වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




‘සකුරා’ කණ්ඩායමේ සාමාජිකයකු වීම

‘සකුරා’ කණ්ඩායමේ සාමාජිකයකු වීම

* මීට අවුරුදු තිහ හතළිහකට ඉහත කොළඹ මරදාන හන්දියේ පැවති ආකාරය මට සිනමාපටයක රූප රාමුවක් මෙන් මැවී පෙනේ. එදා මරදාන හන්දියට සුවිශේෂත්වයක් එක් කළේ දැවැන්ත චිත්‍රපට කටවුට් පෙළයි. එතරම් විශාල කටවුට් මා අන් කිසි තැනක දැක නොමැති තරම්ය.

එකල මරදාන යනු ගැටකපන්නන්ගෙන් ද නොතොර පුරවරයකි. සිනමාහල්, මුද්‍රණාල, සංගීත පන්ති, පත්තර හා සින්දු පොත් කඩ මරදාන හන්දිය කේන්ද්‍ර කරගෙන පිහිටා තිබුණු සංස්කෘතික කලාප ලෙස හැඳින්විය හැකිය.

මා සතියකට වරක් හෝ දෙවරක් මරදාන හන්දියට යන්නේ අලුත නිකුත් වූ සිනමා පුවත්පත් හා සඟරා සොයන්නටය. පංචිකාවත්තේ බුහාරි හෝටලයට මඳක් නුුදුරින් පිහිටි ආනන්ද පොත්හලේ ඕනෑම පත්‍රයක් - සඟරාවක් විකුණන්නට තිබිණි. ආනන්ද පොත්හලට ඒ නම යෙදුණේ ඇයිදැයි කියා මා දැනගත්තේ පසු කලෙකය. එහි අයිතිකරු දෙමළ ජාතිකයෙකි. ඔහු වැඩියෙන්ම වික්කේ ඩීමන් ආනන්දගේ මාරක කතා පොත්ය. ඒ වෙළෙඳාමෙන් ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් වූයේය. ඔහු ආනන්ද යන නමින් තම පොත්හල හැඳින්වූයේ ඩීමන් ආනන්දට කෘතඥතා පුර්වක වනු පිණිසය.

දිනක් මට ආනන්ද පොත්හලේදී අලුත් මඟක ගිය සිනමා පුවත්පතක් දක්නට ලැබිණි. එහි නම 'සකුරා' ය. පළව තිබූ ලිපි රූ රටා සැලසුම එවක පැවති සම්ප්‍රදාය ඉක්මවුවකි. මම ඉන් පිටපතක් මිලදී ගතිමි. ගුණසිරි සිල්වා, රනිල් ඇල්විටිගල, ජී. ඇල්. ආරියපාල යන අය මෙහි 'සංස්කාරකවරු' යයි සඳහන්ව තිබිණි.

මයිකලාන්ජිලෝ

පෝරුතොට පියතුමා

මා කුඩා කල පටන් විවිධ සිනමා ප්‍රකාශනවල පාඨකයකු වුවත් මට කිසිදා ඒ එකදු පත්‍රයකට, සඟරාවකට ලිපි ලිවීමේ අදහසක් පහළ වී නැත. ඒත් 'සකුරා' කිය වූ කල්හි ඊට සිනමා ලිපියක් ලියා තැපැල් කිරීමේ ආශාවක් මා තුළ ඇති වූයේය. මම 'සිනමා කලාවේ පියා - ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත්' යන නමින් ලිපියක් ලියා අදාළ ලිපිනයට තැපැල් කළෙමි.

* දින කීපයකට පසු මට 'සකුරා' වෙතින් පිළිතුරක් ලැබිණි. එය මා අපේක්ෂා කළ දෙයක් නොවේ. ගුණසිරි සිල්වාගේ අත්සන සහිතව වූ ඒ ලිපියෙන් කියැවුණේ මගේ ලිපිය ඉදිරි කලාපයක පළවන බවත් විවේකයක් ඇති දිනක මරදාන 'ග්ලෝබ්' මුද්‍රණාලයට පැමිණ මුණගැසෙන ලෙසත්ය.

