වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මතයට එරෙහි වන අසම්මත පොලොන්ස්කි

සම්මතයට එරෙහි වන අසම්මත පොලොන්ස්කි

රෝමන් පොලැන්ස්කි

පෝලන්තය / ප්‍රංශය

අගෝස්තු 18, 1933

විශිෂ්ට චිත්‍රපට - නයිෆ් ඉන් ද වෝටර්, රෝස්මේරිස් බේබි, චයිනාටවුන්, ටෙස්, ද පියානිස්ට්, ද ගෝස්ට් රයිටර්

රෝමන් පොලැන්ස්කි යනු සිනමා ඉතිහාසයේ මෑත කාලයේ බිහිවුණු වඩාත්ම ආන්දෝලනාත්මක චරිතවලින් කෙනෙක්. ඔහුගේ නමත් සමඟම කෙනෙකුට මතකයට එන්නේ ඔහුගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ සිද්ධීන් පෙළය. බොහෝ විට එම මතකයම බොහෝ අයට පොලැන්ස්කි චිත්‍රපටකරුවෙකු ලෙස කළ නිර්මාණත් යටපත් කරමින් ප්‍රධාන තැනක් ගනී.

පොලැන්ස්කි ප්‍රංශයේ පැරිස් නුවර මෙලොව එළිය දුටුවේ, චිත්‍ර ශිල්පියෙකු සහ ප්ලාස්ටික් නිෂ්පාදකයෙකු වූ රිසර්ඩි පොලැන්ස්කි හා බුලා කෑටිස් - ප්‍රසෙඩිබොස්කා හට දාව රේමන්ඩ් රෝමන් තියෙරි පොලැන්ස්කි ලෙසයි. පොලැන්ස්කි පවුල 1936 ප්‍රංශය අතහැර පෝලන්තයේ ක්‍රැකොවි නගරයේ පදිංචියට ගියා. ජර්මනිය පෝලන්තය යටත් කර ගනිමින් දෙවන ලෝක යුද්ධය ඇරඹුණු විට ඔවුන් සිටියේ පෝලන්තයේයි. නාසීන්ගේ ජාතික සහ ආගමික පවිත්‍රතාව වෙනුවෙන් ගෙන ගිය වැඩ පිළිවෙළ හේතුවෙන් පීඩාවට පත් යුදෙව් ජාතිකයන් අතරට පොලැන්ස්කි පවුලත් අයත් වුණා. නගරයේ සිටි තවත් යුදෙව්වන් දහස් ගණනක් සමඟ පොලැන්ස්කි පවුලත් ක්‍රැකොචි ගෙටෝවට ගාල් කෙරුණා. රෝමන්ගේ පියා නම් ඔස්ට්‍රියාවේ පිහිටි මෞතෟසන්-ගුසෙන් නම් දේශපාලන සිරකරුන් රඳවා තබන කඳවුරේදී තම ජීවිතය ගලවා ගත් නමුත් රෝමන්ගේ මවට නම් එම වාසනාව හිමි වුණේ නැහැ. ඇය පෝලන්තයේ ඔෂ්විස්ටිස් නම් කඳවුරේදී මිය ගියා. රෝමනුත් කෙසේ හෝ ක්‍රැකොචි ගෙටෝනෙන් 1943 පැන ගොස් රොමෙක් විල්ක් ලෙස තම නම වෙනස් කරගෙන පෝලන්ත ජාතික රෝමානු කතෝලික පවුල් කිහිපයක පිහිටෙන් දිවි ගලවා ගත්තා.

