වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




‘හෙට හිරේට යන්න ලෑස්ති වෙන්න’ සරසවිය කර්තෘ කියයි

‘හෙට හිරේට යන්න ලෑස්ති වෙන්න’ සරසවිය කර්තෘ කියයි

'අපි තිරණය කළා රන්ජිත්ව හිර ගෙදරට යවන්න.' සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මා තම කාමරයට කැඳවා කීවේ බරපතළ වගකීම් සහිත මුහුණක් මවාගෙනය. ඔහුගේ කාමරයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්මසිරි ජයකොඩි ද කිසියම් ලියවිල්ලක් කියවමින් සිටියේය.

'71 කැරැල්ලට සම්බන්ධ සිරකරුවෙක් හමු වෙලා එයා ගැන සාකච්ඡාවක් කරලා ආටිකල් එකක් ලියන්න. එයා චිත්‍රපට තිර නාටක තුනක් හිර ගෙදරදි ලියලා තියෙනවා. බණ්ඩාරනායක රචනා තරගයෙනුත් මුල් තැන දිනා ගත්තේ එයා. හෙට උදේ 10 ට මැගසින් බන්ධනාගාරයට ගිහිල්ලා බන්ධනාගාර නියෝජ්‍ය අධිකාරි බුළුමුල්ල මහත්තයා හමුවෙන්න. එයා සේරම ලෑස්ති කරලා තියෙන්නේ. ධර්මසිරි ජයකොඩි කටහඬ අවදි කරමින් කීවේය.

'මීට ඉස්සර හිර ගෙදර ගිහින් තියෙනවද?'

'අපෝ නෑ'

'හෙට හිරේට යන්න ලෑස්ති වෙන්න' කර්තෘ මට යළිත් සිනාසෙමින් කීවේය.

මැගසින් බන්ධනාගාරයේදී මට බුළුමුල්ල මහතා හමු විය.

'මේ හාදයා පුදුම දක්ෂයෙක්. පොත්පත්, සඟරා, පුවත්පත් කියවන්න රුසියා. අපෙන් ඉල්ලන්නේ කඩදාසියි, පෑන්, පැන්සල් විතරයිි. එයා ලියන ඒවා මට කියවන්න දෙනවා. එයා ලියපු චිත්‍රපට කතා දෙකක් මගේ මාර්ගයෙන් රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට යැව්වා. ඒකට පිළිතුරු ආවා පියසිරි ගුණරත්න මහත්මයාගෙන්. කතාව හොඳයි, ප්‍රබලයි, ඒ වුණාට තිර නාටකය දුර්වලයි. සංස්ථාවට එයාව ගෙන්නල උපදෙස් දෙන්න පුළුවන් කියලා කිව්වා. මම කිව්වා අපේ නීති රීති රෙගුලාසි අනුව සිරකරුවකු පිටතට යවන්න බැහැ. ඔය මහත්තුරු මැගසින් බන්ධනාගාරයට එන්න කියලා. ඒ මහත්තුරු නිහතමානීව ඒ තීරණය ගෙන මෙහෙ ආවා.'

මාව බුළුමුල්ල මහතා අංක 7813 සිරකරු වෙත යොමු කළේය. ඔහු මා එනතුරු මඟ බලා ගෙන සිටියේය. මා යන විට ඔහු පොතක් කියවමින් සිටියේය.

'මම නිහාල් පී. ජයතුංග. 71 කැරැිල්ලට වරදකරු. මම රංජිත්ගේ ලිපි කියවලා තියෙනවා. පොත් පිට කවර දැකලා තියෙනවා. ඒත් දැක්කෙ අද. මම සරසවියෙන් දන්නේ සුගත් වටගෙදර විතරයි. චිත්‍රපට සංස්ථාවට මම යවපු තිර නාටක දෙක ('විජය ධජ' හා 'ලොව සරසන මල්) ගැන පැහැදුණු සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී. බී. නිහාල්සිංහ, නිෂ්පාදන කළමනාකරු පියසිරි ගුණරත්න මහත්වරු මෙහෙ ආවා. එතුමන්ලාගේ නිහතමානී ගති ගුණවලට ස්තුති කරනවා. ඔවුන් මට තිර නාටකය ලියන හැටි පැය 3 ක් පැහැදිලි කළා. මම ඒ විදිහට තිර නාටක දෙක ලියලා යැව්වා. ඒ කාලේ තිබුණ තිර නාටක බැංකුවට තිර නාටක දෙක මුදල් දී ගත්තා. ඒත් තවම ඒ තිර නාටක දෙක ගන්න නිෂ්පාදකයෙක් ඉදිරිපත් වුණේ නෑ' නිහාල් ඔහුගේ වගතුග හෙළි කළේය.

