි. සින්දු තාල සැපයුවේ කෑගල්ල මීපිටිය හෙන්ද්‍රික් ගුරුන්නාන්සේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'ප්‍රේමතො ජායති සෝකො' නාට්‍යයේ පවා වස්තු වූ උද්දාල ජාතකයත් පාලි රසවාහිනී සහ එහි සිංහල පරිවර්තනය වන සද්ධර්මාලංකාරයත් යන කෘතිවල වන 'ස්වර්ණතිලකා' කතා පුවතත් මෙම නාට්‍යයට පාදක වූයේය. කෑගලු විද්‍යාලයීය රංග සභාව මෙය ඉදිරිපත් කරන ලදී.

මෙම රංග සභාව වෙනුවෙන් දයානන්ද තවත් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. ඒ 'පරාස්ස'ය (1959). යකුන් මෙල්ල කරන හෙවත් රාස්සයන් කන පරාස්සලා පිළිබඳ වූ ජන කතාව තොවිල් සම්ප්‍රදාය මත පිහිටා කළ නාට්‍යයකි මෙය. මෙහි ගැහැනු චරිත නළුවන් විසින් රඟපානු ලැබීම විශේෂත්වයක් විය.

දයානන්දගේ හොඳම නාට්‍ය නිර්මාණය ලෙස අදත් සැලකෙන 'නරිබෑනා' (1961) ඔහුගේ ඊළඟ නිෂ්පාදනය විය. කෑගලු මහා විද්‍යාලයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ආ දයානන්ද මෙහි නරියාගේ චරිතය රගපෑම සඳහා කෑගලු මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙක් ද කොළඹ කැටුව ආවේය. ඒ ශිෂ්‍යයා සාලමන් ෆොන්සේකාය.

'නරිබෑනා' නාට්‍යයට අපේ රටේ ප්‍රකට ජන කතා දෙකක් පාදක වෙයි. එකක් 'සිවලා හා ගම දුව'ය. අනික 'කළ හොඳ පස්සෙන් එලවීම'ය. මෙම නිෂ්පාදනයේදී ගී හා සංවාද සඳහා රබන් පද හා සවුදම් ඉතා සාර්ථකව යොදා ගෙන ඇත. නර්තන විලාස සඳහා භාවිත කර ඇත්තේ බම්බු නැටුම්ය.

ආනන්ද ජවනිකා

71 කැරැල්ලෙන් පසු 'නරි බෑනා' නව අර්ථකතනයකින් යුතුව වේදිකා ගත කෙරිණි. මෙහිදී නරියා තම අතට තුවක්කුවක් ගනී. මේ උපහාසය දැනවූණේ 1971 දී තුවක්කු අතට ගත් තරුණ පරපුරටද? 'නරිබෑනා' ජර්මනියේදී තවත් අර්ථකතනයකික් යුතුව රඟදක්වා ඇති බවද වාර්තා වෙයි. මුල් නිෂ්පාදනයේ නරියාට බල්ලා උසිගන්වා සිනාසෙන ගැමි තරුණිය වෙනුවට නරියා දෙස දයානුකම්පාවෙන් බලන තරුණියක් ජර්මන් නිෂ්පාදනයෙන් අපට මුණගැසේ.

'නරිබෑනා' මෙරටදී අතිශය ජනප්‍රිය වූ නාට්‍යයකි. මෙහි මංගල දර්ශනය පවත්වා මාස 8 ක් ඇතුළත එහි සියවැනි දර්ශනය ද පවත්වා ඇති අතර එවක ජනගහනයෙන් සෑම 125 දෙනකුගෙන්ම ඒක් අයකු 'නරිබෑනා' නරඹා ඇත.

කාමරේ පොරේ (1960) 'නරිබෑනා' සමඟ පෙන් වූ කෙටි විකට නාට්‍යයකි. මෙය ජේ. එම්. මෝර්ටන්ගේ 'බොක්ස් ඇන්ඩ් කොක්ස්' නාට්‍යයේ ඡායානුවාදයකි.

'ඇමැති පට්ටම' (1960) දයානන්දගේ තවත් නාට්‍යයකි. බල්ගේරියානු ජාතික එස්. එල්. කොස්ටෝව්ගේ 'ගොලොමනොව්' නැමති නාට්‍යයේ පරිවර්තනයකි මෙය.

දයානන්ද 1961 දී කොළඹ විශ්ව විද්‍යාල සිසුන් සමඟ එක්ව නාට්‍යයක් නිෂ්පාදනය කළේය. ඒ 'පිංගුත්තර'ය. බෞද්ධ සාහිත්‍යයේ එන පිංගුත්තර චරිතය දෙස සිග්මන්ඩ් ෆොයිඩ්ගේ මනෝ විද්‍යාත්මක සංකල්ප අනුව බැලීමක් ලෙස ඇතැමුන් මෙම නාට්‍යය හඳුන්වා ඇත.

