|
දෙහි කැපූ සභාපතිගෙන් උසස්වීමක්
1975 වසර මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා දෙකක් සනිටුහන් විය. එකක් නම් මගේ විවාහයයි. දෙවැන්න නම් මගේ පොත් පිට කවර ප්‍රදර්ශනයක් පැවැත්වීමට දුර්ලභ අවස්්ථාවක් උදාවීමය. හිරිමල් තරුණ වයසේ සිටි මට මේ අවස්ථාව ලබා දුන්නේ කීර්තිමත් සිවිල් නිලධාරියකුව සිටි ලීල් ගුණසේකර මහතාය. ඒ මහතා කෑගල්ලේ මහා දිසාපති වශයෙන් කටයුතු කළ කාලේ කලාවට ඉමහත් සේවය කළ බව පුවත්පත්වලින් අපට දැකගන්නට ලැබිණ. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකව සිටියදී පොදුවේ කලාකරුවන්ට කළ සුවිශේෂ මෙහෙය ගැන ප්‍රවීණ කලාකරුවන් අගය කරමින් කතා කරනු ද අසා තිබුණි. එකල ඒ මහතා කඩවසම් තරුණයකු ලෙස ද සෙසු සිවිල් නිලධාරීන් අතර කැපී පෙනුණි. 'රන්ජිත් හෙට උදේ 10 ට විතර මගේ කන්තෝරුවට එන්න. ලීල් ගුණසේකර මහත්තයට පොත් කවරයක් ඇඳගන්න තියෙනවා'. දිනක් කේ. ජයතිලක මහතා මට කීය. ලීල් ගුණසේකර මහතා මා වඩාත් අගය කළ ලේඛකයෙකි. ඔහු ලියූ පෙත්සම නවකතාව කිය වූ මම එයින් ලද ආස්වාදය කොතරම්දැයි කිවහොත් එහි පිට කවරය (1961 එහි මුද්‍රණය පිට වූ අලුත) මගේ ඩ්‍රෝවින් පොතේ ඇන්දෙමි. මට පෙත්සම නවකතාවේ දෙවන මුද්‍රණයේ පිට කවරය ඇඳීමට අවස්ථාව ලැබිණ. එදා (1974 වසරේ) කේ. ජයතිලක මහතාගේ ප්‍රදීප ප්‍රකාශන ආයතනයේදී හැඳිනගත් ලීල් ගුණසේකර මහතා මට කෙතරම් සමීප වී ද යත් නිතර එතුමා හමුවීමට හැකි විය. එකල ඔහු පාර්ලිමේන්තු හා පාර්ලිමේන්තු හා පුනරුත්ථාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස සේවය කළේය. කොළඹ 07 බුලර්ස් පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයට නිතර ගිය මට වැටහුණේ 1971 තරුණ අරගල භීෂණ සමයේ පුනරුත්ථාපන සඳහා භාරව සිටි තරුණ තරුණියන්ට එතුමා දැක් වූ මානව හිතවාදී, සෙනෙහෙබර දයාවයි. 'ලීල් ගුණසේකරලා දහ දෙනෙක් හිටියා නම් මුළු ලංකාවටම ඇති. හොඳට වැඩ කෙරේවි' කවුදෝ ඇමති කෙනෙක් කියා තිබෙනු මා අසා තිබුණි. 'රංජිත් දැන් පොත් කවර කීයක් ඇඳලා තියෙනවාද?' දිනක් ලීල් මහතා මගෙන් ඇසීය. '99 ක් විතර. ළඟදීම ඇන්දේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ 'බවතරණය' පොතේ කවරය' මම කීවෙමි. 'හොඳයි කවද්ද? සියවැනි පොත් කවරය ඇඳෙන්නේ?' 'මගේ 100 කවරය ඒ. වී. සුරවීර මහත්තයාගේ 'නොයන් පුතුනි ගම හැරදා'. ඒක ලේක්හවුස් පබ්ලිකේෂන් එකට භාර දෙන්න තියෙනවා'. 