වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




විශ්ව ප්‍රසාදනිය මා පුදුමයට පත්කළා

විශ්ව ප්‍රසාදනිය මා පුදුමයට පත්කළා

නීටා ප්‍රනාන්දු

නීටා ප්‍රනාන්දු අපේ රටේ සිනමාව ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නට උර දුන් සුවිශේෂි කලාකාරිණියක්. ඩබ්ලිව් එම්. එස්. තම්පෝගේ ‘සතුටයි කඳුළුයි’ චිත්‍රපටය හරහා 1965දී සිනමාවට පිවිසි ඇය ‘ළඳක මහිම’, ‘මංගලා’,‘රුහුණු කුමාරි’, ‘පික් පොකට්’, ‘කේසර සිංහයෝ’, ‘ගීතා’, ‘ලස්සන කෙල්ල, ‘රජගෙදර පරවියෝ’, ‘ජීවන ගීතය’, ‘වාසනා’, ‘දුහුළු මලක්’ වැනි චිත්‍රපට රැසක අමතක නොවන චරිත නිරුපණය කළාය. රංගනයට පමණක් නොව නිෂ්පාදනයට ද පිවිසෙමින් 1981 වසරේදී ඇය ‘සූරියකාන්ත’ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වූවාය. මේ දිනවල තිරගත කෙරෙන පත්තිනි චිත්‍රපටයේද ඇයගේ දායකත්වය ද විශේෂය.

නීටා විසින් ප්‍රධාන චරිතය නිරූපණය කළ ‘පවුරු වළලු’ චිත්‍රපටය මෙරටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් චිත්‍රපටයකි. එය නිෂ්පාදනයටද ඇය දායක වූවාය. ‘පවුරු වළලු’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1998 වසරේ පැවති 11 වැනි සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය වාසනාවන්ත වූවාය. 1998 වසරේදිම සරසවිය සම්මාන උලෙළේදී ඇය වෙත ‘විශ්ව ප්‍රසාදිනි’ සම්මානය පිරිනැමූයේ, රටට ගෙන ආ ඒ ජගත් කීර්තියට උපහාර පිණිසය. අද අපි අධචඤ බධ ර්‍ථපඥඵබඪඨඥ දිග හැරෙන්නේද නීටා ප්‍රනාන්දුගේ ඒ මතකය සමඟින්.

* ප්‍රථමයෙන්ම විශ්ව ප්‍රසාදිනි සම්මානය හිමි වූ අවස්ථාව සිහිපත් කරමු?

ඇත්තටම සරසවිය සම්මාන උලෙළකට සහභාගිවීම කලාකරුවෙකුට මහත් අභිමානයක්. එවකට ජනපති ධුරය හෙබවූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතිනුයි මට ඒ සම්මානය පිරිනැමුණේ. ආරාධනා ලැබුවත් මෙවැනි සම්මානයක් පිරිනමාවි යැයි නම් මම හිතුවේ නැහැ. ඇත්තටම එදා විශ්ව ප්‍රසාදිනි සම්මානය හිමිවීම මා පුදුමයට පත් කළා කිව්වොත් හරි. ‘පවුරු වළලු’ අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේටත් එම සම්මානය පිරිනැමුණා. ‘පවුරු වළලු’ චිත්‍රපටයේ වයලට්ගේ චරිතයට වෙනුවෙන් ලද ඒ සම්මානය මගේ ජීවිතය ලද වටිනාම සම්මානයක් ලෙසින් විශේෂ වෙනවා. මම හිතන්නේ ඒක මගේ වාසනාව කියලයි.

* මීට පෙර සරසවිය සම්මාන උලෙළ අත්දැකීම්?

අවාසනාවන්ත විදියට මට සරසවිය සම්මාන උලෙළ බොහොමයක් මඟ හැරුණා. අනික මම ගොඩක් චිත්‍රපයවලට දායක වූ කාලයේදී සරසවිය සම්මාන උලෙළ නොපැවැත්වීමත් කනගාටුවට කරුණක්. 2010 වසරේ පැවති සරසවිය සම්මාන උලෙළේදී මත් ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් අපි නිර්මාණය කළ නිසලගිර චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට නිර්දේශ වුණා.

* ඔබ ජාත්‍යන්තරය කරා ගෙන ගිය පවුරු වළලු චිත්‍රපටය ගැනත් එහි ඔබේ රංගනය ගැනත් කියමු?

