වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙස්ටර් - සුමිත්‍රා යුවළගෙන් ඉල්ලීමක්

ලෙස්ටර් - සුමිත්‍රා යුවළගෙන් ඉල්ලීමක්

ලෙස්ටර් සහ සුමිත්‍රා පීරිස් යුවළ විසින් සිනමාවට නැඟූ චිත්‍රපටවල තිරනාටක පිටපත් සතු කෙනෙක් සිටියි නම් ඒවාහි ඡායා පිටපතක් හෝ තමන් වෙත ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලිමක් කරයි. එම පිටපත් සරසවිය කර්තෘ බාරේ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට තැපැල් කළ හැකිය. නැතහොත් ගෙනවිත් බාරදීමට පුළුවන.


ඇන්ජලින් රෝහලේ

ප්‍රවීණ ගාන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි. ඇයට ඉක්මන් සුවය සරසවිය අප ප්‍රාර්ථනා කරමු.


හොරා පොලිස් ජූනි මාසයට කල් යයි

මෙම මස 27 වැනිදා සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ තිරගතවීමට නියමිතව තිබූ සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමාපටය හොරා පොලිස් එළඹෙන ජූනි මස 10 වැනිදා දක්වා ප්‍රදර්ශනය කල් දමා ඇති බව අධ්‍යක්ෂවරයා සරසවියට දැන්වීය. අයහපත් කාලගුණය හේතුවෙන් ජන ජීවිතය අඩාල වීම නිසා මෙම තීරණය ගෙන තිබේ. මහේන්ද්‍ර පෙරේරා ද්විත්ව චරිත මවන හොරා පොලිස් සුරංගගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි. රජ හොරු, මයි නේම් ඉස් බන්දු ඔහුගේ පෙර සිනමා නිිර්මාණ වේ.

හොරා පොලිස් සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස්ගෙනි. සංගීතා චිත්‍රපට ඉදිරිපත් කිරීමක් වන මෙහි කතාව, දෙබස්, තිර රචනය සුරංග ද අල්විස් විසින් නිම කොට ඇත.


සම්මාන රැසක් ඊ. ඒ. පී. මණ්ඩලයට

පසුගියදා නිමාව දුටු දෙරණ සිනමා සම්මාන උලෙළේදි හොඳම සහ ජනප්‍රිය චිත්‍රපටය, හොඳම නළුවා ඇතුළු සම්මාන රැසක් ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වූ චිත්‍රපට සඳහා හිමි විය. එම මණ්ඩලයේ ප්‍රදර්ශනය වූ හෝ ගානා පොකුණ, ප්‍රවේගය, මහරජ ගැමුණු, සිනහව අතරින් සහ ඇඩ්ඩ්‍රස් නෑ යන චිත්‍රපටයන් සඳහා දෙරණ සම්මාන උලෙළේදී සම්මාන දහඅටක් දිනාගන්නා ලදී.

මෙහිදී සම්මානයන් විසි තුනක් සඳහා ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වූ චිත්‍රපට තේරී පත්ව තිබිණ.


නෝනා හරිම වසයි දෙබස් කවයි

එරංග සේනාරත්නගේ මෝනා හරිම වසයි සිනමාපටයේ දෙබස් කැවීම මේ දිනවලදී සිදුවෙමින් පවතියි. මොරටුව අවට රූගත වුණ මෙහි රජිත හිරාන් චාමිකර හෙවත් පිංපොං කාන්තාවකගේ වෙස්ගෙන රංගනයේ යෙදීම විශේෂත්වයකි. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන මෙහි ටෙනිසන් කුරේ, රෙක්ස් කොඩිප්පිලි, කුසුම් රේණු, නිල්මිණි කෝට්ටෙගොඩ , සංජු රොඩ්රිගෝ, රයන් වැන් රෝයන්, සුරේනි සෙනරත්, සරත් පීරිිස්, රවී චන්ද්‍රසිරි, ආරියසේන ගමගේ, රුවන් හේවගේ, සුනෙත් මැල්සිරිපුර, දිලිනි අත්තනායක, මල්කි ප්‍රනාන්දු ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.

කැමරා අධ්‍යක්ෂණය නිශාන් ප්‍රනාන්දුගෙනි. ප්‍රසාද් වීරප්පෙරුම සහ රෝලන්ඩ් සිල්වා කලා අධ්‍යක්ෂවරුන්ය. ඉන්දික උදාර ලංකා සමඟ ක්‍රිෂාන්ත ජයබාහු අංග රචනය කොට ඇත. රවී චන්ද්‍රසිරි කලා අධ්‍යක්ෂණයෙන් ද, මහේෂ් ඉන්දික සහාය අධ්‍යක්ෂණයෙන් ද, නිමල් විජේසිරි සේනාධීර නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ලස්සන ජයසේකර සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ඩිනලි රොෂාන්දි සේනාරත්න ගී පද රචනයෙන් ද මෙයට එක් වී ඇත.