දෙසතියකින් මගේ ලිපිය 'සරසවිය' පුවත්පතේ පළ විය. වසර 5 1/2 කට පසු සිර ගෙයින් නිදහස් වූ නිහාල් මා සොයා පැමිණ තමා ලියූ තිර නාටකය ඇසුරින් ලියූ නවකතාවට (ලොව සරසන මල්) පිට කවරයක් නිර්මාණය කිරීමට පැවරූ අතර මම එය උපරිම ලෙස ඉටු කර දුනිමි. නිහාල් පසු කලෙක නවකතා කිහිපයක් ලියූ අතර සංස්කෘතික කටයුතු හා උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කොට දැන් ඉසිඹු ලබා ඇත.

හැත්තෑව දසකයේ මුල් භාගයේ මටත්, මගේ සන් මිත්‍ර කුලරත්න ආරිවංශට නවක ගායකයකු හඳුනාගන්නට ලැබුණි. ඔහු හලාවත මුගුණුවටවල ඉපදී කොළඹට රැකියාවට පැමිණි දැකුම්කලු, ප්‍රිය මනාප උත්තුංග දේහධාරි තරුණයෙකි.

ඒ වන විට ඔහුගේ ප්‍රථම සරල ගීය ගුවන් විදුලියේ ජනප්‍රිය වෙමින් තිබුණි.

'කවුරුදෝ . . . කවුරුදෝ කවුරුදෝ ඔබ කවුරුන්දෝ' ඒ ගීතයයි.

කරුණාරත්න අබේසේකරයන් රචනා කළ මේ ගීතයේ තනු නිර්මාණය සනත් නන්දසිරිගෙනි.

සනත් නන්දසිරි (අයියා) මේ නවක ගායකයා මට හඳුන්වා දෙන ලද්දේ ගුවන් විදුලි සංස්ථාවේදීය.

'මල්ලී මෙයා හලාවත. හොඳට සින්දු කියනවා . . . පුළුවන් උදව්වක් කරන්න'

ගායකයා අබේවර්ධන බාලසූරියය. ඔහු ඉතා ඉක්මනින්ම කොටින්ම 'මචං' කියන තරමටම ළෙන්ගතු විය. මම අබේ ගැන පුංචි හැඳින්වීමේ ලිපියක් 'සරසවිය'ට ලිව්වෙමි. ඔහු එවකට වී අලෙවි මණ්ඩලයේ සේවය කළේය. මැනිං මර්කට් එකේ ටියුනිෂියා ගබඩාවේ ස්ටෝර් කීපර් වූයේ ඔහුය. එකලම ඔහු ගැයු 'මං නැතිදා මේ රට ඔබටයි' ගීතයත් ජනප්‍රිය වී තිබුණි.

මම දිනක් කුලරත්න ආරියවංශට අබේ හඳුන්වා දුන්නේ 'මෙයත් ගීත රචනා කරන්න හැකියාව තියෙන මගේ හොඳම මිතුරා' යයි කියමිනි.

'මගේ ඉදිරි ගුවන් විදුලි වැඩ සටහනකට මම කුලේගේ ගීතයක් තෝර ගන්නවා' අබේ කීවේය.

කුලේත්, මමත් අඩුම තරමේ සතියකට දින දෙකක්වත් අබේ හමුවීමට ඔහුගේ කාර්යාලයට ගියෙමු. අප එන දිනය කල් තියා දැනගන්නා අබේ එදාට දවල් කෑම සඳහා විශාල බත් පාර්සලයක් අම්මාට කියා පිළියෙල කරගෙන එයි. හලාවත සිට එන අබේ අප දෙදෙනා එනතුරු මඟ බලා සිටී.

'මචං අම්මා උඹලට නිසා මොන මොනවද ගොඩක් ජාති හදලා ඇති' අබේ බත් පාර්සලය දිග අරිමින් පවසයි.

'මචං මේක ලෝකේ තියෙන ලොකුම බත් පාර්සලය වෙන්න ඇති'.

සත්තකට කෙසෙල් කොලයේ ඔතන ලද එය ලොකු පාර්සලයකි.

'මචං අම්මා උඹලා දෙන්නව මතක් කළා. දවසක අපි හලාවත යමු'

අපි තිදෙනා මේසයේ පුටු තුනක් තබාගෙන පාර්සලය ලෙහා තුන් පැත්තක සිට අනුභව කරන්නෙමු. එහි හැම බත් පිඩක්ම අප රස නහර පිනවා යයි.

