වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




එදා සින්නතම්බි පාලිත අද සින්නතම්බි දීපාල්

එදා සින්නතම්බි පාලිත අද සින්නතම්බි දීපාල්

සිකියුරිටි සින්නතම්බි දෙවැනි ගමනට වසරක් සපිරේ

අශෝක සෙනරත් මුදලිගේ අධ්‍යක්ෂණය කරනු ලබන සිකියුරිටි සින්නතම්බි වේදිකා නාට්‍යයේ දෙවැනි ගමන අරඹා මේ වන විට වසරක් සම්පූර්ණ කොට තිබේ. මේ කතාබහ ඒ වෙනුවෙනි.

අශෝක, සිකියුරිටි සින්නතම්බි පළමුවරට ආරම්භ වන්නේ අදින් වසර විසි දෙකකට පමණ පෙර. කොහොමද ඔබට මෙවන් වූ නාට්‍යයක සංකල්පය සිතට නැගෙන්නේ?

නිහාල් සිල්වා මගේ හිතවතා. ඔහු මගේ නිර්මාණ කිහිපයකටම එකතු වුණා. නිහාල්ගේ සාජන් නල්ලතම්බි චරිතය අකාලයේ වියෝ වූවායින් අනතුරුව නොයෙක් දෙනා අනුකරණය කළා. එතකොට මට හිතුණා ඒ චරිතය හා සමාන චරිතයක් වේදිකාවට ගේන්න. ඒ ඔස්සේ තමයි මට සිකියුරිටි සින්නතම්ිබි නාට්‍යහි සංකල්පය ඔළුවට ආවේ.

ඒ කාලයේ කොහොමද මේ නාට්‍ය සඳහා ලැබුණු ප්‍රතිචාර?

අපි මේකෙ දර්ශන වාර තුන්සියයකට වඩා පැවැත්තුවා. ඉතින් හිතා ගන්නකො නාට්‍යයේ ජනප්‍රියත්වය කොහොමද කියලා. දිගින් දිගටම ෂෝස් ආවා. එත් මට 98 වසරේදී සින්නතම්බි නතර කරන්නට සිදු වුණා.

ඉන් පසුව ඔබ පසුගිය වසරේ තමයි නැවතත් සිකියුරිටි සින්නතම්බි පටන් ගත්තේ. එදා හිටපු අයගෙන් කවුද වර්තමානයේදී මෙයට එකතු වෙලා ඉන්නේ?

මෙලනි අශෝකා විතරයි. අනෙක් අය සේරමලා අලුතින් ගත්තු අය. පළමුව සින්නතම්බි චරිතය රඟපෑැවේ පාලිත සිල්වා. අද රඟපාන්නේ දීපාල් සිල්වා.

ඒ පිටපතමද අදත් වේදිකා ගත වන්නේ?

ඔව්. මං පොඩ්ඩක්වත් වෙනස් කළේ නැහැ. මොකද මේ පිටපත ඕනෑම කාලයකට මනාව ගැළපෙනවා.

ඇයි ඔබට නැවතත් මේ නාට්‍ය වේදිකාවට ගේන්න හිතුණේ?

මේ කාලයට අවශ්‍ය ප්‍රහසන නාට්‍ය. එහෙම රැල්ලකුත් තියෙනවානෙ. මේකෙ ප්‍රහසනය තිබුණට ඊට යටින් ගැබ් වූ කතා සාරයක් තියෙනවා. ඉතින් කොයි කාටත් බලන්නත් පුළුවන්. ඒ නිසයි යළිත් නාට්‍ය පටන් ගත්තේ.

සිකියුරිටි සින්නතම්බි රට වටේ ගෙනියද්දී ඔබ හොඳ හොඳ අත්දැකීම්වලට මුහුණදීලා ඇති?

අපොයි ඔව්. අපි පොලොන්නරුවේ ගිය වෙලාවක මෙහි රඟපාන ජීවන් හඳුන්නෙත්තිට බඩේ අමාරුවක් හැදුණා වේදිකවේ රඟපාමින් ඉන්න අවස්ථාවකදී. ජීවන් සමඟ එවලේ ජවනිකාවෙ හිටියේ දීපාල්. ප්‍රේක්ෂකයන්ට නොදැනෙන්න ජීවන් ඩයලොග් එකක් කියාගෙන එළියට ඇවිත් ටික වෙලාවකින් ඩයලොග් එකක් කියාගෙනම වේදිකාවට ආවා. දවසක් මේ නාට්‍යයේ ඉන්න නළුවො දෙන්නෙක් තමන්ගේ චරිත වෙනුවෙන් පොඩි කතාවක් වුණා. අන්තිමේ මට සිද්ධ වුණා මේ නළුවන්ගේ චරිත මාරු කරන්න. දැන් එහෙම මාරු කරපු චරිත තමයි දෙන්නා රඟපෑවේ. කොහොම හරි එක නළුවෙක් දැන් නැහැ. සමහර අවස්ථාවල නළුවන් හදිසි වැඩ වැටුනාම ඒ චරිතය ම'විසින් රඟපානවා.

සිකියුරිටි සින්නතම්බි නැවත ආරම්භ කොට වසරක් සපුරන මේ වෙලාවේ විශේෂ දර්ශනයක් ඒ වෙනුවෙන් සූදානම් කරලා නැතිද?

තියෙනවා. මේ මාසේ 28 වැනිදා එනම් එන සෙනසරාදා සවස බොරලැස්ගමුව ස. ණ. ස. ශාලවේ තමයි මේ දර්ශනය පැවැත්වෙන්නේ.

නාට්‍යයේ රඟපාන නළු නිළියන් සඳහන් කළොත්?

දීපාල් සිල්වා, ජිවන් හඳුන්නෙත්ති, ගාමිණී කුමාර, ලක්ෂ්මන් ආරච්චිගේ, කරු අතුකෝරල, මෙලනි අශෝකා, ආශා සේපාලිකා, පූජා කුමාරි, අජිත් ප්‍රනාන්දු, ජේ. ඒ. කරුණාරත්න, සංඛ රණසිංහ. සංගීතය රමේෂ් ජයසිංහ, ඉදිරිපත් කිරීම කරු අතුකෝරලගෙන්.