'අපි පොත් කවර 100 ක් එකතු කරලා ප්‍රදර්ශනයක් කරමු'. 'අපෝ සර් . . . ඒක ලොකු වැඩක්නේ. මම වගේ පුංචි මිනිහෙක් එහෙම එකක් කරන එක හරිද? තවම ජී. එස්. ප්‍රනාන්දු මාස්ටර්, ගෞතමදාස මාස්ටර්, සේකර මහත්තයවත් ඒ වගේ ප්‍රදර්ශනයක් තියලා නැහැ'. 'මම සේරම සංවිධානය කරන්නම්, රන්ජිත් අනිද්දා හවස අපේ ගෙදර එන්න.' එදා හවස මම තිඹිරිගස්යායේ අශෝකාරාමය යාබද පිහිටි ලීල් මහතාගේ නිවසට ගියෙමි. එතැන රැස්වීමකි. එය සිංහල ලේඛක සංවිධානයේ එකකි. ලීල් මහතා එහි සභාපතිවරයාය. ඔහු සභාවේ සැමට මාව හඳුන්වා දුන්නේය. 'අපි ඒකමතිකව තීරණය කළා රන්ජිත්ගේ පොත් කවර ප්‍රදර්ශනය කරන්න.' උප සභාපති සාහිත්‍යාචාර්ය කේ. ජී. පෙරේරා මහතා කීවේය. ඔහු ගුරු අභ්‍යාස විද්‍යාලයක සිංහල කථිකාචාර්යවරයෙකි. අහුන්ගල්ලේ අරුණතිලක, ආචාර්ය පී. බී. සන්නස්ගල, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න යන මහතුන් එහි සිටියා මට මතකය. පොත් ප්‍රදර්ශනයට අවශ්‍ය ආරාධනා හා පුංචි සමරු කලාපයක් තාත්තා තම මුද්‍රණාලයෙන් මුද්‍රණය කර දුන්නේය. මුලින්ම මම ආරාධනා කළේ මාර්ටින් වික්‍රමසිංහ මහතාටය. මා පොත් කවර අඳින ලද සියලුම ලේඛක ලේඛිකාවන්ට ද ආරාධනා කළෙමි. සමරු පොත් කවරය ප්‍රවීණ චිත්‍ර ශිල්පී පියරත්න හේවාබැට්ටගේ ඇඳ දුන්නේය. ප්‍රදර්ශනය පැවැත් වූයේ සමුද්‍රා කලාගාරයේය. අද එතැන ටාජ් සමුද්‍රා හෝටලය ඉදි වී ඇත. එහෙත් එදා මගේ ප්‍රදර්ශනය තිබූ ගොඩනැගිල්ල තවමත් එහි තිබේ. සමුද්‍රා කලාගාරයේ මගේ චිත්‍ර එල්ලමින් හැඩ වැඩ කළේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සරත් සූරසේනය. අපේ සහායට මගේ ආනන්දයේ පන්ති සගයා මිත්‍ර රංජිත් ලාල් ද (නිම්වලල්ලේ අධ්‍යක්ෂ) සිටියේය. අද මේ දෙදෙනාම ජීවිතයෙන් සමුගෙනය. 1975 ජනවාරි 28 වෙනිදා පැවති මේ ප්‍රදර්ශනය විවෘත කළේ සංචාරක හා නාවික කටයුතු ඇමති පී. බී. ජී. කළුගල්ල මහතාට ද, ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ධර්මසිරි සේනානායක (හිටපු අමාත්‍ය) මහතාට ද ආරාධනය කළේ ලීල් මහතාය. පොල්තෙල් පහන් දැල්වීමට ඔවුන් සමඟ මාර්ටින් වික්‍රමසිංහ මහතා, ජෝතියසේන වික්‍රමසිංහ (හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ හා චිත්‍රපට කොමිසමේ සභාපති) ද එඩ්වින් ආරියදාස මහතා ද එක් වූහ. එදා මගේ ජීවිතයේ අමරණීය දිනයකි. ලංකාවේ සියලුම ප්‍රවිණ ලේඛක ලේඛිකාවන් සියල්ලම පාහේ පැමිණ සිටියෝය. ඈත සිට මේ අවස්ථා බලා සිටි තාත්තාගේ දෙනෙත් සතුටු