'මචං මට පර්යේෂණ ගීතයක් කියන්න ලැබුණා. කුලේ සින්දුව උඹ ලියපන්'

කුලේගේ මුහුණේ සතුටු සිනා දෝර ගැලීය.

දින දෙකකට පසු කුලරත්න ගීතයක් ලියාගෙන පැමිණියේය. එය ඔහු විසින් මුල්වරට ලියූ සහ ගුවන් විදුලියට ලියූ ප්‍රථම ගීතයයි. ඔහු එය මට පෙන්වීය.

'අපි මේකට හොඳ තනුවක් හදා ගම්මු'

අබේවර්ධනට එය පෙන්වීමට පසු දින ඔහුගේ කාර්යාලයට ගියෙමු.

'මචං මේක මරු. 'පර්යේෂණ ගීවලට තෝරා ගන්නේ ගැමි නාද රටාවක් තියෙන ගී. අපි මේක සරත් දසනායකට දෙමු'

'දසේ තමයි මේකට හොඳම මිනිහා' මම යෝජනාව අනුමත කරමින් කීවෙමි.

'මචං මම අද ගෙදරින් කෑම අරං ආවේ නෑ. ඊයේ හිටියේ කොළඹ. අපි යමු හස්තිගිරියට කෑම කන්න'

අපි කතා කරමින් සන්ත බස්තියමේ ප්‍රේමදාස මහතාගේ ගෙය අසල පිහිටි හස්තගිරි හෝටලයට ගියෙමු.

අබේගේ සිත කෙතරම් ගීයට ඇදී ගියා ද කිවහොත් ඔහු කිහිප වතාවක් ගීය ලියූ කඩදාසිය කමිස සාක්කුවෙන් ගෙන මිමිණුවේය.

'ආදරයෙන් මා හදවට එතෙන ලතා

ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා'

'මහත්තයාට අලුත් සින්දුවක් හම්බ වෙලා වගේ' යයි අබේට සුවිශේෂයෙන් කෑම ගෙනෙන වේටර් කෑම දීසි මේස උඩ තබමින් ඇසීය.

'ඔව්, මේ මහත්තයා ලිව්වේ' අබේ කඩදාසිය තම හිතවත් වේටර්ට පෙන්වීය.

සරත් දසනායක මියුරු තනුවක් දමා එය ගුවන් විදුලියේ පටිගත කළ දා අප සිටියේ කොතරම් සතුටකින්ද? 'දසේ' කොයිතරම් මියුරු තනු නිර්මාණය කරන්නෙක්දැයි කතා කරමින් දසේ, අබේ, කුලේ හා මා ගුවන් විදුලියේ කැන්ටිමට ගියෙමු.

අබේ රටක් රාජ්ජයක් දිනුවා වැනි සතුටකින් සිටි දවස මට අද වගේ මතකය. එදින මා හා කුලේ අබේව මුණ ගැසුණේ මරදානේ සෝමා කැෆේ එකේදීය.

'මචං සුනිල් ආරියරත්නට කියලා මරු සින්දුවක් ලියා ගත්තා බලපං' යයි අබේ පදමාලා ලියූ කඩදාසිය අපට පෙන්වීය.

'පියාණනි මා නැවත උපන්නොත්

අපාර වූ මේ සංසාරේ

ඔබේම පුතු වේවා

ඔබේම පුතු වේවා'

'මේ මචං හැම තාත්තලා ගැනම හිතලා ලියපු අපූරු ගීතයක්' කුලේ උදම් ඇනීය.

'තාත්තා කෙනෙක් ගැන තව මොනව ලියන්නද? මචං මේකේ අන්තිම වර්ස් එක තමයි තාත්තා කෙනෙක්ගේ විශේෂය මතු වෙන්නේ'

ගී ලිවීමට නොදන්නා මමත් වචනයක් කීවෙමි.

'හිත මිතුරන් මා හැර ගිය දවසේ

ලොවම එරෙහි වී තනි වූ මොහොතේ

ඔබේ පැලේ නැත දොරගුළු ලන්නේ

ඔබේ සෙනෙහෙ ගඟ නැත වියළෙන්නේ'

ඉන් පසු අපි කතා කළේ ගීත රචක සුනිල් ආරියරත්නගේ ප්‍රතිභාව ගැනය. සෝමා කැෆේ එකේ අපට නිරතුරුව සහාය වන සිරිසේන දුම් දමන කජු මාළුව තබා අපේ කතාවට එක් විය. ඔහු ද ගී පද මාලාව බලා සතුට පළ කළේය.

