වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ගංවතුරෙන් පීඩිත කලාකරුවන්

ගංවතුරෙන් පීඩිත කලාකරුවන්

පසුගියදා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකටම ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අසරණ වූ පිරිස අතරේ අප කලාකරුවන් කිහිප දෙනෙකු සිටින බව සරසවියට වාර්තා විය. මේ ඔවුන් සොයා ගිය ගමනකි.

 

 

වම් අතත් බිඳුණා

ගීතා කාන්ති ජයකොඩි

මේ සිද්ධ වුණේ මං හීනෙකින්වත් හිතපු නැති වින්නැහියක්. උපන්තේකට අපේ ගෙවල් යටවෙල තිබුණේ නැහැ. මගේ ගෙවල් තියෙන්නේ සේදවත්ත කොටුවිල කියන ප්‍රදේශයේ. එදා හොඳටම වැස්ස.

ටික ටික වතුර ගලා එන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් වැස්සකදී ඔහොම වතුර පිරිලා හිමිහිට බැහැලා යනවා. නමුත් එදා එහෙම වුණේ නැහැ. මොකක් වුණත් වෙනසක් දැනුණ හින්දා අපි නිවසින් පිටත් වෙන්න තීරණය කළා. මමයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. එයාට අසනීපයක් වුණොත් කියලයි ගෙදරින් පිටත් වෙන්න තීරණය කළේ.

කිසිම බඩුවක් මුට්ටුවක්වත් ගත්තේ නැහැ. අපි ආවා කැලණියේ තියෙන අපේ ලොකු අක්කගේ ගෙදර. ටික වේලාවකින් ආරංචි වුණා මුළු ගෙදරටම වතුර දාලයි කියලා. යන්න විදිහක් ඇත්තෙත් නැහැ. මොනවා කරනන්ද ඉතින් හිත හදා ගන්නවා හැර.

ඇඳගෙන හිටපු ඇඳුමයි, වාහනයයි, ෆෝන් එකයි විතරයි සත්තකටම තියෙන්නේ. කැලණි පාලමේ චරිතයම තමයි අන්තිමට සැබෑ ජීවිතේදිත් වුණේ. ඊට හපන් ගංවතුර අඩුවුණාම ගෙදර සුද්ද කරන්න ගිහින් ලිස්සිලා වැටිලා වම් අත බිඳුණා. මාව නිකං කබලෙන් ලිපට වැටුණා වගේ.


මගෙ බෙල්ල ළඟට වතුර

රත්නා ලාලනී ජයකොඩි

ගෙදරට වතුර දානවා කියලා ආරංචි වෙද්දී මමයි සම්පතුයි හිටියේ වෙඩින් එකක. ටක් ගාලා අපි ගෙදරට එන්න පිටත් වුණා. එතකොටත් පාරට වතුර දාලා. ළඟ ගෙදරකින් ඇඳුම් මාරු කරගෙන මං වතුර මැදින් ගෙදරට ගියා.

අපි හිතුවේ වතුර බහියි කියලා. නමුත් එන්න එන්න වැඩි වුණා මිසක වතුර අඩුවන පාටක් නැහැ. මං ගෙදරට ගිහින් පුළු පුළුවන් විදිහට බඩු භාණ්ඩ එළියට ගත්තා.

අවසානයේ ගෙදරට යද්දී මගේ බෙල්ල ගාවට වතුර. සම්පත් උඩකට නැගලා බලාගෙන ඉඳලා මට හොඳටම කෑගැහැව්වා. එතකොට මං ගොඩට ආවා. මට බේර ගන්නට නොහැකි වූ දේවල් පාවෙනවා මං දැක්කා.

ඒත් මොනවා කරන්නද, අපි කැලණියෙ ශ්‍රියානි අක්කගේ ගෙදර ආවා ගීතා අක්කත් එක්ක. කලින් දවසේ වෙඩින් එකට ගිය සාරිය ඇඳගෙනම පහුවෙනිදා මං උගන්වන පාසලට ගියා.