මට අන්තර්ජාතික තලයේ නිළියක ලෙසින් සම්මානනීය වීමට උපකාරි වුණේ ‘පවුරු වළලු’ චිත්‍රපටයේ වයලට්ගේ චරිතය යි. චිත්‍රපටයේ කතාව ගත්තොත් එය ප්‍රේමයේ සුන්දරත්වය වගේම අවංකත්වය, අවිහිංසකත්වය ප්‍රේමයට වයස් සීමා, පවුරු පදනම් බාධා නොවූවත් සමාජය එය දකින ආකාරය පිළිබඳ පෙන්නුම් කරන චිත්‍රපටයක්. වයලට් තුළින් මේ තත්ත්වය පෙන්වා දෙන්න අවස්ථාව ලැබුණා. ඒවගේම සිනමාවෙන් ඈත්වී ගොස් සිටියදී නැවත මගේ පුනරාගමනය වූ අවස්ථාවක් විදියටත් ‘පවුරු වළලු’ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.

* රංගන ශිල්පීන් වූ පළියට හැම දෙනාටම ජාත්‍යන්තරයට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අතරේ ඔබ ලද මේ අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?

මගේ විශ්වාසය නම් ඒක මගේ වාසනාව. සිනමා ජීවිතයේ අත්දැකීම් එක්ක අපි කාලයක් ආවා. ඒ කාලය අතරේ මට සුදුසු චරිතයක් තෝරා දෙන්න ටෝනි රණසිංහට අවස්ථාව ලැබුණා. ‘පවුරු වළලු’ චිත්‍රපටයේ කතාව ලිව්වේ ටෝනි රණසිංහ. මගේ ආදරණිය සැමියාගේ සහයෝගයෙන් චිත්‍රපටයක් කරන්න සූදානම් වුණාම අපේ තෝරා ගැනීම වුණේ ටෝනි. ඒ කාලයේදී මට ගැළපෙනම චරිතයක් දෙන්න ඔහුට හැකි වුණා. ඒ නිසා ප්‍රසන්න විතානගේ නම් දක්ෂ අධ්‍යක්ෂවරයා සමඟින් කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා. ජාත්‍යන්තරය දක්වා යන්න මට අවස්ථාව ලැබුණේ හැමෝගෙම දායකත්වයෙන් සාර්ථක නිර්මාණයක් බිහි කිරීම නිසා.

හැබැයි සම්මානයක් කියන්නේ ඇගයීමක්. පළමුවෙන්ම අපි බලාපොරොත්තු විය යුත්තේ මෙය ප්‍රේක්ෂකයින් අතරට කෙසේ යාවිද කියලයි. ඔවුන් එය කෙසේ වැළඳ ගනිවිද කියන එකයි. ජනතාවගේ සම්මානය නැත්නම් වෙනත් වෙත් කිසිම සම්මානයකින් වැඩක් නැහැ. අපේ සිනමාව ඉදිරියට ගෙන යන්නේ ඒ ඇගයීමයි. සම්මානයක් අරගෙන වේදිකාවෙන් බහිනවාට වඩා ප්‍රේක්ෂකයින් අපිත් සමඟ සිටින බව දැනීමෙන් ලබන සතුට වැඩියි.

* බොහොමයක් දක්ෂ රංගන ශිල්පීන්ට ශිල්පිනියන් හිටියත් ඔවුන්ට අපේ රටේ සිනමාව තුළින් ජාත්‍යන්තරයට යන්න තියෙන අවස්ථා අඩුයි නේද?

අපේ රටේ ගොඩක් දක්ෂ නළු නිළියන් රැසක් ඉන්නවා. මම හිතන්නේ ජාත්‍යන්තරයට යන එක ඔවුන්ගේ අතේ තියෙන දෙයක් නෙවෙයි. ඔවුන්ට ජාත්‍යන්තරය තලයට යන මඟ විවර වෙන්නේ අධ්‍යක්ෂවරුන් ගෙන් සහ නිෂ්පාදකවරුන්ගේ දායකත්වය අනුවයි. ඒ මට්ටමට ඉදිරිපත් කළ හැකි සාර්ථක නිර්මාණයකට දායකවීමෙන් පමණයි. මොකද නළු නිළියන් මොන තරම් හොඳට රඟපෑවත් ජාත්‍යන්තර තලයට ගැළපෙන පරිදි අධ්‍යක්ෂණය වෙලා නැති නම් ඒ අවස්ථා නළු නිළියන්ට උදාවෙන්නේ නැහැ.

* හැටේ දශකයේ සිනමාවට පිවිසිලා ජනප්‍රියතම කාලයේදී සිනමාවෙන් දුරස්ව විදේශයක පදිංචි වීමෙන් රංගන දිවියට වූ බලපෑම දැනෙන්නේ කොහොමද? ඒ නිසා මඟ හැරුණු දේත් ඇති?