පොලැන්ස්කි පෝලන්තයේ තුන්වන ලොකුම නගරය වූ ලෝඩ්ස් හි ජාතික චිත්‍රපට පාසලට ඇතුළත් වූවා. එක් දහස් නවසිය පනස් ගණන්වලදී ඔහු රඟපෑම ඉගෙන ගත්තා. පොලැන්ස්කි අධ්‍යක්ෂවරයකු ලෙස කල එළි බැස්ම දුටුවේ 1955 දී නිපැයුණු රොවර් (බයිසිකලය) නම් කෙටි චිත්‍රපටයෙනුයි. අර්ධ ස්වයං චරිතාපදානාත්මක චිත්‍රපටයක් වූ රෝවර් හි රඟපෑවෙත් පොලැන්ස්කිමයි. එය අද වන විට සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ලෝඩ්ස් හි පාසලේ ගත කරපු කාලය තුළ ඔහු නිර්මාණය කළ තවත් කෙටි චිත්‍රපට කිහිපය නිසා පොලැන්ස්කි හට සැලකිය යුතු පිළිගැනීමක් ලැබුණා. ඒවා අතරින් ටු මෙන් ඇන්ඩ් අ වෝඩ්‍රෙබ් (1958) සහ වෙන් එන්ජල්ස් ෆෝල් (1959) වැදගත් වූවා. 1959 දී පොලැන්ස්කි උපාධිය ලැබුවා.

පොලැන්ස්කිගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය නයින් ඉන් ද වෝටර් (1962) දෙවන ලෝක යුද්ධයෙන් පසු පෝලන්තයෙන් බිහි වූ සැලකිය යුතු චිත්‍රපට අතරින් යුධ තේමාවක් නොමැති වූ ප්‍රථම චිත්‍රපටය වුණා. ජර්සි ස්කොලිමොව්ස්කි, යාකුබ් ගෝල්ඩ්බර්ග් සහ පොලැන්ස්කි විසින් රචනා කරන ලද නයිෆ් ඉන් ද වෝටර් චිත්‍රපටයේ කතාවට පදනම වූයේ අසතුටුදායක විවාහ දිවියක් ගත කරන පොහොසත් යුවලක් එක් සති අන්තයක බෝට්ටු සවාරියක් යාම සඳහා අද්භූත මගියෙකු ඔවුන් සමඟ එකතු කර ගැනීමෙන් පසු දිග හැරෙන සිද්ධි දාමයක්. මෙම චිත්‍රපටය කොමියුනිස්ට් පාලනයක් තිබුණු මහජන පෝලන්තයේ එතරම් හොඳ පිළිගැනීමකට ලක් නොවූවත් බටහිර ලෝකයේ නම් එය ඉහළ වාණිජ සාර්ථකත්වයක් අත් දුටුවා. ඒත් සමඟම චිත්‍රපටය පොලැන්ස්කිට අන්තර් ජාතික පිළිගැනීක් ද ලබා දුන්නා. හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ලැබෙන ඔස්කාර් සම්මානය 1963 දී පොලැන්ස්කිට මේ වෙනුවෙන් ලැබුණා.

අඳුරු නොසන්සුන් වෘත්තාන්තයක් වූ පොලැන්ස්කිගේ ප්‍රථම චිත්‍රපටය ලිංගික සහ තරාතිරම් ඊර්ෂ්‍යාව පිළිබඳව මානසික ගති විද්‍යාව සහ සදාචාරාත්මක පල විපාක අතර මානව සබඳතාවය ගැඹුරු මෙන්ම අසුබවාදී අයුරින් ඉතා ප්‍රවේසම් සහගතව ඉදිරිපත් කරනු ලැබුවා.