'බක් මහ අකුණු' (1963) දයානන්දගේ තවත් ප්‍රකට නාට්‍යයකි. මෙය නිපදවා ඇත්තේ ප්‍රංශ ජාතික පියරේ ඔගස්ටින් කැරන් ඩි බොමාෂේ ගේ 'මැරේජ් ඔෆ් ෆිගාරෝ' නම් වූ නාට්‍යය ඇසුරෙනි. (මෙම නාටකය පසු කලෙක මෝසාට් විසින් මනහර ගීත නාටකයක් බවට ප්‍රති නිර්මාණය කරන ලදී). දයානන්දගේ දක්ෂතාවය වූයේ මෙම නාටක අපේ රටට ගැළපෙන ආකාරයෙට අනුවර්තනය කිරීමයි. මෙරට ප්‍රථම වතාවට කැරකෙන වේදිකාවක් භාවිතා කළේ 'බක්මහ අකුණු' වෙනුවෙනි. පසුව මෙම නාට්‍යය දයානන්ද විසින්ම සිනමාවට නංවන ලදි. ඒ 'බක් මහ දීගේ' යන නමිනි.

මුලින් හේමසිරි ප්‍රේමවර්ධන නිපද වූ 'දෙන්නා දොපොළේ' (1964) නම් නාට්‍යය දයානන්ද 1964 දී පුනර් නිෂ්පාදනය කළේය. සිය බිරිඳගේ සැහැසිකම්වලින් මිදීමට තවත් ගැහැනියක සොයා ගිය ගම්පතියකු පිළිබඳ රසවත් ජපන් ගැමි නාට්‍ය කෘතියක් ඇසුරෙන් කළ කෙටි සංගීත නාටකයකි මෙය.

නරිබෑනා

ජීවන වංචා හෙවත් 'ඉබිකට්ට' (1965) සිංහල වේදිකාවේ වැදගත් වන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අනුදුටු රංග ශෛලිය ආභාසයෙන් නිෂ්පාදනය කෙරුණු ප්‍රථම නාට්‍යය ලෙසිනි. ඊට ඉහත ගුණසේන ගලප්පත්ති බ්‍රෙෂ්ට්ගේ 'ගුඩ් වුමන් ඔෆ් සෙට්සුවාන්' නාට්‍යයේ මූලික තේමාව ගනිමින් 'දේවතා එළි' නාට්‍යය නිපද වූයේය. දයානන්ද 'ඉබිකට්ට' සඳහා බ්‍රෙෂ්ට් රංග රීතිය උපයුක්ත කර ගැනීමට කිසියම් ආවේශයක් වූයේ 1962 දී බල්ගේරියාව, රුමේනියාව සහ චොකෝස්ලොවැකියාව වැනි සමාජවාදී රටවල දකින්ට ලැබුණු බ්‍රෙෂ්ට් නාට්‍ය නිෂ්පාදනයන්ය. ' ඉබිකට්ට' දෙමළ බසින් ද රඟ දක්වා ඇත. (නිෂ්පාදනය ශ්‍රීමති විමලාදේවි සොක්කනාදන් ගෙනි).

'ජසයා හා ලෙන්චිනා' (1965) කෝලම් නාට්‍ය සම්ප්‍රදාය අනුව නිෂ්පාදිතය. පහත රට කෝලම් නැටුම්වල එන ජනප්‍රිය අංග වන ජස, පේඩි, රඳා වැනි කෝලම් නැටුම් ආශ්‍රයෙන් මෙය සැකසී ඇත. ජන නාට්‍ය අරභයා දයානන්ද සතු පරිණත දැනුම මෙම නාට්‍යය මඟින් ද මනාව ස්ඵුට වෙයි.

'විකාරයේ ආකාරය' (1967) 'ලස්සන' පුවත්පත මඟින් මෙහෙය වු නාට්‍ය උත්සවයක් උදෙසා නිපදවන ලද නාට්‍යයකි. පසුව මෙය ගුවන් විදුලි නාටකයක් ලෙස ද ප්‍රචාරය විය.

'කබායේ හබේ' (1971) ප්‍රශස්ත නාට්‍යයකි. එහෙත් එය ජනප්‍රිය වූයේ නැත.

'පද්මාවතී' (1974) චාල්ස් ඩයස්ගේ සුප්‍රකට නූර්තියේ නව සංස්කරණයකි. ලක්ෂ්මන් ජයකොඩි හා දයානන්ද ගුණවර්ධන මෙය නිෂ්පාදනය කළහ. මෙහි නූර්ති සංගීතය පිළිබඳ උපදෙස් රොම්ලස් ද සිල්වාගෙනි.

