|
මාත් රිදී හැන්ද කටේ ගහන් ආපු කෙනෙක් නෙවේ
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්රශිල්පී අරවින්දගේ සිතුවමින්
මානවී ඇඟ වටා දවටා සිටි පොරෝණය තවත් තදින් ඔතාගෙන වීදුරු කවුළුවෙන් එපිට බැලුවාය. යාබද අහස අල්ලන්නට වෙර දරන ගොඩනැගිලි මැද බිම සිටින මිනිසුන් අඟුටුමිට්ටන් ගාණය. මේ මිනිසුන් මැද තමන් කවුරුදැයි සිතන්නට ඈ කල්පනා කළාය. වීදුරු මත ඇය ඇඟිලි යවමින් රූප සටහන් අඳින්නට පටන් ගත්තීය. මේ නුවර ඈ නාඳුනන එකකි. දිළිඳුකමින් මෙන්ම ධනයෙන්ද ආඪ්‍ය වූ මූම්බායි නගරයට ඉර පායන අන්දම ඇය බලා සිටියාය. අනතුරුව ඈ ආපසු හැරුණාය. වීරප්පෙරුම ඇඳේ අනිත් පැත්තට හැරි තවම නිදිය. ඔහුගේ නින්දට බාධා කිරීම නොමැනවැයි සිතුන මානවී හීන්සීරුවේ ආපසු හැරුණේ වීදුරුවෙන් එහා ලෝකය බලන්නටය. වීරප්පෙරුමගේ තට්ටය වසා ගත් කොණ්ඩය ඇඳ අසල පරිස්සමට තබා ඇත්තේය. ඔහු පිබිදුන පසු එළි පහළියට යන්නේ එය ලාගෙනය. එවිට ඔහුගේ වයස අවුරුදු විස්සකින් පහළට වැටේ. මානවී මුම්බායි නගරයට පැමිණියේ පෙර දවසේය. එයට පෙර එබඳු ගමනක යෙදෙන්නට ඇයට අවකාශ නොවීය. එලෙස යන්නට සිතා සිටියේ ද නැත. 'වීරප්පෙරුම ඇමැතිතුමා මානවී ගැන ඇහැව්වා' මානවීට පැවසුවේ නිරන්ජන්ය. මානවීට නුරාෂා සිහිපත් වූවාය. නුරාෂා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයෙන් ඉවත් වූයේ එම අවධියේමය. ඇය නුවරඑළියේදී එක් රාත්‍රියක වීරප්පෙරුමගේ රථයට ගොඩ වූ අයුරු මානවීට මතකය. ඇය ඉක්මනින් රහසිගතව විවාහ වූවාය. අනතුරුව විදෙස් ගත වූවාය. ටෙලි නාට්‍යයේ ඇගේ චරිතය කතාව ලියූ ජයදේව විසින් අතුරුදන් කරනු ලැබුවේය. දැන් ඇගේ යෙහෙළියගේ චරිතයට තැනක් ලැබී ඇත. මානවී කතාංගයේ මුලට ආවාය. 'මානවී ගැන තමා ඔක්කොම අහන්නේ' නිරන්ජන් පැවසුවේ සිය අලුත්ම රථයේ යතුරු කැරැල්ල වනමිනි. මානවී සිනාසුණා විනා කිසිත් නොකීවාය. 'මානවී කැමති නැත්ද ඉන්දියාවේ යන්න. මුම්බායි පැත්තේ එහෙම ලබන සතියේ යන්න ලෑස්ති වෙන්න. පාස්පෝට් එහෙම ලැස්ති කරගන්න' නිරන්ජන් පැවසුවේය. පසුගිය සති කිහිපය ඇතුළත ටෙලි නාට්‍යයේ රූ ගැන්විම් තිබුණේ නැත. අත්තම්මාත් අත්තාත් දඹදිව වන්දනාවේ යවන්නට හිතුවාට වඩා මානවීට වියදම් ගියේය. අක්කාගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් සුජිත්ට මුදලක් අවශ්‍යව තිබිණ. 