මේ වන විට ප්‍රවීණ සිනමාකරුවෙකු ලෙස පෝලන්තයේ නමක් දිනා සිටි නමුත් පොලැන්ස්කි එවකට කොමියුනිස්ට් පෝලන්තය අතහැර ප්‍රංශයේ පදිංචියට ගියා. ඒ වන විටත් ඔහු ප්‍රංශයේ නමක් දිනාගත් කෙටි චිත්‍රපට දෙකක්ම නිර්මාණය කර තිබුණා. 1961 දී නිමැවුණු එම චිත්‍රපට දෙක ද ෆැට් ඇන්ඩ් ද ලීන් සහ මැමල්ස් වූවා. ප්‍රංශයේ ජීවත් වන අතරතුර පොලැන්ස්කි The Beautiful Swindlers නම් කොටස් කීපයකින් සෑදුණු ප්‍රංශ චිත්‍රපටයට ‘La Riviere de Dimants’  නම් කොටස අධ්‍යක්ෂණය කිරීමෙන් දායක වුණේ 1964 දී. ඒ කෙසේ වුවත් හැටේ දශකයේ ප්‍රංශ සිනමා කර්මාන්තය මේ නැඟී එන සිනමාකරුවා සංස්කෘතික පෝලන්ත ජාතිකයෙකු මිසක් ප්‍රංශ ජාතිකයෙකු නොවූ නිසා ඔහුට අත දෙන්නට ඉදිරිපත් වූයේ නැහැ. ඉතින් පොලැන්ස්කි කළේ නව අවස්ථා සහ මුල්‍යමය පහසුකම් සලසා ගැනීමට ඉඩක් තිබේදැයි බලන්නට එංගලන්තයට ගිය එකයි.

පොලැන්ස්කි එංගලන්තයේදී චිත්‍රපට 3 ක් අධ්‍යක්ෂණය කළා. ඒවායේ තිර නාටක රචනා කළෙත් ඔහුම සහ ජෙරාඩ් බ්‍රැක් නැමැති ඔහු සමඟ නිතරම වැඩ කළ සගයෙකු විසිනුයි. රිපල්ෂන් (1965) මනෝ විද්‍යාත්මක හොල්මන් චිත්‍රපටයක් වූවා. එහි කතාවට පාදක වුණේ තම වැඩිමහල් සහෝදරිය සමඟ ලන්ඩන් හි ජීවත් වන කැරොල් නැමැති තරුණ බෙල්ජියම් කාන්තාවකගේ කතාවයි. මේ චිත්‍රපටයේ තේමා, සිදුවීම්, දෘශ්‍ය අදහස නැතිනම් මාතිකාව සහ ප්‍රයෝග අධිතාත්විකවාදී සිනමාවේ මුල් යුගයේ චිත්‍රපට මෙන්ම පනහ දශකයේ හොල්මන් චිත්‍රපටවලද බලපෑමට ලක් වූ බව පිළිබිඹු වුණා.

1966 දී නිර්මාණය වුණු කල් ඩි සැක් නොරතම්බලන්තයේ රූගත කෙරුණු අඳුරු නාස්තිකවාදී විකට දුක් (Tragicomedy) Ç චිත්‍රපටයක්. චිත්‍රපටයේ ස්වභාවය සහ මූලික පූර්චායාවයවය බොහෝ දුරට සැමුවෙල් බෙකට් ගේ ගෝඩෝ උන්නැහේ එනකං නාට්‍යයට සමාන වූ අතර සමහරක් අංග හැරල්ඩ් පින්ටර් ගේ ද බර්ත්ඩේ පාටි නාට්‍යයටත් සමානකමක් දැක වූවා. චිත්‍රපටයේ කතාව ගෙතුණේ ඩිකී සහ ඇල්බි නැමැති මැරයින් දෙදෙනා වැරදුණු හොරකමකට පසු පලායෑම පසුබිම කරගෙනයි.

1967 දී එළි දුටු ද ෆියර්ලස් වැම්පයර් කිලර්ස්, වැම්පයර් චිත්‍රපටවල හාස්‍යමය අනුකරණයක් (විශේෂයෙන්ම හැමර් චිත්‍රාගාරය විසින් නිපද වූ) ඒ චිත්‍රපටවල පසුතල බොහොමයක් නිමවා තිබුණේ ලන්ඩන් හී චිත්‍රගාර තුළයි. අබ්‍රොන්සියස් නමැති ඔලමොට්ටල මහාචාර්යවරයකු සහ ඔහුගේ වගකීමක් නැති සහායක ඇල්ෆ්‍රඩ් (පොලැන්ස්කිම රඟපෑ) වැම්පයරයන් සොයමන් ට්‍රාන්සිල්වේනියා හරහා සංචාරයේ යෙදෙන සැටි එහි කතාව වුණා. මෙය පොලැන්ස්කිගේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ද වූවා.

