වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




මා චිත්‍රපට නිර්මාණය කරන්නේ ලාබ ඉපැයීමට නොවේ

මා චිත්‍රපට නිර්මාණය කරන්නේ ලාබ ඉපැයීමට නොවේ

සක්කාරං නිෂ්පාදක එච්. ඩී ප්‍රේමසිරි

ඓතිහාසික කතාපුවතක් ගෙන එන ‘සක්කාරං’ චිත්‍රපටය මේ දිනවල තිරගත කෙරෙන කා අතරත් කතාබහට ලක් වූ සිනමා නිර්මාණයකි. යටත් විජිත පාලන සමයේ කන්ද උඩරට දළඳා පෙරහැර වෙනුවෙන් නර්තනයේ යෙදෙන රාජකාරි ගමක් පසුබිම් කරගත් මෙම චිත්‍රපටයට පාදක වුණේ චම්මින්ද වෙලගෙදර විසින් රචිත ‘සක්කාරං’ නවකතාව ය. ඔහුගේ තිර රචනයට අනුව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ආචාර්ය ධර්මසේන පතිරාජ විසිනි.

‘සක්කාරං’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අපේ රටේ සුප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෙකු වන සරසවි ප්‍රකාශන සමාගමේ අධිපති එච්. ඩී ප්‍රේමසිරි. ‘බිත්ති හතර’ චිත්‍රපටය නිෂ්පාදනයෙන් සිනමා ලොවට පිවිස ඉන් අනතුරුව ‘පවන රළු විය’, ‘ආකාස කුසුම්’, ‘කුස පබා’, ‘Scilent in the Court  චිත්‍රපට ඔහු නිෂ්පාදන දායකත්වය ලබා දුන් අනෙකුත් නිර්මාණ වේ.

‘සක්කාරං’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අදහසක් ඇති වුණේ කොහොමද?

චම්මින්ද වෙළගෙදර රචනා කළ ‘සක්කාරං’ කෘතිය ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් කෘති පහ අතරට තේරුණා. ඒ නිසා මං පොත කියෙව්වා. එවිට මට ඒ කෘතියේ විශේෂත්වයක් දැනුණා. ඒ නිසා තිර පිටපත ලියන්න කෙනෙකුට භාර දෙන්න සූදානම් වුණත් අවසානයේදී චම්මින්දටම ඒ කටයුත්ත භාර දුන්නා.

නවකතාවකින් චිත්‍රපටයක් නිර්මාණයක් කිරීම යම් තරමක අභියෝගයක් නේද?

ඒක යම් තරමක අභියෝගයක් තමයි. මොකද අපි චිත්‍රපටය නිර්මාණය කරන විට ප්‍රේක්ෂකයා පොත කියවා තමන්ගේ හිත් තුළ චිත්ත රූප මවාගෙන අවසන්. නමුත් මට පොත ගැන ඇති වූ ආසාව ගොඩක් වැඩි වුණා. ඒ වගේම හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවශ්‍ය ගුණාංග ‘සක්කාරං’ කෘතියේ තිබෙන බව මට වැටහුණු දෙයක්. එක්දහස් අටසිය ගණන්වල කතාවක් නිසාත් ඒ වෙනුවෙන් වූ මගේ උනන්දුව තවත් වැඩි වුණා. මේ හේතු සියල්ලම එක් වූ තැන ‘සක්කාරං’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න මා තීරණය කළා.

අධ්‍යක්ෂණය වෙනුවෙන් ධර්මසේන පතිරාජ තෝරා ගන්නත් විශේෂ හේතුවක් තිබුණාද?

එහිදී අපි අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් ගැනම හිතුවා. පතිරාජ මහත්මයා යෝජනා කළේ චම්මින්ද. අන්තිමේදී අපේ තිරණය වුණේ පතිරාජ මහත්මයා. ඒ අනුව ‘සක්කාරං’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ කටයුත්ත ඔහුට භාරදෙන්න අපි තීරණය කළා.

‘සක්කාරං’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිිචාර කොහොමද?