'අනේ සුජිත් අයියේ අත්තම්මලා වන්දනාවේ යන එකට ටිකක් වියදම් ගියා' ඈ පැවසුවේ ඇත්තටමය. සුජිත් කණගාටුවට පත්ව ඇතැයි මානවීට සිතිණ. මේ මාසයේ මොටර් රථයට ද ගෙවිය යුතුය. සියල්ලෝම සිතන්නේ තමන් ළඟ මුදල් ඇති වගය. වෙනදා මෙන් නොව හොඳින් ඇඳ පැළඳ ගත යුතුය. අලුත් ෆෝන් එකක් ගත්තද?' සුජිත් ඇසුවේ මානවී අතැති අලුත් දුරකතනය දෙස බලමිනි. ඈ ආඩම්බරයෙන් සිනසුණාය. සුජිත්ගේ අක්කාගේ මංගල සාදයක් කියා ලොකුවට යමක් තිබුණේ නැත. සිටියේ දෙපාර්ශවයේ හිතවතුන් කිහිප පොලකි. පිටස්තරයන්ට සිටියේ මානවී හා නිර්මලා පමණි. මානවී සුජිත්ගේ ගමට ගියේ මුල්වරටය. ගමේ බොහෝ නිවාස අලුතින් ඉදි කළ ඒවාය. සුජිත්ගේ ගෙයි වහල උළුය. ගේ ඉස්සරහ ඉදි කළ කුඩා මඩුව පමණක් ගෙයි අමුත්තක් සිදු වන බව කියා පෑවේය. බිත්ති අලුතින් පාට කළ ද එහි ඇති පැරැණි හා අඳුරු බව මකාලන්නට එය ප්‍රමාණවත් නොවිණ. දිගු කලකින් අලුත්වැඩියා නොකළ ද තම මහ ගෙදර මෙයට වඩා කළ එළියක් ඇතැයි මානවීට වැටහිණ. මානවීගේ මෝටර් රථය හා ඈ එයින් බසිනු දුටුු සුජිත්ගේ නෑයන් එකිනෙකා කණු කුණු ගානු ඇය දැක්කාය. වළළු කරට යන්තම් ඉහළට ඔසරියක් ඇඳ ගත් මැදි වියේ ගැහැනියක මානවී හා නිර්මලා පිළිගත්තාය. සුජිත් මඟුල් ගෙදරට ගැළපෙන්නට ටයි පටියක් පැළඳ සිටිියේය. 'අපේ අම්මා' සුජිත් හීන්සීරුවේ පැවසුවේ ගැහැනිය හඳුන්වා දෙමිනි. ඇගේ මුහුණේ වූයේ බැගෑපත් ස්වරූපයකි. දිවා ආහාරයෙන් පසු මනාල යුවළ පිටත්ව යන්නට මත්තෙන් දියණිය සමඟ ආපසු යන්නට නිර්මලා තීන්දු කළාය. ජීවි'තයේ මුලවරට විදෙස් ගතවන්නට ලැබුණේ එයින් පසුවය. ගුවන් ප්‍රවේශ පත්‍රය ඇතුළු සියල්ල ලැබෙයි. ෂාරුක් ඛාන් හමුවන්නට ද බලාපොරොත්තුවක් ඇත. ඉන්දියානු චිත්‍රපටයක් ගැනත් කතාබහක් ද ඇතිවිණි. මානවීගේ ඇස් සතුටින් බැබළිණ. ගමනට ඇය එකඟ වූවාය. සුජිත් ගමේ ගොසිනි. සති කිහිපයක් යනතුරු ඔහු ආපසු නොඑයි. දුරකතනය ද ක්‍රියාවිරහිත කොට ඇත. ආවරන කලාපයෙන් බැහැර ගොසින් යැයි පැවසිණ. රට යන්නට සූදානම් වනුයේ නිරන්ජන් හා බිරිය සමඟය. නිර්මලා 'දෝණිගේ වාසනාව' යැයි සිතා ගත්තාය. මානවී ගුවන් තොටුපලට ගියේ කුලී රථයක් රැගෙනය. මෙයට පෙර ඇය එහි ගියේ එක් වතාවකි. ඒ අත්තම්මලා දඹදිව වන්දනාවේ යද්දී ඇරලවන්නට ගිය ගමනය. නිරන්ජන් සිය ඇඹේනිය සමඟ මුම්බායි වෙත ගියේය. ඔවුන් ගුවන් තොටුපල සිට ගමන් කළේ අලුත් නිවාස සංකීර්ණයකටය. එහි එක් දොරක් ඇරිණ. එහි සිටි වීරප්පෙරුම දැකීමෙන් මානවී පුදුමයට පත් විය. ' මානවි සර්ව දන්නව නේද' නිරන්ජන් පැවසුවාය. උපැස් යුවලත් සීරුවට පීරූ කොණ්ඩයත් පැහැදිලි කතාවත් වීරප්පෙරුමට ප්රතාපවත් පෙනුමක් එක් කළේය. රාත්‍රිය එළඹෙත්ම තමා නාඳුනන රටක උගුලකට හසුව ඇතිදැයි මානවී කල්පනා කළාය. නිරන්ජන් සිය බිරිය සමඟ වෙනතක ගියේය. මානවී නිවසේ සිට වට පිට බැලුවේය. 