පැරමවුන්ට් පික්චර්ස් පොලැන්ස්කිගේ යුරෝපීය චිත්‍රපට අගය කළ අතර ඔවුන් බලාපොරොත්තු වූයේ පොලැන්ස්කිගේ ප්‍රථම ඇමරිකානු චිත්‍රපටය හැටියට රෝස්මරීස් බේබි අධ්‍යක්ෂණය කිරීමට ඔහු පොලඹවා ගැනීමටයි. පොලැන්ස්කිගේ පළමු හොලිවුඩ් චිත්‍රපටයම ඔහු ප්‍රධාන වාණිජ චිත්‍රපටකරුවෙකු බවට ගෞරවයක් ස්ථාපිත කරනු ලැබුවා. 1968 තිරගත වූ මෙම චිත්‍රපටය වාණිජමය වශයෙන් සාර්ථක වුණා. නිව්යෝක් නගරයේ මෑන්හැටන් හි යාවත්කාලින තට්ටු නිවාසයක සිදුවෙන සිදුවීම් පෙලක් මුල් කරගෙන සෑදු මෙය ත්‍රාසය දනවන භයංකාර චිත්‍රපටයක්. කතාවේ කියවෙන්නේ රෝස්මරී වුඩ්හවුස් නම් අහිංසක තරුණ ගෘහණියක් සහ ඇයගේ ආත්මාර්ථකාමී උන්නති කාමයෙන් පෙලෙන නළු සැමියා ගයි ගැනයි. ඇයගේ ගර්භාෂය තමාගේ ජනප්‍රියත්වයට හුවමාරු කිරීමට ඇයගේ සැමියා ගන්නා තීරණය නිසා යක්ෂයා විසින් ඇයව ගැබ් ගන්නවනවා. ඔහු ඇයගේ ගර්භාෂය යක්ෂයාගේ දරුවා පිළිසිඳගැනීම පිණිස පුද දෙනු ලබන්නේ ප්‍රාදේශීය සාතන්වාදීන් හටයි. පොලැන්ස්කිගේ අනුවර්තන තිර නාටකය ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වුණා.

පොලැන්ස්කි 1969 දී සිදු වූ තම බිරිඳගේ (ෂැරන් ටේට්) මරණයෙන් පසු ආපසු යුරෝපයට ගියා. එහිදී ඔහු වැඩි කාලයක් ගත කළේ පැරිස් සහ ග්ස්ටාඩ්වලයි. නමුත් 1971 මැක්බත් සාදන තුරු ඔහු චිත්‍රපට නිර්මාණකරණයේ යෙදුණේ නැහැ.

පොලැන්ස්කි සහ ඔහුගේ පෙර සහයෝගීත්වයෙන් කටයුතු කළ ජෙරාඩ් බ්‍රාක් විසින් රචිත වට්? (1973) කටුක අනුචිත (අසමම්ත) කොමඩියක් වුණා. රොජර් වේඩිම් සහ ටෙරි සදන් ගේ ධෛර්්‍යය සිතට අරන් පොලැන්ස්කි නිර්මාණය කළ මේ චිත්‍රපටයට ඇලිස්ගේ විශ්මලන්තය සහ හෙන්රි ජේම්ස්ගේ තේමාවල ආභාසය සුළු වශයෙන් තිබුණා. නමුත් වට්? ප්‍රේක්ෂක මෙන්ම විචාරක ඇස් හමුවේ අසර්ථක වුණා. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම චිත්‍රපටයම ඇදහිලිවාදයක් බවට පත්වුණා.