‘සක්කාරං’ චිත්‍රපටය ගැන විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ඇතැම් අය හොඳ ප්‍රතිචාර දෙනවා. තවත් අය එතරම් මට්ටමක ඇවිත් නැති බවත් කියනවා. නවක අය නම් කතා කරනවා අඩුයි. විචාරක අදහස් අතර මිශ්‍ර ප්‍රතිඵල තියෙනවා. 

චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්න උනන්දුවක් ඇති වෙන්න බලපෑ හේතුවකුත් ඇති?

මට කුඩා කාලයේ පටන්ම චිත්‍රපට නරඹන්න තිබුණේ ලොකු ආසාවක්. ඒ කාලේ ජනප්‍රිය චිත්‍රපටයක් නරඹනවා කියන එක හරි අමාරු දෙයක්. එක සතියකට අනිවාර්යෙන් චිත්‍රපට තුනත්වත් නරඹනවා. අපි චිත්‍රපට බලන්න යන්නේ මහරගම නැෂනල් හෝල් එකට. මම යනකොට හෝල් එක පිරිලා. හිටගෙන චිත්‍රපට නැරඹු අවස්ථාත් ගොඩක් තියෙනවා.

තරුණ කාලයේදී සිනමාව වෙනුවෙන් වූ ආසාව තවත් වර්ධන වන විටදී ජී. ඩි. එල් මහත්මයාගේ කලා පෙළට පැමිණි තරුණ සිනමාකරුවන් හඳුනා ගන්නත් අවස්ථාව ලැබුණා. ඒ සමඟින් චිත්‍රපට කෙරෙහි උනන්දුව තව තවත් වැඩි වුණා. ඒ එක්කම සුගතපාල ද සිල්වාගේ කතාව ඇතුළත් ‘බිත්ති හතර’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අවස්ථාව ලැබුණා.

ඔබ මෙරට ප්‍රධාන පෙළේ ග්‍රන්ථ ප්‍රකාශකයෙක්. ඒ වගේම චිත්‍රපට නිෂ්පාදනයත් ලාබ ඉපයීම වෙනුවෙන්ම කරන්න අපහසුයි නේද?

පොත් ප්‍රකාශනය කියන්නේ ඇත්තටම අමාරු ව්‍යාපාරයක්. සාමාන්‍යයෙන් කෙනෙකුට කරගෙන යන්න අපහසු කටයුත්තක්. අපි ප්‍රකාශනයට අමතරව පොත් සාප්පු ජාලය නිසා ඒ අපහසුතාවය මඟ හැරිලා තියෙනවා. ඒ වගේම චිත්‍රපට නිර්මාණය කරන්නෙත් ලාබ ලැබීමේ අරමුණෙන්ම නෙවෙයි. හොඳ චිත්‍රපටයක් කරන්න ආසාව තියෙනවා. කලාත්මක චිත්‍රපටවලින් නම් කොහොමත් ලාබ උපයනවා කියන එක හිතන්න අමාරුයි. ඒ වුණත් කවුරුවත් පාඩු ලබන්න මොනවත් කරන්න කැමැති නැහැ. ඇතැම් අවස්ථාවල අපට අවශ්‍ය විදියටම චිත්‍රපටය කෙරෙන්නේ නැහැ. චිත්‍රපට නිෂ්පාදනය කියන්නේ ආර්ථික අතින් අමාරුවේ වැටීමක්. මේ දක්වා කළ නිර්මාණවලින් පොඩි ලාබයක් හරි ලැබුණේ ‘කුස’පබා’ චිත්‍රපටයෙන්. ඒ වුණත් මිනිස්සු ඇළුම් කරන දෙයක් කරන්න ආසාව හැමදාම තියෙනවා.

ඔබේ ටෙලි නාට්‍ය නිෂ්පාදනත් පුංචි තිරයේ විශේෂ තැනක් ගත්තා?

ටෙලි නිෂ්පාදනත් මම තනි නිෂ්පාදන විදියට කළේ නැහැ. ඒවා කිහිප දෙනෙක් එකතුවී කළ නිර්මාණ. ඒවා හැම එකක්ම වගේ ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගන්නත් සමත් වුණා. ‘ස්වයංජාත’, ‘අප්පච්චි’ වගේම මේ දිනවල විකාශය කෙරෙන ‘වන් වේ’ ටෙලි නිර්මාණටත් ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ටෙලි නිර්මාණ නම් පාඩු නැතුව සාර්ථකව කරගෙන යන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඒ වුණත් මගේ වැඩි කැමැත්ත තියෙන්නේ චිත්‍රපට නිෂ්පාදනයට තමයි.

