වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

තාම හදිස්සි නෑ

සල්මන් ඛාන්ගෙයි රුමේනියානු ජාතික නිළි ලුලියා වන්තූර්ගෙයි ප්‍රේම කතාව ගැන නොයෙකුත් කටකතා පසුගිය කාලය පුරා පැතිරුණා. ඔන් දැන් ආයෙමත් බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ මේ දෙන්නාගේ කසාදය මේ අවුරුද්දේ සිදු කෙරෙන බවයි. ඒක යෙදෙන්න නියමිතව තියෙන්නේ සල්මන්ගේ 51 වැනි උපන්දිනය යෙදෙන දෙසැම්බර් 27 වැනිදාට කියලත් නිල නොවන ආරංචි ගෙන එනවා.

පසුගිය කාලයේ ඇය සල්මන්ගේ අම්මා සුෂීලා එක්ක ගමන් බිමන් යනවා බොහෝ දෙනා දැකලා තිබුණා. මේ නිසා දැන් සල්මන් යන යන තැන්වලදි ඔහුගෙන් හැමෝම අහන්නේ කවදා ද විවාහ වෙන්නේ කියලයි. පසුගිය දවසක මේ ගැන ඔහුගෙන් ඇහුවාම කිව්වේ “මට බඳීන්න ඕනි වුණාම මම බඳීනවා. එක කවදාද වෙන්නේ කියලා මම කියන්න ඕනි නැහැ. ඒ දවස මම මගේ ට්විටර් හා ෆේස්බුක් පිටු හරහා මගේ රසික රසිකාවන්ට කියනවා” කියලයි.

හැබැයි මේ කටකතා නිසාම තම ඉන්ස්ටග්‍රම් පිටුවෙන් තමන්ට දැන්මම විවාහ වෙන්න හදිසියක් නැති බව ලූලියා පවසා තිබුණා.


හිට්ලර්ගේ රැවුල කුරානා අරගෙන

චාලි චැප්ලින් කියන්නේ ලෝක සිනමාවේ සුවිශේෂ චරිතයක්. ලෝවටා සිනමා රසික ජනතාවට වැඩියෙන්ම හාස්‍ය ගෙන දුන් පුද්ගලයා ඔහු වන බවටද කිසිම සැකයක් නැහැ.

ඒ වගේම ජර්මනියේ ආඥාදායකයා මෙන්ම ලෝක දේශපාලන ඉතිහාසයේ කුරිරුතම පාලකයා ලෙසින් ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රසිද්ධයි.

චැප්ලින්, හිට්ලර් වගේම ඉන්දියාවේ ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පියෙක් වු මෙහෙමුද්ගේ සමාන ලක්ෂණයක් තියෙනවා. ඒ උඩු රැවුලයි.

දැන් නවක බොලිවුඩ් තරුවකුත් මේ විදියටම උඩුරැවුල සකසාගෙන ඉන්නවා. ඒ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘මේරි ප්‍යාරි බින්දු’ චිත්‍රපටය වෙනුවෙන්. අයුෂ්මාන් කුරානා තමයි මේ විදියට වෙනස් වු නළුවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නවක අධ්‍යක්ෂවරයෙක් වන ආක්ෂේ රෝයි විසින්. පරිනීති චොප්රාත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.


 

අජේ බල්ගේරියාවේ

අජේ දේව්ගන් මේ දවස්වල බල්ගේරියාවේ පාරවල් දිගේ දුවනවා කියලා ආරංචියි. බල්ගේරියාවේ සංචාරයේ යෙදුණු ඉන්දීය සංචාරකයන් පිරිසක් තමයි අජේ මේ විදිනයට පාර දිගේ දුවනවා දැකලා තියෙන්නේ.

ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය වන ‘ෂිවායි’හි රූප රාමුවකට තමයි මේ විදියට පාරේ දුවන්න සිදුවෙලා තියෙන්නේ. හිම කඳුවල සුන්දර දර්ශන රැසක් අජේගේ මේ අලුත් චිත්‍රපටයේ ඇතුළත්. මේ අවුරුද්දේ දීවාලි උත්සව සමයේදී අජේගේ මේ අලුත් චිත්‍රපටය තිරගත කරන්න සූදානම් කියලත් ආරංචියි. ඒ වගේම එහි ප්‍රධාන නිළියක් නවක නිළියක් කියලා තමයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.


 

දැන් කියන්නේ එහෙම තමයි

උදය චොප්රා සහ නර්ගීස් ෆක්රී අතර ප්‍රේම සම්බන්ධතාවත් බිඳී ගිහින්. පසුගිය දවසක ඇය නිව්යෝක් බලා පිටත් වුණේ ඒ නිසා කියලා බොලිවුඩයෙන් ආරංචි වෙනවා. හැබැයි ඇයගේ සමීපතමයන් පවසන්නේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය එහි තම නිවෙසට ගිය බවයි. උදය වෙනත් තරුණියකට යැවූ කෙටි පණිවුඩයක් නර්ගීස් වෙත ලැබීම මේ දුරස්වීමට හේතු වූ බවත් කියවෙනවා.

උදය නම් කියන්නේ තමා සාමාන්‍යයෙන් කටකතාවලට ප්‍රතිචාර දක්වන කෙනෙක් නෙවෙයි කියලයි. ඒ වුණත් නර්ගීස් සම්බන්ධ කටකතාව ගැන කියන්න තියෙන්නේ තමන් හා නර්ගීස් තවමත් හොඳ යහළුවන් බවලු.

“ඒ වුණත් පත්තර හොඳ වැඩක් කරලා තියෙනවා. රික්තකයක කතන්දර ගොතලා ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව පෙන්නුම් කරලා” උදය පවසනවා.


 

කතා නැතිව සිටියත් ගොළුවෙලා අපි

රන්බීර් - කත්‍රිනා බොලිවුඩයේ බොහොම සතුටින් සිටි පෙම් යුවළක්. ළඟදීම විවාහ වෙන විවාහ වෙන බව පවසා සිටියත් හදිසියේම දෙන්නා දෙපැත්තකට වුණා. ඒ වගේම මේ දෙන්නාටම හිතවත් අය ආයෙමත් මේ දෙන්නවා යාළු කරන්න නොගත් උත්සාහයක් නැහැ. ඒ මදිවට උත්සව අවස්ථාවල මේ දෙන්නට දෙන්නා මඟ හැරිය අවස්ථා වැඩියි.

කොහොම වුණත් දෙන්න හිතවත් කාලේ එකට පටන්ගත්තු නිර්මාණ අවසන් කරන කාලේ දැන් උදා වෙලා. එක චිත්‍රපටයක් වෙනුවෙන් රන්බීර්ටයි කත්‍රිනාටයි මොරොක්කෝවට යන්න සිදු වෙලා. දෙන්නම එකම ගුවන්යානයේ යාම විතරක් නෙවෙයි එකම හෝටලයේ නවාතැන් ගැනීමත් ප්‍රතික්ෂේප කරලා. දර්ශන තලයේදී හැමෝම එකට කෑම කනවිටදී මේ දෙන්නා දෙපැත්තකට වෙලා කෑම කනවාලු.