ඔහුගේ ඊළඟ චිත්‍රපට දෙකත් යුරෝපයේදී සෑදූ පොලැන්ස්කි 1973 දී නැවතත් හොලිවුඩ් වෙත ආවේ චයිනාටවුන් අධ්‍යක්ෂණය කරන්නයි. චයිනාටවුන් ඔස්කාර් සම්මාන 11 ක් සඳහා නිර්දේශ වුණේ ප්‍රධාන නළු නිළි යුවළ වූ ජැක් නිකල්සන්ට හා ෆේ ඩනවේට හොඳම රඟපෑම සඳහා නිර්දේශ නාම ද ලබා දෙමින්. රොබට් ටවුනි විසින් රචිත පිටපත හොඳම මුල් තිර නාටකය සඳහා ඔස්කාර් සම්මානය දිනා ගත්තා. පුද්ගලික රහස් පරික්ෂක ජේ. ජේ. ජේක් ගිට්ස්ට ලැබෙන්නේ සැකසහිත අයථා සම්බන්ධයක් ගවේෂණය කිරීමට. නමුත් අවසානයේ ඔහු අතින් හෙළිදරව් වෙන්නේ ලොස් ඇන්ජලීස් හී සිදු වන මහත් හොරකමක් ගැනයි. දූෂිත මහජන සේවක නිලධාරින් සහ හොර ව්‍යාපාරිකයින් විසින් එකතුව කරනු ලබන්නේ බදු ගෙවන ජනතාව සහ නගර සභාවත් නොමඟ අරමින් ජනසතු ජලාප්‍රවාන සේවය නොමනා අයුරින් භාවිත කරමින් සැන් ෆර්නැන්ඩෝ නිම්නයේ ඇති විශාල ඉඩම් යායක් සශ්‍රීත කිරීමට උත්සාහ දැරීමයි. අවසානයේ ජෙක් (නිකල්සන්) සොයා ගන්නා පරිදි මෙම කුමන්ත්‍රණයේ මහ මොලකාරයා නගරයේ ජල කොමසාරිස්ගේ මිනීමැරුමට වගකිව යුතු වෙන අතරම ඔහු තමාගේම දියණිය ද දූෂණය කර ඇයට දරුවෙකු ලබා දුන් ව්‍යභිචාර පියෙකු ද වෙනවා. 1974 දී තිිරගත වූ චයිනාටවුන් විචාරක පැසසුම් නොමඳව ලබමින් බොක්ස් ඔෆිස් සාර්ථකත්වයටත් පත් වූ අතර බොහෝ දෙනාගේ මතය වූයේ එය සිනමාකරුවෙකු හැටියට පොලැන්ස්කි අතින් නිම වූ හොඳම නිර්මාණය බවයි.

1974 දී ලොස් ඇන්ජලීස් හිදී චයිනාටවුන් රූගත කිරීමෙන් පසු පොලැන්ස්කි ආපසු පැරිස් වෙත ගියේ ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ ද ටෙනන්ට් (1976) අධ්‍යක්ෂණය කරන්නයි. රෝලන්ඩ් ටොපොර් විසින් 1964 දී රචිත නවකතාවක අනුවර්තනයක් වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ට්‍රෙල්කොවිස්කිගේ චරිතය රඟපෑවේද පොලැන්ස්කිමයි. පැරිසැයේ මහල් නිවාසයක ජීවත් වන නෝංජල් පෝලන්ත සංක්‍රමිකයෙක් වූ ට්‍රෙල්කොවිස්කි, ඔහු දැන් සිටින මහල් නිවාසයේම කලින් ජීවත්ව සිට උඩුමහලේ ජනේලයෙන් පැන සියදිවි නසා ගත් තරුණියකගේ පෞරුෂය ආරූඪ කරගත් බවට ලකුණු පෙන්වන්න පටන් ගන්නවා. චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනෙක් එහි රෝස්මරිස් ෙබිබි සහ රිපල්ෂන් වලට සමානකම් දුටුවා. ටෙනන්ට්, රෝස්මරිස් බේබි සහ රිපල්ෂන් චිත්‍රපට 3 පොලැන්ස්කිගේ මහල් නිවාස ත්‍රිත්වය ලෙසත් පසු කාලයේදී හැඳින් වුණා. මෙම සිනමාපට තුනේම සමාජීය තනිකම සහ චිත්තවේගී කඩා වැටීම පිළිබඳ තේමා ගවේෂණය වුණා.