කඳුළින් තෙත් වනු මම විදුලි එළියෙන් දුටුවෙමි. එදා සිදු වූ විශේෂ සිද්ධිය නම් සාහිත්‍ය මතවාද නිසා විරසකව සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා හා ආචාර්ය විමල් දිසානායක වසර කීපයකට පසු කතා කිරීමය. ප්‍රදර්ශනය විවෘතවීමෙන් පසු මාර්ටින් වික්‍රමසිංහ මහතා සමුද්‍රා හෝටලයේ විමල් දිසානායක ඇතුළු පිරිසකට තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය. කේ. ජයතිලක, ඒ. වී. සුරවීර, ගුණදාස අමරසේකර මේ සංග්‍රහයට සහභාගි වූහ. 1975 ජනවාරි මස මුල මා දමයන්ති ජයසූරිය (ගායන ශිල්පිනී) සමඟ විවාහ ගිවිස ගෙන සිටි නිසා ඇය ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතුවල මූලිකත්වය ගත්තාය. අප විවාහ වූයේ එම වසරේ මැයි මස අගදීය. ප්‍රදර්ශනයේ දෙවන හා තුන්වන දිනවල ආර්. ප්‍රේමදාස මහතා ද, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග ද පැමිණ මට සුභ පැතූහ. මම ගාමිණීට දමයන්ති හඳුන්වා දුනිමි. 'රන්ජිත් මම නිසා චිත්‍රපට සංස්ථාවේ ජොබ් එක නැති වුණාට තැවෙන්න එපා. මා නිසා හොඳ බිරිඳක් ලැබිලා තියෙනවා' ගාමිණී සුබ පතමින් කීවේ සිනාසෙමිනි. 1970 වසරේ සරසවිය සම්මාන උලෙළ පැවැත්වූවාට පසු ලේක්හවුස් හි සභාපති රංජිත් විජයවර්ධන මහතා 1973 තෙක් තෙවසරක්ම එය නවතා දැම්මේය. 1973 ලේක්හවුසිය රජයට පවරා ගත් පසු 1977 වනතුරු ද එම පාලන අධිකාරිය මෙම සම්මාන උලෙළ පැවැත්වීමට උත්සුක නොවීය. කෙසේ වුව ද සරසවිය කර්තෘ මෙම උලෙළ පැවැත්වීමට නොගත් උත්සාහයක් නැත. නව පාලක මණ්ඩලය එ. ජා. ප.යට වැඩ කළ ගාමිණී ෆොන්සේකාගේ ඡයාරූප හා විශේෂාංග ලිවීම සඳහා වාරණය පැනවීය. එසේ වුවත් ගාමිණීගේ ජනප්‍රියත්වය නම් අඹ මල් රේණුවක තරම්වත් අඩු නොවීය. එය එන්න එන්නම වැඩි විය. මේ කාලයේ තිරගත වූ ගාමිණී රඟපෑ සදහටම ඔබ මගේ - හොඳයි නරකයි - හොඳට හොඳයි - කස්තුරි සුවඳ - ඔන්න බබෝ බිල්ලෝ එනවා - සැණකෙළිය - හිත හොඳ මිනිහෙක් - රත්තරං අම්මා - ආවා සොයා ආදරේ - සිරිල් මල්ලී චිත්‍රපටවලට පැල් බැඳගෙන ප්‍රේක්ෂකයෝ ඇදී ආහ. අජිත් තිලකසේනගේ අදහස් අලළා 'කලාවයි හුදෙකලාවයි' නම් පොත් පිංච නිසා ලැබුණු පෙත්සමක් නිසා මට දෙහි කැපූ ලේක්හවුස් සභාපති ඒ. කේ. ප්‍රේමදාස මහතා යළිත් තමා හමුවෙන්නයි කාර්යාල සහායක පේද්‍රික් අතේ පණිවුඩයක් එවා තිබුණි. ඔහු කෙළින්ම ආවේ මා හමුවන්නට නොව සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා හමුවීමටය. 