'ගජමන් පුවත' (1975) දයානන්දගේ ඉතාම විචිත්‍රවත් නාට්‍යයකි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෘශ්‍ය කාව්‍යයකි. මාතර යුගයේ විසූ සුප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනාගේ චරිතාපදානය මෙයට වස්තු වූයේය. මෙබඳු නාට්‍යයක් නිපදවීම සඳහා දයානන්දට නිමිත්ත වී ඇත්තේ 'කාමචි' නමැති ජපන් නෝ නාට්‍යය හා එංගලන්තයේ 'ඩියර් ලයර්' හා 'නොටි' යන නාට්‍ය දෙකය. වාර්තා රංගය (DOCU-DRAMA) නමැති නාට්‍ය විධික්‍රමය දයානන්ද පළමු වතාවට අත්හදා බැලුවේ ගජමන් පුවතෙනි.

ගජමන් පුවත

මේ වාර්තා රංගය මුළුමනින්ම යොදගෙන දයානන්ද නාට්‍යයක් නිෂ්පාදනය කළේය. ඒ 'බැංකු නාට්‍ය' (1979) නම් වූ කෘතියයි. කොළඹ මහජන බැංකු නව මූලස්ථානය විවෘත කිරිම වෙනුවෙන් තැනුණු මෙම නාට්‍යයෙන් කියැවුණේ මෙරට බැංකු ක්‍රම විකාශනයයි.

දයානන්ද ඊට පසුව නිෂ්පාදනය කළ නාට්‍ය දෙක ද වාර්තා රංග ශෛලිය උපයුක්ත කර ගත්තකි. ඒ 'මධුර ජවනිකා' හා 'ආනන්ද ජවනිකා'ය.

'මධුර ජවනිකා' (1983) සිංහල ඉතිහාසයේ (හිංගල වංශය) විවිධ සංගීතමය ශෛලීන්ගෙන් යුතුව ඉදිරිපත් කෙරුණු ප්‍රාසංගික නාට්‍යයකි. ජනශ්‍රැතිවේදියකු වූ දයානන්ද එම විෂය ක්ෂේත්‍රයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන මෙය නිපදවා ඇති ආකාරය පෙනේ.

'ආනන්ද ජවනිකා' (1986) නිර්මාණය කරන ලද්දේ ඔහු ඉගෙනුම ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේ සියවස වෙනුවෙනි. හුදෙක් එය ආනන්ද විදුහලේ ඉතිහාසය කියාපෑමක් නොවේ. එය එම යුගයේ සමකාලීන ඉතිහාසය පුළුල්ව විමසා බැලීමකි.

වාර්තා රංගයක් යනු නාට්‍යයක් නොවේද?. මේ ප්‍රශ්නය පැන නඟින්නේ ඉහත නාට්‍ය දෙකට දැක්වුණු ප්‍රතිචාර සලකා බලද්දීය. 'මධුර ජවනිකා' නැරඹූ එක් ප්‍රසිද්ධ නාට්‍යකරුවකු පවසා ඇත්තේ ඔහු එය නාට්‍යයක් මෙන් රසවින්ද බවය. මෙය සම්මත නාට්‍යයක් නොවේය යන අදහසක් ඔහු දැරූ වග ඉන් ගම්‍ය වෙයි. 'ආනන්ද ජවනිකා' නාට්‍යයට රාජ්‍ය නාට්‍ය උත්සවයේදී හොඳම රචනය සඳහා වන සම්මානය හිමි නොවී සහතිකයක් පමණක් ප්‍රදානය කිරීමෙන් සාක්ෂාත් වන්නේත් මෙය නාට්‍යයක් ද, නොඑසේ නම් විවිධ ප්‍රසංගයක් ද යන ගැටලුව විනිශ්චය මණ්ඩලය ඉදිරියේ මතු වූ නිසා බව කියැවෙයි.

මේ හැරුණු කොට දයානන්ද 1990 දී 'මතක භක්ත' යනුවෙන් වෙසක් නාට්‍යයක් ඉදිරිපත් කර ඇත. ඒ පොලිස් උප සේවා මූලස්ථානයේ ආරාධනාවක් පරිදිය.

දයානන්ද විශිෂ්ට ගණයේ ගීත රචකයෙක් ද වෙයි. ඔහුගේ උසස් ගී රචනා 'නරිබෑනා', 'බක් මහ අකුණු', 'ගජමන් පුවත' වැනි නාට්‍යවල අපට දක්නට ලැබේ.