වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




සහය අධ්‍යක්ෂවරයකු වීමේ සිහිනය සැබෑ කර ගත්

සහය අධ්‍යක්ෂවරයකු වීමේ සිහිනය සැබෑ කර ගත්

සුබසිංහ ඒ. විජේරත්න

කරන්දෙණිය ප්‍රදේශයේ උපත ලද මොහුගේ කුඩා කළ සිටම බලාපොරොත්තුව වූයේ කලාකරුවකු වීමටය. ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් සහය අධ්‍යක්ෂවරයකු දක්වාම පැමිණි ඔහු සුබසිංහ ඒ. විජේරත්නය.

ඔබ කලාවට යොමු වූ ආකාරය ගැන කතා කළොත්?

පාසල් යන කාලයේ ඉඳලාම කලාව ගැන මට තිබුණේ ලොකු කැමැත්තක්. මගේ සා/පෙළ ප්‍රතිඵල එන්න ටිකක් ප්‍රමාද වුණා. මේ කාලයේදී පුවත්පතක පළ කරලා තිබුණු දැන්වීමකට සිනමාකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරන්න මම කොළඹ ආවා. එතැනින් තමයි මම සිනමාකරණය පිළිබඳ ඉගෙන ගත්තේ. සා/පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ මම කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. සිනමා පාඨමාලාව සති අන්තයේ පැවැත්වුණු නිසා අධ්‍යාපනයට බාධාවක් වුණේ නෑ. මේ කාලයේදී මම චිත්‍රපට තිර නාටකයක් ලියලා ඒක චිත්‍රපට සංස්ථාවට භාර දුන්නා. ඒක ණය මුදලක් සමඟ අනුමත වුණත් චිත්‍රපටය නිර්මාණය කර ගන්න මට හැකි වුණේ නෑ. චිත්‍රපට පිටපතක් මේ අයුරින් අනුමත වුණු ප්‍රථම පාසල් ශිෂ්‍යයාත් මම තමයි.

ඔබ සම්බන්ධ වුණු නිර්මාණ පිළිබඳ කතා කළොත්?

චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා. ලුවී වැන්ඩස්ට්‍රාටන් මහත්මයාගේ ‘අපි බය නෑ’, ‘වියරු ගැහැනියක්’ වගේම ළඟදී තිරගත වුණ ‘පටීභාන’ චිත්‍රපටයේත් සහය අධ්‍යක්ෂණය කළේ මම.

චිත්‍රපටවලට අමතරව කෙරෙන වෙනත් නිර්මාණ ගැන කතා කළොත්?

මම විචිත්‍ර රේඛා සිනමා පුවත්පතේ විශේෂාංග ලේඛකයෙක් විදියට කටයුතු කළා. ඊට අමතරව ගීත, කෙටි කතා රචනය, විචාර ලිවීම කරන අතරේ ටෙලි නාට්‍යවලටත් රංගනයෙන් දායක වෙනවා.

මේ දේවල් සඳහා ඔබට ඇගයීම් ලැබිලාත් ඇති?

කලාවට සිදු කරපු සේවය වෙනුවෙන් මට 2014 දී දක්ෂිණ ප්‍රතිභා සම්මානය ලැබුණා. ගාලු දිස්ත්‍රික්කයේ සංස්කෘතික බල මණ්ඩලය පවත්වන තරඟවලදීත් මට විචාර, ගීත, රචනා, කෙටි කතා ආදියට ජයග්‍රහණ ලැබිලා තියෙනවා. නමුත් අවාසනාවකට අපේ රටේ සහය අධ්‍යක්ෂණය සඳහා නිසි ඇගයීමක් නොමැති වීම කණගාටුවට කරුණක්.

මේ ගමනේදී ඔබට දිරි දුන් අය?

විශේෂයෙන්ම මගේ දෙමාපියන්ට, වසන්ත ඔබේසේකර මහතාට. එතුමාගෙන් තමයි මම පාඨමාලාව හැදෑරුවේ. එතුමා නිසා තමයි මම අද මෙතැන ඉන්නේ. ඒ වගේම ලුවී වැන්ඩස්ට්‍රාටන් මහත්මයාටත් මම ස්තුතිවන්ත වෙනවා.

ඉදිරි ගමන ගැන කිව්වොත්?

මම දැනට සිනමා තිර පිටපතක් ලියාගෙන යනවා. ඒකට නිෂ්පාදකවරයකුත් ඉන්නවා. ඒ වගේම සිනමා අධ්‍යක්ෂණයට යොමු වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදීත් කලාවේම රැඳෙන්න තමයි බලාපොරොත්තුව.

නො: 393, ජයබිම, බටපොල පාර, කරන්දෙණිය.

0776746360 ඔහුගේ ලිපිනය සහ දුරකතන අංකයයි.