වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




සුමධුර හඬකට උරුමකම් කී විමලා කාන්තා
මෙරට පැරැණිතම රංග ශිල්පි පරම්පරාව සිහිපත් කරන ලිපි මාලාව

සුමධුර හඬකට උරුමකම් කී විමලා කාන්තා

ධර්මදාස පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන අංශයේ මාර්ග අනතුරුවලින් වැලැක්වීම දැක්වීමට පාසල් සිසුන්ට හඳුන්වාදීමේ පාසල් දර්ශනවල 'මෝඩ බණ්ඩා' ගේ චරිතය නිරූපණය කළේය. එහි ධර්මදාස පුවත්පතක් දිග හැරගෙන මහ පාරේ කියවමින් ගමන් කරන්නේ ද පාරේ වැරැදි පැත්තෙනි. මෙයින් පාරේ යන අනෙකුත් මගීන් දැඩි අපහසුතාවයට පත්වන අතර අවසානයේ දෙපසින් වේගයෙන් බණ්ඩා දෙසට පැමිණෙන ජීප් රථ දෙකක් බණ්ඩා මැදි කර මුහුණට මුහුණ ලා එක්වර තිරිංග තද කොට නවත්වයි. දර්ශනය අවසන් වන්නේ බණ්ඩා එක් ජිප් රථයක බොනට්ටුව මතට පැනීමෙනි. එවැනි මාරක රංගනයක් සජීවීව නිරූපණය කිරීමට රංගන හැකියාව මෙන්ම මනාව පුහුණු කරන ලද ක්‍රියා ශූරත්වය ද අත්‍යාවශ්‍ය වේ. බණ්ඩාගේ මෙම රංගනය අතරතුර වොලී බැස්ටියන් ගායකයා එහි සදොස් චර්යාව විස්තරාත්මකව බයිලා ගායනයකින් ඉදිරිපත් කරයි.

පොලීසියේ මෝටර් රථ වාහන අනතුරු අංශයෙන් නිර්මාණය කළ කෙටි චිත්‍රපටයේ හොරා ගේ ප්‍රධාන චරිතය රඟපෑවේ ද ධර්මදාසය. හොරාගේ බිරිඳ ලෙස විමලා කාන්තා ද දරුවන් ලෙස මෙම දෙපලගේ සැබෑ දරුවන් වූ ෆ්ලෝරි දේවි, සුජාතා අත්තනායක (පෙරේරා) සහ රංජනී පෙරේරා ද රඟපෑහ. එම චිත්‍රපටයේ හොරෙක් එල්ලුම් ගසට යන අයුරු පළමුවරට රංගනයෙන් ඉදිරිපත් කළේ ද ධර්මදාසය. කළු හිස් වැස්ම පළඳා බන්ධනාගාරයේ එල්ලුම් ගසේ එල්ලන අවස්ථාව නිරූපණය කිරීමේදී සිතෙහි ඇති වූ හැඟීම් පිළිබඳව පසු කළෙකත් ඔහු ආවර්ජනය කළේය. ඒ අයුරින් ධර්මදාස විමලා කාන්තාටම ගැළපෙන ආදරබර ස්වාමියෙකු විය.

පරපුරක උරමය තුරුලු කරගෙන උපන් වැඩිමල් දියණිය ෆ්ලෝරි දේවිට බාල සහෝදර සහෝදරියන් වූයේ ධර්මසිරි පෙරේරා (තබ්ලා වාදක - සංගීත ගුරු), සුජාතා අත්තනායක (ප්‍රවීණ ගායිකා), රංජනී පෙරේරා (ප්‍රවීණ ගායිකා), සුසිල් පෙරේරා (ඩ්‍රම්ස් වාදක - ගායක - නළු) ආදී වූ මුළු රටම පින වූ සුප්‍රසිද්ධ කලාකරුවන් සහ කලාකාරිනියන්ය. ෆ්ලොරි දේවිය ද (ලලිතා පෙරේරා) ටවර්හෝල් සුපිරි තරු ගොන්නේ තවත් තරුවකි. ඇය පිළිබඳව ඉදිරි ලිපියකින් විස්තරාත්මක තොරතුරු ගෙන එන්නෙමු. දෙවෙනි පුත් ධර්මසිරි පෙරේරා විශාරද තබ්ලා වාදක ගුරුවරයෙකි. සුජාතා පෙරේරා (අත්තනායක) මෙරට ගායන ක්ෂේත්‍රයේ හිණි පෙත්තටම අත පෙවූ ගායිකාවකි. චිත්‍රපට ගීත ගායනයේලා සුජාතා දැක් වූ සුවිශේෂත්වය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.