ඊට පසුව නිවාඩු ඉල්ල ගත්තා. මේ කරදර හින්දා අපිට දෛනික වැඩ කටයුතු සියල්ල මඟ හැරුණා. පුදුම ගංවතුරක් ඒක. මං ඉන්න වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශය වැවක් වගේ. කාටවත් හිතාගන්න බැහැ ඒ අපි ජීවත් වූ ගම ද කියලා.

දෙවියන්ගේ පිහිටෙන් අපේ ජීවිතවලට හානියක් වුණේ නැහැ. ඒ සතුටින් අපි ජීවත් වෙනවා. ඒත් කාටවත් කරදරයක් නොකර සාමාන්‍ය විදිහට ජීවත් වූ අය අද අනාථයෝ විදිහට ඉන්න එකට නම් හරිම දුකයි.


නාවුක හමුදාවේ උදව්වෙන් බේරුණේ

සනත් අබේසේකර

මං ඉන්න වැල්ලම්පිටිය මුල්ලේරියාව නව නගරයේ ස්ථාන කිහිපයකටම ගංවතුර හානි සිදු වුණා. අපේ ගෙදරටත් වතුර දැම්මා.

නාවික හමුදාවේ උදව්වෙන් තමයි ගොඩට ආවේ. වාසනාවට මගේ චිත්‍රපට උපකරණ බේරගන්නට ලැබුණා. තවම වාහනය නම් එහෙ. දැන් ගිහින් බලන්න ඕනෑ මොකද තත්ත්වය කියලා. මෙතුවක් කල් මං හිටියේ පානදුර මගේ ඥාතියකුගේ ගෙදර.


බෝට්ටුවෙන් ගොඩ ආවේ

කුසුම් මල්දෙණිය

මගේ ගෙවල් තියෙන්නේ කොටිකාවත්තේ. අපේ ගෙදරටත් අඩි ගණනක් උසට වතුර දැම්මා. බෝට්ටුවකින් ඇවිත් තමයි බේර ගත්තේ.

මුළු ජීවිතයේම හරි හම්බු කරපු දේවල් වතුරට ගසාගෙන ගියා.

එත් මොනවා කරන්නද. අපිට ආධාර ලැබුණා. නමුත් මං ඒවා ප්‍රතික්ෂේප කළේ ලොකු කමකට නෙවෙයි.

අපිට යමක් කමක් තියෙන උදවිය. නමුත් නැති බැරි ගොඩක් අය ඉන්නවා. ඒ අය වෙනුවෙන් ඒ ආධාර යවන්න කියලයි මං කිව්වේ.


නිවාස අඩස්සියේ

සමදරා ආරියවංශ

මං ඉන්න කැලණිය වනවාසල අවට පාරවල් සියල්ලම යට වුණා. වාසනාවට අපේ ගෙදරට වතුර දැම්මේ නැහැ.

නමුත් ගෙදරින් එළියට බැහැලා කොහෙටවත් යන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඉතින් ගෙදරටම වෙලා හිටියා.


අඩි පහළොවක ජල කඳක්

නිශානි ගමගේ

මේ ගංවතුරෙන් මට වෙච්ච පාඩු කොච්චරක්දැයි කියලා කියන්න බැහැ. මං හිටපු කොටිකාවත්ත නිවස එහෙම් පිටින්ම යට වුණා. අඩි පහළොවක ජල කඳක් ගේ වසා ගත්තා.

වහළය විතරයි පේන්නට තිබුණේ. වාසනාවට මං එදා ගෙදර හිටියේ නැහැ. නමුත් මෙතුවක් කල් මං රඟපාලා උපයාගත් සියලු දේ මේ ගංවතුරට ගසාගෙන ගියා. මොකවත් ඉතුරු වුණේ නැහැ.

පුදුමාකාර දුකක් හිතට දැනෙනවා. මගේ යාළුවෝ ගොඩ දෙනෙක් මට කතා කළා. මං යථා තත්ත්වයට එන්න සෑහෙන කලක් යාවි.