හිරේ විලංගුවේ වැටේ යන බියෙන් 1978 න් පසු ඇමරිකාවේ වැඩ කිරීමට අකැමැති වූ පොලැන්ස්කි දිගටම යුරෝපයේ සිට නිර්මාණ කිරීමේ යෙදුණා. ඔහුගේ ඊළඟ චිත්‍රපටය ටෙස් (1979) පිළිගැන්වූයේ ඔහුගේ මියගිය බිරිඳ වූ ෂැරන් ටේට් ගේ නමට ඇයව සිහි කිරීමටයි. කොලොම්බියා පික්චර්ස් විසින් ටෙස් උතුරු ඇමරිකාවේ තිරගත කරනු ලැබුවා. කෙසේ වෙතත් ටෙස් විචාරකයන් මෙන්ම ප්‍රේක්ෂකයින් ද මහත් කැමැත්තකින් පිළිගත්තේ එය සාර්ථක චිත්‍රපටයක් බව සාක්ෂි දෙමින්. ටෙස් සඳහා පොලැන්ස්කිට ඔහු ලැබූ 4 වෙනි ඔස්කාර් නිර්දේශිත නාමය ද (හොඳම අධ්‍යක්ෂණය සඳහා දෙවෙනි) ලැබුණා. හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම කලා අධ්‍යක්ෂණය සහ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා ටෙස් ඔස්කාර් සම්මාන දිනා ගත්තා. ඊට අමතරව එය හොඳම චිත්‍රපටය (හොඳම චිත්‍රපටයට නිර්දේශ වූ පොලැන්ස්කිගේ දෙවන චිත්‍රපටය) සහ හොඳම සංගීතය සඳහා ද නිර්දේශ වුණා.

පොලැන්ස්කිට ඊළඟ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නිම කිරිමට අවුරුදු 7 ක් ගත වුණා. වෝල්ටර් මැතාවු ප්‍රධාන චරිතය රඟපෑ පයිරේට්ස් (1986) නම් ශත වර්ෂ ගණනකට පෙර කතාවක් වූ එය පොලැන්ස්කි කුඩා කාලයේ ඇලුම් කළ එරල් ෆ්ලන්ගේ කඩු හරඹ රැගත් මුහුදු කොල්ලකාර කතා චිත්‍රපටවලට කළ දැක් වූ ප්‍රණාමයක් වූවා.

පයිරේට්ස් වලට පසුව ඔහු අධ්‍යක්ෂණය කළේ ෆ්‍රැන්ටික් (1988) නැමැති ත්‍රාසජනක චිත්‍රපටයයි. පැරීසිය පසුබිම් කරගත් එහි ප්‍රධාන චරිත රඟපෑවෙ හැරිසන් ෆෝර්ඩ් සහ නිරූපිකා එම්මානුඑල් සිගනර්ය.

1992 දී පොලැන්ස්කි බිට් මුන් අධ්‍යක්ෂණය කළා. එහි රඟපෑවේ හියු ග්‍රෑන්ට්, ක්‍රිස්ටින් ස්කොට් තෝමස් සහ පීටර් කයෝට්. මෙම චිත්‍රපටය පැරිස් හි මධුසමය ලෙස ද හඳුන්වනු ලැබුවා. තිර නාටකය ප්‍රංශ ගත්කතුවර පැස්කල් බ්‍රක්නර්ගේ කතාවක් ඇසුරෙන් ගොඩ නැඟුණා.