ඇත්තටම ඒ දුරස්වීම මට ගොඩක් ලොකුවට දැනුණා. මම විදෙස්ගත වෙන්න සූදානම්ව සිටියදී ආරාධනා ලද චිත්‍රපට දහතුනකට මම අත්සන් කළේ නැහැ. මම මගේ මහත්තයාට ගොඩක් ආදරෙයි. එයා රට ගියොත් මමත් එන බවට මම පොරොන්දුවක් දීලා තිබුණේ. ඉතිං මම ඒ පොරොන්දුව ඉෂ්ඨ කළා. සිනමාව මගේ පළමුවෙනි ආදරය යි. නමුත් පළමු ආදරයෙන් දෙවැනි ආදරයට පත් වුණාම සිනමාව හැර ජීවිතය ගෙන යන්නත් ඉගෙන ගන්න බොහෝ තියෙන බව එදා මම හිතුව දෙයක්. ඒ ගමන ආසාවෙන් ගිය ගමනක් නොවුණත් මම ගියේ ආදරයෙන්.

* සමස්ථයක් විදියට රංගනය තුළ ඔබ තෝරා ගන්නා චරිතවල ඔබට දැනුණු විශේෂත්වය?

 

හිටපු ජනපතිතුමිය අතින් සරසවිය සම්මානය ලබාගනිමින්

හැම චරිතයක්ම මම හරි ආදරයෙන් ආසාවෙන් බාර ගත් චරිත. මට තෝරා ගන්න දෙයක් තිබුණේ නැහැ. එදා අපට හොඳ චරිත ලැබුණා. ඒ ලැබුණෙත් සුදුසු චරිත. ඒ හැම චරිතයකටම මම ආදරය කරනවා. ‘දුහුළු මලක්’ චිත්‍රපටය මගේ ජීවිතයේ කඩඉමක් වුණා. ඒ හැරුණාම ‘සතුටයි කඳුළුයි’ චිත්‍රපටයේ පටන් ‘ලසඳා’, ‘මංගලා’, ‘ශාන්ති’ වගේ මම රඟපෑ හැම චිත්‍රපටයක චරිත මට ගෙනත් දුන්නා. ඒ චරිතවල තෝරා ගන්න දෙයක් තිබුණේ නැහැ.

* ස්වර, නිසලගිර වැනි නිර්මාණ සඳහා වූ ඔබගේ දායකත්වයත් විශේෂයි?

මම රංගන දිවිය පටන් ගත්තේ වාණිජ චිත්‍රපටවලින්. ඊට පසුව මැද මාවතේ චිත්‍රපටවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. දැන් අපෙන් සිනමාවට සේවයක් විය යුතු කාලය උදා වෙලා. නිසලගිර මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳවත් ස්වර චිත්‍රපටය ඒඩ්ස් රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වාර්තාමය චිත්‍රපටයක ආකාරයෙන් තමයි නිර්මාණය වුණේ. එම නිර්මාණ වෙනුවෙන් දායක වුණේ නිෂ්පාදිකාවක් විදියට කළ යුතු සේවය වෙනුවෙන්. සිනමාව පණිවුඩ දෙන්න හොඳ මාර්ගයක්. සමාජ ප්‍රශ්නවලදී කටයුතු කළ යුතු ආකාරය කියන්න එය හොඳ අවස්ථාවක් වුණා. ඒ නිසාම මෙම චිත්‍රපට නිෂ්පාදනයට මම දායක වෙන්න තීරණය කළා.

ඒ වගේම මම කවදාවත් චිත්‍රපට නිෂ්පාදනයෙන් මුදල් හම්බ කරලා නැහැ. මමයි මහත්තය යි බොහොම මහන්සියෙක් වැඩ කරලා හොයපු මුදල්වලින් තමයි චිත්‍රපට නිෂ්පාදන තුනක්ම කළේ. ලාබ ලැබුණේ නැතත් වැය වූ මුදල සෙවූ නිර්මාණ තියෙනවා. ඒ ඇති. හැබැයි නීටා ප්‍රනාන්දුගේ චිත්‍රපට නිෂ්පාදන වලින් ලාබ ලැබුවා කියලා නම් කියන්න බැහැ. නමුත් ඒ සේවයෙන් ලද සතුට මිල කරන්නත් බැහැ.

* ඉදිරි නිර්මාණ කටයුතු පෙළගැසෙන්නේ කොහොමද?

මම නිෂ්පාදනයෙන් දායක වු ස්වර සහ තේජා චිත්‍රපට තවම තිරගත කෙරුණේ නැහැ. මේ නිර්මාණ සමාජගත වූ පසුවට තවත් නිෂ්පාදනයක් ගැන හිතා බලනවා. ඊට අමතරව ධර්මසේන පතිරාජගේ ස්වරූප චිත්‍රපටයේත් මම එක් ප්‍රධාන චරිතයකට පණ දුන්නා. එයත් ඉදිරියේදී තිරගත වේවි.