 තුන්වනි දියණිය වන්නේ තවත් දක්ෂ ජනප්‍රිය ගායිකාවක සහ සෞන්දර්ය ගුරු උපදේශකවරියක වූ රංජනී පෙරේරාය. රංජනී ද සුජාතාගේ හා සමාන හඬකින්ම ගී ගැයීමේ හැකියාවෙන් යුක්ත වූවාය. චිත්‍රපට ගණනාවක පසුබිම් ගී ගායිකාවක වූවා සේම චිත්‍රපට නර්තනයේද යෙදුණාය. සිය මවගේ මඟ පෙන්වීම යටතේ මුලින්ම තබ්ලාව වාදනයෙන් ද ඉතා කුඩා කල සිටම විකට රංගනයේ ද යෙදුණු සුසිල් පෙරේරා පසුව බොංගෝස් වාදනයට ද අනතුරුව ඩ්‍රම්ස් වාදනයට ද එක් වෙමින් ලංකාවේ දක්ෂතම ඩ්‍රම්ස් වාදකයා ලෙස නාම යෝජනාවට ද ලක් විය. 'හමිංබර්ඩ්ස්', 'සත්සර', 'ජිප්සිස් ආදී වූ දිවයිනේ ජනප්‍රියතම වාදක කණ්ඩායම්වල නැතුවම බැරි' ඩ්‍රම්ස් වාදකයෙකු බවට පත් විය. දක්ෂ ගායකයෙකු ලෙසත් දක්ෂ විකට රංග ශිල්පියෙකු ලෙසත් නමක් දිනූ සුසිල් චිත්‍රපට ගණනාවකට ද රංගනයෙන් දායක විය.

පේ අම්මා රටපුරාම සැණකෙළිවල 'නිව් 'ලංකා ක්ලැසිකල් ඇන්ඩ් ඔරියන්ටල්' නැටුම් කණ්ඩායම නමින් දර්ශන පවත්වාගෙන ගියා. විකට ජවනිකා, ගීත ජවනිකා හා නර්තනාංගාදියෙන් යුත් එම සැණකෙළි වේදිකාවේ එම්. රොමානිස් පෙරේරා, ටී. පී. අල්්මේදා, ජී. එච්. පොඩි අප්පුහාමි, ඩබ්ලිව්. කේ. අප්පුහාමි (ධර්මදාස වල්පොලගේ වැඩිමල් සොයුරු) වැනි අය අම්මා සමඟ රඟපෑවා. එවැනි නුවර සැණකෙළියක් වෙනුවෙන් සුජාතා අක්කාට ගායනා කිිරීමට වින්සන්ට් වීරසේකර ප්‍රබන්ධය කරපු ගීතයක් තමයි 'සාධු දන්ත ධා' ගීතය. කුඩා අවදියේ අම්මා අපි හැමෝවම අර ගෙන අපේ රෙදි බෑග් කොට්ට සියල්ලම වේදිකාව පසෙක තියාගෙන අපිව නිදි කරවල එහෙම තමයි රඟපාන්න යන්නේ.