වර්තමානයේදී දේශීය සිනමා කර්මාන්තය ගැන බොහෝ දෙනා නඟන්නේ මැසිවිලි. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙසින් ඔබට මේ තත්ත්වය දැනෙන්නේ කොහොමද?

අපේ දේශීය සිනමාව නම් හැම පැත්තෙන්ම කඩා වැටිලා තියෙන්නේ. චිත්‍රපට ශාලාවල ගැටළු වගේම නිර්මාණය කෙරෙන චිත්‍රපටවල ගුණාත්මකභාවය ගැනත් අද යහපත් තත්ත්වයක් දකින්න අමාරුයි. අලුත් අත්දැකීම් එක්ක චිත්‍රපට නිර්මාණය වුණේ නැති නම් මිනිස්සු චිත්‍රපට බලන්න එන්නේ නැහැ. ප්‍රේක්ෂකයා චිත්‍රපට බලන්නේ නැති තැන කර්මාන්තය කඩා වැටෙනවා. කර්මාන්තය සාර්ථක වෙන්න නම් ඒ තුළ අනෙකුත් සෑම අංශයක්ම දියුණු තත්ත්වයට පැමිණිය යුතු වෙනවා.

ඒවගේම චිත්‍රපට බෙදා හැරීම ඉතාම අසීරු කටයුත්තක්. ඒ අවස්ථාවට මුහුණ දෙන්න මම හරිම අකමැතියි. ‘සක්කාරං’ චිත්‍රපටය සමඟ ඒ අත්දැකීමේ අපහසුතාව තව තවත් වැඩියෙන් දැනුණා.

අද ගත්තොත් ඇතැම් චිත්‍රපට ශාලාවල චිත්‍රපට නරඹන්න වෙන්නේ හරිම අපහසුවෙන්. ශාලාවේ ආසනයේ සිට සෑම පහසුකමක්ම අවම මට්ටමට වැටිලා. ඇතැම් ශාලාවල පුස් ගඳ ඉවසන්න බැහැ. වායු සමීකරණය කරලා හොඳ තත්ත්වයක තිබුණොත් ප්‍රේක්ෂක ආකර්ශනය වැඩියි. මොකද චිත්‍රපටයක් බලන්න යන තැන තමන්ගේ ගෙදරට වඩා හොඳ තැනක් විය යුතුයි. එහෙම නැත්නම් මොකටද යන්නේ.

දැන් නවීන තාක්ෂණය එක්ක අපට බොහෝ දේ කළ හැකියි. ඩිජිටල් තාක්ෂණය අපේ චිත්‍රපට ශාලාවලට එනවා නම් චිත්‍රපට නිර්මාණකරණයට එතරම් මුදලක් වැය වෙන්නේ නැහැ. චිත්‍රපට රීල් වෙනුවෙන් අපට ලොකු මුදලක් වැය වෙනවා. නමුත් ඩීසීපී තාක්ෂණයට ගියොත් අපිට ඒ වියදම ගොඩක් අඩුකර ගන්න පුළුවන්. නමුත් දැන් ගැටළුව වෙලා තියෙන්නේ ඒ වෙනුවෙන් චිත්‍රපට ශාලා නවීකරණය විශාල මුදලක් වැයවීමයි. ඒ මූලික වියදම කොහොම හරි දරාගෙන වැඩ කටයුතු කළොත් නිෂ්පාදකයාට ලොකු පහසුවක් ඇති වෙනවා.

ඉදිරියේදී එළිදකින්න තවත් නිර්මාණ ඇති නේද?

කිහිපයක් ගැන බලාපොරොත්තු නම් තියෙනවා. ඒවාට මොන තත්ත්වයක් උදාවේවිද කියලා නම් කියන්න අපහසුයි. දැනටත් චිත්‍රපට කිහිපයකටම සහය වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණත් ඔබ හමුවට පැමිණේවි.