* 'සකුරා' ඊළඟ කලාපයේ මගේ ලිපිය පළව තිබිණි. ඒත් එය ලියු ලේඛකයාගේ (මගේ) නම සඳහන්ව නොතිබිණි. එය මගේ ලිපියක් බව තහවරු කෙරුණේ ඊටත් පසුව නිකුත් වූ කලාපයකය. මයිකලාන්ජිලෝ අන්තෝනියෝනිගේ 'බ්ලෝ - අප්' චිත්‍රපටය ගැන මා ලියූ තවත් ලිපියක් 'සකුරා' තවත් කලාපයක පළ වූයේය.

* ගුණසිරි සොයා මරදාන 'ග්ලෝබ්' මුද්‍රණාලයට මා ගිය ගමන මගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කළ සිදුවීමක් යැයි කිව හැකිය. මා වෘත්තීය සිනමා ලේඛකයකු විමේ අඩිතාලම වැටුණේ එයින් බැවිනි.

බ්ලොව් අප්

රැකියාවක් නොමැතිව සිටි මගේ කාලය එකල බෙහෙවින් ගත වුණේ 'ග්ලෝබ්' මුද්‍රණාලය ඇසුෙර්ය. වෙන වචනයකින් කිවහොත් 'සකුරා' ඇසුෙර්ය. ගුණසිරි ද රැකියා විරහිත තරුණයෙක්ව සිටියේය. තරුණ බොහිමියානු කලාකරුවන් ගණනාවක්ම එකල 'ග්ලෝබ්' මුද්‍රණාලයට ආව ගියහ. ජයන්ත කළුපහණ, ජී. ඇල්. ආරියපාල, කපිල කුමාර කාලිංග, ගුණරත්න වික්‍රමගේ, බර්ටි බී. කුඩාහෙට්ටි, ආනන්ද ගුණතිලක, ගීතනාත් කුඩලිගම, චිත්‍රාල් ද සොයිසා, ප්‍රසන්න විතානගේ, ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ඔවුනතරින් මට මතක ඇති නම් කීපයකි. ඔවුන් බොහෝ දෙනෙකුට ද රැකියා නොතිබිණි. බොහෝ විට අප බස්වල ගියේ ටිකට් නැතිවය. තෝසයක්, වඩයක්, ආප්පයක් බොහෝ විට අපේ දිවා ආහාරය විය.

ග්ලෝබ් මුද්‍රණාලය ප්‍රවිණ පුවත්පත් කලාවේදියකු හා සිනමා විචාරකයකු වු රාජා තිලකරත්න විසින් ගොඩ නංවන ලද්දකි. ඔහුගේ පුත් කෝසල තිලකරත්න එකල මෙහි ප්‍රධාන පාලකයා වුයේය. 'සකුරා' පත්‍රයට මුදල් වියදම් කළේ ඔහුය. කළමනාකරු වූයේ රනිල් ඇල්විටිගලය.

මරදානේ කේ. ඩී. ඩේවිඩ් මාවත ආරම්භ වන තැන පිහිටි ග්ලෝබ් මුද්‍රණාලයත් එය කෙළවර වන තැන පිහිටි අයි. පී. බී. මුද්‍රණාලයත් අතර වූ පටුබිම් තීරුවේ ආර්. ඒ. චන්ද්‍රසේන සංගීතායතනය පිහිටුවා තිබුණා මට මතකය. ඇතැම් දිනවල සවස් යාමයක ඔහුගේ දියණියක සිතාරය බඳු කිසියම් වාද්‍ය භාණ්ඩයක් වයනු අපට ඇසී ඇත.

මගේ පළමු සිනමා ගුරුවරයා ගුණසිරි සිල්වාය. අපේ මිත්‍රත්වය අදටත් එලෙසමය. ඔහු විචාර ලියූ බොහෝ චිත්‍රපට නැරඹූයේ මා සමඟ ගොස්ය.

1980 දී පමණ ගුණසිරි 'ඇත්ත' පුවත්පතට සම්බන්ධ වූයේය. එහි නිල සිනමා විචාරකයා වූයේ ඔහුය. මම ද ගුණසිරි සමඟ 'ඇත්ත' කාර්යාලයට යන්ට එන්ට පටන් ගතිමි.

ලබන සතියේ ඇත්තේ ඇත්ත අත්දැකීම්