දවසක් මට හෝ සුජාතා අක්කාට කිරි දෙමින් හිඳිද්දී අම්මාට වේදිකාවට යන්න සිදු වෙලා. හැට්ටය සකසා ගන්න අමතක වෙලා. රොම්ලස් මාමා වේදිකාවේ රජතුමාගේ චරිතය රඟපාන විට තමයි අම්මා වේදිකාවට ගිහිං තියෙන්නේ. හැට්ටයේ කටු ගැල වී ඇති බව දැක්ක රොම්ලස් මාමාට හීන් දාඩිය දාලා. ඉඟියෙන් කටු ගහගන්න කියා කිව්වත් අම්මාට තේරිලා නැහැ. බැරිම තැන 'දේවිය, පුත් කුමරාට කිරි දුන් පසු හරිි හැටි ඇඳුම් ඇඳ ගන්නේ නැතිව රාජ සභාවට එන්න ලැජ්ජා නැද්ද?' කියා රොම්ලස් මාමා ඇසුවාම තමයි අම්මාට තේරිලා වහාම ඇඳුම් සකසාගෙන තියෙන්නේ.

තවදුරටත් සිය මව්පිය දෙපළගේ අතීත සිදුවීම් සිහිපත් කළ රංජනී පෙරේරා, මුලින් සුජාතාගේ 'සාධු දන්ත ධා' ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වන විට අපේ තාත්තා ගුවන් විදුලියට දණ ගසා වැන්දා. එතකොට ළඟ හිටපු තාත්තාගේ මල්ලී ඇහුවා 'අයියාට ලැජ්ජා නැද්ද දරුවන්ට වඳින්න?' කියලා. එතකොට තාත්තා කිව්වා 'මල්ලි මම වැන්දේ දරුවන්ට නෙමෙයි දරුවන්ගේ කලාවට' කියලා. ඒ වගේම තාත්තා අපිට කියපු දෙයක් තමයි 'අම්මාගේ වේදිකාව ටවර්හෝල් එක වුණාට මගේ වේදිකාව මහපාර' කියලා. තාත්තා පොලිස් රංගන සජීවීව ඉදිරිපත් කළේ මහ පාරේ. තාත්තා අම්මාටත් අපිටත් පුදුමාකාර සහයෝගයක් දුන්නා. එයා කලාවට හරි ආදරෙයි' යනුවෙන් පැවසුවාය. රංජනීගේ පුතුන් දෙදෙනා වන ඉන්දිකත්, පණ්ඩුලත් නූර්ති නාට්‍යවල රංගනයට, ගායනයට දායකත්වය දැක්වූහ. එමෙන්ම සුජාතාගේ පුත් හේලි අත්තනායක වාදනයට, ගායනයට හපන්කම් දැක්වීය. සුජාතාගේ තවත් පුතෙකු විවාහ වූයේ තවත් ප්‍රවීණ රංගන ශිල්පිණියක වූ අමෝජා වීරසිංහගේ දියණිය වූ ඩිල්කි සමඟිනි. විමලා කාන්තාගේ පුංචි අම්මාගේ දියණිය වූ වසන්තා සන්දනායක සහ එම දූ දරු පරපුර ද සම්පූර්ණයෙන්ම පාහේ කලාවට සම්බන්ධය.

1969 වර්ෂයේ වයස අවුරුදු 57 දී ධර්මදාස පෙරේරා නම් වූ විමලාගේ දයාබර සැමියා මියගිය අතර දරුවන් පස් දෙනෙකුගේ මවක ලෙසද, මුනුපුරු මිනිබිරියන් 13 දෙනෙකුගේ අත්තම්මා ලෙස ද සිටියදී 1993 මාතු 26 දා අවුරුදු 82 ක් අයු වළඳා හදිසි හෘදයාබාධයකින් සිය දිවියෙන් සදහටම සමු ගත්තාය. එහෙත් ස්වර්ණමය ටවර්හෝල් යුගය තුළ සදා අමරණීය වූ සුපිරි තාරකාවක ලෙස සටහන් තබන්නට විමලා කාන්තා සමත් වූවාය.