|
ළමා ඇසකින් පමණක් බැලිය යුතු චිත්රපටයක් The Angry Birds
'ඇන්ග්රී බර්ඩ්ස්', ස්මාට් ෆෝන් භාවිතා කරන බහුතරයකට අමුත්තන් නොවේ. 'ඇන්ග්රී බර්ඩ්ස්' වීඩියෝ ක්රීඩා නිපදවූ ආයතනය වන 'රෝවියෝ එන්ටර්ටේන්මන්ට්'ට අනුව, මේ වන විට මෙම වීඩියෝ ක්රීඩාවේ විවිධ සංස්කරණ 15ක් නිකුත්වී ඇත. බිලියනයකට වැඩි බාගත කිරීම් (Downloads) සටහන් වී ඇති අතර සෑම මසකම මිලියන 260 කට වැඩි පිරිසක් මෙම ක්රීඩාවේ නිරත වෙති. වීඩියෝ ක්රීඩාවට අමතරව 'ඇන්ග්රී බර්ඩ්ස්' පාදක කොට තැනුණු කාටූන් කතා මාලා 3ක් ද මේ වන විට විකාශය වී ඇත. 2009 වසරේ පළමුවරට කළඑලි දුටු 'ඇන්ග්රී බර්ඩ්ස්' අධිකාරියට (franchise) එක් වන අලුත්ම අංගය වනුයේ මේ මස 20 වනදා සිට ලොව පුරා විකාශය ඇරඹි 'ද ඇන්ග්රී බර්ඩ්ස් මූවි' චිත්රපටයයි. ඇමෙරිකානු - ෆින්ලන්ත සුසංයෝගයක් වන මෙම චිත්රපටය, ත්රිමාන, පරිගණක සජීවීකරණ, ක්රියාදාම, හාස්යෝත්පාදක චිත්රපටයක් ලෙස හැඳීන්වේ. ක්ලේ කෙටිස් (ටැන්ගල්ඩ්, ෆ්රෝසන්: සජීවීකරණ ශිල්පී) සහ ෆර්ගල් රීලී (ස්පයිඩර් මෑන් 2, ද ස්මර්ෆ්ස් : සජීවීකරණ ශිල්පී) දෙදෙනා ගේ කුළුඳුල් අධ්යක්ෂණය වන මෙම චිත්රපටය ජෝන් කොහෙන් සහ කැතරින් වින්දර්ගේ නිෂ්පාදනයකි. ජේසන් සුදෙයිකිස් (හොරිබල් බෝසස්, එපික්) ජෝෂ් ගැඩ් (අයිස් ඒජ් : කොන්ටිනෙන්ටල් ඩ්රිෆ්ට්, ෆ්රෝසන්), ඩනී මැක්බ්රයිඩ් (අප් ඉන් ද එයාර්, කුන්ෆු පැන්ඩා 2, ඩේස්පිකබල් 2), මායා රුඩොල්ෆ් (බිග් හීරෝ 6), කේට් මැකිනන්, ෂෝන් පෙන් ආදී ප්රවීණ ශිල්පීන් පිරිසක් මෙම චිත්රපටයට හඬකැවීමෙන් දායක වෙති. රෝවියෝ ඇනිමේෂන් සහ සෝනි පික්චර්ස් ඉමේජ්වර්ක්ස් විසින් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්රපටය කොලොම්බියා පික්චර්ස් බෙදාහැරීමක් වන අතර විනාඩි 97 ක ධාවන කාලයකින් යුක්තය. සාමයෙන් සහ සතුටින් වෙසෙන කුරුල්ලන් පිරිසක් අතර 'රෙඩ්' වෙනස් අයෙකි. කේන්තියෙන් දවස ගෙවන රෙඩ් ට එනිසාම එය පාලනය කිරීම සඳහා පන්තියකටද යාමට සිදුවෙයි. එහිදී ඔහුට චක් සහ බොම්බ් යන මිතුරන් මුණගැසෙයි. ඔවුන් වෙසෙන දූපත වෙතට ආරාධනයකින් පැමිණෙන කොළ පැහැ ඌරන් සමූහය නිසා රෙඩ් ගේ කේන්තිය උග්ර වෙයි. චක් සහ බොම්බ් සමඟ කණ්ඩායම් ගතවන රෙඩ් ඌරන් පැමිණීමේ සැබෑ හේතුව සොයා ගැනීමට වෙහෙසෙයි. මේ තිදෙනා වටා ගෙතුණු වික්රමාන්විත කතා වස්තුවකින් 'ද ඇන්ග්රී බර්ඩ්ස් මූවි' සමන්විත වෙයි. ඇ.ඩොලර් 73ක පිරිවැයකින් නිමකර ඇති මෙම චිත්රපටය විචාරකයින්ගේ මිශ්ර ප්රතිචාර ලද්දකි. IMDB දර්ශකයේ 6.5/10 ක් ලකුණු කරන මෙම චිත්රපටය රෝටන් ටෝමාටෝස් හි 42% ක ලකුණක් සටහන් කර ඇත. මෙටාක්රිටික් දර්ශකයේ 43% ක් සටහන් කර ඇත. රෝටන් ටෝමාටෝස් හි ප්රමුඛ විචාරය පවසන අන්දමට මෙම චිත්රපටය, වීඩියෝ ක්රීඩා පාදක කොටගෙන තැනුණු අන් ක්රීඩා හා බලන විට සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. කෙසේ නමුත් ඇතැම් විචාරකයින් පවසන්නේ, වීඩියෝ ක්රීඩාවට වඩා යමක් මෙම චිත්රපටයෙන් බලාපොරොත්තු වූ නමුදු එය ක්රීඩාව අබිබවා නොගිය බවයි. මේ අතර තවත් විචාරකයෙක් පවසන අන්දමට, මෙය කුඩා දරුවකුගේ ඇසින් බැලිය යුතු චිත්රපටයක් වන නිසා වැඩිහිටියන්ට එතරම් ආකර්ශනීය නොවීම විවේචනය කිරීමට හේතුවක් නොවිය යුතුයි.
|