ඩෙත් ඇන්ඩ් ද මේඩන් පොලැන්ස්කි 1994 දී අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයයි. එරියල් ඩොරෆ්මාන් ගේ නාට්‍යයක් ඇසුරෙන් නිම වූ එහි රඟපෑවේ සිගෙරනි විවර්, බෙන් කිංස්ලි සහ ස්ටුවර්ට් විල්සන්. චිලී රටේ ඔගොස්ටෝ පිනොෂෙ ගේ පාලනයෙන් මිදී පලා ආ චිලී ජාතිකයෙකු එම කතාවට පාදක වුණා.

1999 දී පොලැන්ස්කි තවත් විශාල ආකෘතියේ චිත්‍රපටයක් වූ නයින්ත් ගේට් අධ්‍යක්ෂණය කළා. එය රූගත වුණේ යුරෝපීය මහද්වීපයේ පොලැන්ස්කිව අත් අඩංගුවට ගැනීමට හැකියාවක් නැති රටවල්වලයි. නයින්ත් ගේට් ජොනී ඩෙප් ප්‍රධාන චරිතය රඟපෑ අධිස්වාභාවික ත්‍රාසජනක චිත්‍රපටයක් වූවා. වාණිජමය වශයෙන් අසාර්ථක වූ මෙම චිත්‍රපටයට ඉහළ විචාරක ප්‍රතිචාරයන් ද ලැබුණේ නැහැ.

2002 දී පොලැන්ස්කි ද පියානිස්ට් තිරගත කළා. දෙවන ලෝක යුද සමය පසුබිම් කරගෙන පෝලන්ත යුදෙව් සංගීතවේදියකු වූ විලැඩ්ස්ලොව් ෂ්පීල්මන් විසින් රචිත ස්වයං චරිතාපදානය ඇසුරෙන් එම චිත්‍රපටය නිර්මාණය වුණා. ෂ්පිල්මන්ගේ දෙවන ලෝක යුද්ධ සමයේ ලද එම අත්දැකීම් පොලැන්ස්කිගේ පවුලේ අතීතයටත් සමානකම් දැරුවා. පොලැන්ස්කි සහ ෂ්පීල්මන්ගේ ඉරණම ඔවුන්ව නාසි වදකාගාරවලට ගාල් නොකළ නමුත් ඔවුන් දෙදෙනාගේම පවුලේ සාමාජිකයින් නම් එම යුදෙව් රඳවා තැබීමේ කඳවුරුවලට කොටු වී එහිදීම මිය ගියා. ප්‍රධාන චරිතය රඟපෑ එඩ්‍රයන් බෙ‍්‍රීඩ් හට හොඳම නළුාවාට හිමි ඔස්කාර් සම්මානය ලැබුණු අතර හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය පොලැන්ස්කිට ලැබුණා. ඇමරිකාවට පය ගැසූ සැණින් තමන් අත් අඩංගුවට පත් වේ යැයි යන විශ්වාසය හේතුවෙන් පොලැන්ස්කි හොලිවුඩ් හී පැවති ඔස්කාර් සම්මාන උලෙළට සහභාගීි වූයේ නැහැ. නමුත් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සඳහා පොලැන්ස්කිගේ නම නිවේදනය වූ විට උත්සව ශාලාවේ සිටි වැඩි දෙනෙකු අසුන්වලින් නැඟිට අත්පොළසන් දී ඔහුට ගෞරවය පිරිනැමුවා.

2004 අවසාන භාගයේදී පොලැන්ස්කි චාර්ල්ස් ඩිකන්ස්ගේ ඔලිවර් ටිවිස්ට් නවකතාවේ නව අනුවර්තනයක් සිනමාවට නැඟුවා. එහි තිර රචනය රොනල්ඩ් ගාර්වුඩ් විසින් ලියූ අතර බානි ක්ලාක් (ඔලිවර් ටිවිස්ට්) හැරී ඊඩන්, බෙන් කිංස්ලි සහ එඩ්වඩ් ගාර්ඩ්වින් ප්‍රධාන චරිත රඟපෑවා.