මේක මම කේමදාස මාස්ටර්ට දීලා ආවේ' අබේ කීවේය.

'එහෙනං ඉතින් බලන්න දෙයක් නෑ' කුලේ කීවේය.

මා පෞද්ගලිකව සිතන්නේ එතෙක් මෙතෙක් පියෙකු ගැන ලියූ හොඳම ගීතය මෙය කියාය.

අබේ මට වඩාත් සමීප වූ තවත් කරුණක් ඇත. ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ ගී ගැයූ නිරංජලා සරෝජිනි පීරිස් අබේගේ පෙම්වතිය වූවාය. නිරංජලා හා දමයන්ති ජයසූරිය හොඳම මිතුරියන්ය. මගේත් දමයන්තිගේත් ප්‍රේමයට උදව් කළේ අබේ සහ නිරංජලාය.

දමයන්ති හා මගේ විවාහයට අනුමැතිය ගෙදරින් දුන් පසු ඇගේ නැගණියකගේ උපන් දින සාදයකට ඇරැයුම් ලද එකම පිටස්තර අමුත්තන් වූයේ අබේ සහ නිරංජලාය. එසේම දමයන්ති හා මා විවාහ වූ පසු අපි හිත මිත්‍ර මෛත්‍රී පනාගොඩ ලංකාවේ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් ඹ්ඹ්ඕ උසස් ලෙස සමත් වීම වෙනුවෙන් පැවති සාදයකට ගිය අමතක නොවන සිද්ධියක් ගැන ද ලිවිය යුතුමය.

දැනට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පදිංචි ඛ්ඒඅඅර්‍ණඹ්ඹ් ඒව්ච් ර්‍ණ'ච්ඡ්ඒ ඹ්ඒඑකඡ්අඉ නම් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ නිති ආයතනයේ කොටස්කරුවකු හා (උව්ධ්ඍඡ්අඉධ්ඊක ර්‍ණජ් ව්ර්‍ණඊඅඡ් ච්ඒර්ඡ්) විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන නීති විශාරද මෛත්‍රී පනාගොඩ කිවියකු, ගීත රචකයෙකු ලෙස ප්‍රකටය. මගේ ආනන්දීය සමකාලීනයකු වූ ඔහු කලකට ඉහත ලියා දුන් 'හොට කර කවලා' ළමා ගීතය දමයන්ති ළමා මණ්ඩපයේ ගැයුවාය. එපමණක් නොව අප විවාහයේ මගේ මිතුරා ලෙස පෙනී සිටියේය.

මෛත්‍රීගේ සාදයට අබේ හා නිරංජලාට ද, කුලේ හා සීතාට ද මට සහ දමයන්තිට ඇරයුම් ලැබිණ. උත්සවය පැවැත් වූයේ කාසල් වීදියේ මෛත්‍රීගේ මාමා (මවගේ සහෝදරයා) වූ 'දිනමිණ' ප්‍රධාන කර්තෘ ටී. බී. පෙරමුණේ තිලක මහතාගේ නිවසේය.

අප සියලු දෙනාම නුගේගොඩ සිට හෙට්ටියාවත්තට එන බසයේ නැඟුණෙමු. කාසල් වීදියේ මෛත්‍රීගේ නිවසට යාබද බස් රියෙන් අබේ, නිරංජලා, කුලේ, සීතා හා මා බැස ගත් අතර දමයන්තිට බැසීමට නොහැකි විය. පුතා ලැබෙන්නට අට මසක් සහිත දරු ගැබක් දරා සිටි ඇය සිටියේ බසයේ පඩි පෙළ පාමුලය. බසය ඉදිරියට ඇදුණි. සෙනඟ කෑගැසූහ. බිම සිටි අබේ වේගයෙන් දිව ගොස් බසයෙන් පැන්න දමයන්තිව ධාවන ශූරයෙකු මෙන් තම යෝධ දෑතට ගත්තේය. ඇය හරියට පුංචි දරුවකු මෙන් ඔහුගේ සුරතට නොගත්තා නම් වන්නේ ලොකු ව්‍යසනයකි. එදා අබේ අපට කළ උපකාරය හා පරිත්‍යාගය අද අප අතර නැති අබේවර්ධන බාලසූරිය නම් ප්‍රවීණ ගායකයා කෘතගුණ සහිතව මතක් කරන අතර ඔහුගේ භවගාමී ජීවිතය යහපත් වේවායි අපි පතමු.