'මේක පුුදුම ලෝකයක් ළමයෝ. ද්‍රව්‍ය ලෝකෙයි අපායයි දෙකම එක තැන' වීදුරුව පිරෙන්නට අයිස් දාගත් වීරප්පෙරුම එයට විස්කි පිරෙන්නට සැලැසවූයේය. බිත්තියේ ඇති අඟල් 55 ටෙලිවිෂනයෙන් අක්ෂේ කුමාර් ජැකලයින් ෆර්ඩිනැන්ඩස්ට ආදර ගීතයක් ගැයුවේය. මානවීගේ ඇස දිව ගියේ බිත්තියේ එල්ලා තිබූ තම වයසේම රූමත් යුවතියකගේ ඡායාරූපයක් වෙතය. 'ඔය මගේ මිණිබිරි. එයා ස්ටේට්ස්වල ජර්නිලසම් ඩිග්රියක් කරනවා. ළඟදී බඳින්නයි හදන්නේ' මානවීගෙ ඇස ගැටුණු ඉසව්ව වටහා ගත වීරප්පෙරුම පැවසුවේය. ඔහු උන් තැනින් නැගිට එන වග ඡායාරූප වීදුරුවෙන් මානවීට පෙනිණ. 'අපට වැඩක් නෑ ළමයෝ ඕව. අපට ගැලපෙන කෙනෙක් නෙවි, සුද්දෙක් තමයි බඳින්න යන්නේ' මානවීගේ උරහිස මතින් වීදුරුව දෙතොලට ළං කල වීරප්පෙරුම පැවසුවේය. නාසය පුළුස්සා යන විලවුන් සුවඳක් මානවිට දැනිණ. පැන යන්නට උත්සාහ කරනවාට වඩා සිදුවන අත්දැකීම විඳ ගැනීම මැනවැයි ඇයට අවසාන මොහොතේ සිතිණ. 'මේ ගේ මගේ පුතාගේ. මානවී කැමති නම් මෙහෙ ඉන්න පුළුවන්' වියපත් වුවද ඔහු ශක්තිමත් බව මානවීට වැටහිණ. අතැති මධු බඳුන ඈ දෙතොල මත රඳවන්නට ඔහු සමත් විය. එය අවස්ථාවට කදිම ආරාධනාවක් විය. වයසින් අත්තාට සම වුව ද එමෙන් දුක් නොවිඳි මේ මිනිසා ඉදිරියේ දණ ගසන්නට මානවී අවනත වන්නට වග බලා ගත්තාය. එ දවස් කිහිපයේම මානවී වීරප්පෙරුම සමඟ ඇවිද්දාය. ජීවිතයේ කිසි කලෙක නුදුට සිහිනෙන් වත් නොසිකූ විලාසිතාවන් පිරි වෙළෙඳ සැල් කරා ඈ ඔහු සමග ගියාය. 'ඔය ළමයා ලංකාවට ගියාම බ්‍රිටිෂ් කවුන්සිල් එකට ගිහින් ඉංග්ලිෂ් කෝස් එකක් ෆලෝ කරන්න. මං වියදම් කරන්නම්' සේවිකාවක විසින් විලාසිතාවක මිම්ම ගැනීමේදී වීරප්පෙරුම පරිවර්තකයා විය. ඔහු ඒ බව පැවසුවේ එයින් පසුවය. මානවී හිස සැලුවාය. 'මාත් රිදී හැන්ද කටේ ගහන් ආපු කෙනෙක් නෙමෙයි ළමයෝ. හැබැයි මං මොන දේ කළත් තාමත් ඉගෙන ගන්නවා. ඔය ළමයාට ඉගෙන ගන්න පුළුවන්' වීරප්පෙරුම ගැන ගෙතුනු කට කතා මානවී සිතින් බැහැර කළාය. සාප්පු සංකීර්ණයේම සිනමාහලක් විය. වීරප්පෙරුම ඇය කැටුව ශාලාවට ගියේය. 'අමෙරිකාවේදී නරඹපු චිත්‍රපට පිළිබඳව ද ලන්ඩනයේදී නැරඹූ චිත්‍රපට පිළිබඳව ද, නාට්‍යය ද වීරප්පෙරුම ඒ අතරවාරයේ හෙළි කළේය. සිනමා ශාලාවෙන් පසු ආහාර වේලකි. එයට වීරප්පෙරුම වැය කලේ ලොකු මුදලකි. හැම වෙලාවෙම ගන්න කොට බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගන්න. විකුණන්න තියෙන ඩෙනිම් එක වගේ වුණාට දන්න එකා දන්නවා නියම ලෙවයිස් ඩෙනිම් මොනවද කියලා' සාප්පු සංකීර්ණයේ ප්‍රාඩා වෙළෙඳ නාමය පැහැදිලිව පෙණින. එදින සවස මානවී අම්මාට කතා කළාය. 'සුජිත් ඇවිල්ලා ගියා' ඈ ආරංචියක් පැවසුවාය. මානවීගේ ප්‍රතිචාරය දුබල එකක් විය.
මතු සම්බන්ධයි |