2009 සැප්තැම්බර් මස ස්විට්සර්ලන්තයේදී අත් අඩංගවට පත්වෙන විට පොලැන්ස්කි සිටියේ ඔහුගේ රයිටර් නැමැති චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් කරමිනුයි. එහි කතාව වූයේ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිගේ ස්වයං චරිතාපදානය ලියන රචකයෙකු අහම්බෙන් සොයා ගන්නා රහසක් ගැනයි. ප්‍රධාන චරිතවලට පණ පෙව්වේ යූවින් මැක්ග්‍රෙගර්, පියර්ස් බ්‍රොස්නන් සහ ඔලවියා විලියම්ස්ය. 2010 දී තිරගත වූ මෙම චිත්‍රපටය චයිනාටවුන්වලින් පසුව පොලැන්ස්කි සලකුණ මැනවින්ම පිළිබිඹු කළ චිත්‍රපටය වුණා.

1977 දී පොලැන්ස්කිව ලොස් ඇන්ජලීස් හිදී අත් අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 13 ක ගැහැනු දරුවකු සමඟ කායිකව එක්වීම නිසයි. නඩු තීන්දුව දී දඬුවම් නියම කිරීමේ දිනයට පෙර හිරේ වැටීමෙන් වැළකීමට පොලැන්ස්කි ඔහුගේ ලන්ඩන් ගෙදරට පලා ගියා. ඊට පසු දවසේම ඔහු ප්‍රංශයට ඇතුල් වූ අතර එදා සිට අද දක්වාම ඔහුව දුටු තැන අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. 2005 දී එය අන්තර් ජාතික වරෙන්තුවක් දක්වා වෙනස් වුණා. මේ හේතුවෙන් පොලැන්ස්කි තමාව අත් අඩංගුවට පත් විය හැකි හෝ ඇමරිකාවට අල්ලා බාර දිය හැකි රටවල්වල සංචාරයෙන් සහ චිත්‍රපට රූගත කිරීමෙන් වැළකී සිටියා.

1977 දී පොලැන්ස්කි කායිකව එකතු වූ ඒ දැරිය 1997 වසරේදී ඔහුට ප්‍රසිද්ධියේ සමාව දුන් අතර ඔහුට විරුද්ධ චෝදනාව අස් කර ගන්නා ලෙස ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුවට නීත්‍යානුකුල ඉල්ලිමක් ද කළා. 2003 වසරේදී ඇය ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත්‍රයට ලිපියක් ලියමින් පැවසුයේ ඔස්කාර් සම්මානය පිළිගැනීමට ඔහුට ඇමරිකාවට එන ලෙස අවසර දෙන ලෙසයි.

සමහර විට හොලිවුඩ්හි සිටින ඉතාම අපකීර්තිමත් අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙක් වන පොලැන්සිකිගේ කැලඹුණු පුද්ගලික ජිවිතය ඔහුගේ අඳුරු ස්වයං චරිතාපදානයන්ට කිට්ටු වුණු, කාංසාවෙන් පිරුණු නොසන්සුන් සිනමා නිර්මාණ මෙන්ම ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. කලාකරුවෙකු ලෙස මනා හික්මීමක් දැක් වූ පොලැන්ස්කි ඇතැම් විට තිර රචනයෙන් ද නැතිනම් රඟපෑමෙන් ද දායක වූ ඔහුගේ චිත්‍රපට තුළට ලෝකය පිළිබඳ අතිශය පුද්ගලික දැකීමක් කාවදන්න හැමවිටම උත්සාහ කළා. නිතර පුනරාවර්ථනය වූ ප්‍රචණ්ඩත්වය, තනිවීම, විසංගමනය සහ පීඩා විඳීම යන තේමා සහ අසම්මත අභූත අනුචිතභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුක්ත වූ පොලැන්ස්කි නිර්මාණ ගොන්න එතෙක් මෙතෙක් තවත් කිසිම අධ්‍යක්ෂවරයෙකුට අදටත් සම කිරීමට නොහැකි වී තිබෙනවා.