'අන්න රංජිත්ට චෙයාමන් කතා කරනවා' විමලසිරි මහතා කීවේ සිනාසෙමිනි'. මේ කියන සිද්ධියට දෙදිනකට පෙර ඊඩඥ ඉභදඤචර ර්‍ණඡඵඥපමඥප පත්‍රයේ මා ගැනත් මගේ පොත් කවර නිර්මාණ ගැනත් විශේෂාංගයක් ජ්චජඥඵ ඪද බඩඥ ඒපබඵ යටතේ පළ වී තිබුණි. එය ලියා තිබුණේ අජිත් සමරනායක නම් නවක පුවත්පත් කලාවේදියාය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනීමෙන් පසු අජිත් ලේක්හවුසියට බැඳුණු අලුතය. ඒ සාහිත්‍ය කලාව ගැන ඔහු ලියූ ලිපි මාලවේ 07 වන ලිපිය සඳහා මා තෝරා ගත්තේ මගේ පොත් කවර ප්‍රදර්ශනය නැරඹීමට ඔහු පැමිණි නිසාය. අජිත්ගේ ලිපියේ ශීර්ෂ පාඨය වූයේ ඕපචමඥ, ඡචදදඥප ධට ච දඥඹ ඡභධරචදබ තඪබඥපචබභපඥ. මේ ලිපිය කිය වූ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා කී දෙයක් මට සිහිපත් වෙයි. 'අයිසේ අජිත්ගේ ඉංග්‍රීසි හරිම ඉහළයි. රෙජී සිරිවර්ධන, ඒ. ජේ. ගුණවර්ධන තරම්ම විශිෂ්ටයි' කියාය. එවැනි පසුබිමක් යටතේ මම චකිතයකින් යුතුව සභාපති ප්‍රේමදාස මහතාගේ කාමරයට ගියෙමි. 'තමාට මම මෙහෙම එන්න කිව්වේ මොකද කියලා දන්නවද?' 'නෑ සර් . . .' 'විමලසිරි කීවේ නැද්ද?' 'නැහැ සර්' 'තමා ගැන ඊයේ ඔබ්සර්වර් පත්තරේ ආටිකල් එකක් තිබුණා නේද?' 'ඔව් සර්' 'තමා ජර්නලිස්ට් කෙනෙක් වගේම ආටිස්ට් කෙනෙක්' 'දෙකම ටික ටික කරනවා සර්' 'කවුද? තමා ගැන 'ඔබ්සර්වර්' පත්‍රයේ ලියලා තිබුණේ?' 'අජිත් සමරනායක' 'එහෙම නමක් තිබුණේ නෑ.' සභාපතිතුමා පත්‍රයේ පිටුවක් පෙරළමින් කීය. 'එයා අසේල කියන පෙන් නේම් එකෙන් ලියලා තියෙන්නේ' 'එයා තමුන්ගේ යාළුවෙක්ද?' 'ඔව්. ටිකක්' 'එහෙම නං යාළුකමට ලියනවා ඇති' 'අනේ නෑ සර්' 'වෙන කවුද තමා ගැන ලියලා තියෙන්නේ' 'මිස්ටර් එඩ්වින් ආරියදාස' 'යාළුකමට මේවා ලියනවා ඇති' 'නැහැ, මම අඳින පොත් කවර ගැනයි ලියලා තිබුණේ. මට වඩා . . .' සභාපතිතුමා මුල්වරට සිනාවක් මුහුණට ආරූඪ කර ගත්තේය. 'තමා ගැන විමලසිරි මට කිව්වා. තමාට මම උසස්වීමක් දෙනවා. තමා යූ. ඇන්. පී. කාරයෙක් බවත් අපි දන්නවා. හැබැයි තමුන්ට මේකේ ඇතුළේ දේශපාලනය කරන්න බැහැ' 'ඔව් සර්' 'තමා අනාගතයක් ඇති තරුණයෙක්. ඒ නිසයි අපි උදව් කරන්නේ' 'ඔව් සර්' 'තමා ඉගෙන ගත්තේ මොන පාසලේද?' 'ආනන්දේ' ඔහුත් ආදි ආනන්දියෙක් නිසා දෝ අමුතු සිනාවක් මුවට නඟා ගත්තේය. 'තමා කරුණාරත්න සපුතන්ත්‍රි දන්නවද?' 'ඔව්' 'ඒ වගේ දක්ෂ ජර්නලිස්ට්ි කෙනෙක් වෙන්න තමා හිතට ගන්න ඕනෑ. දැන් යන්න පුළුවනි' 'තෑන්ක් යූ වෙරි මච් සර්' මගේ මිතුරු කරුණාරත්න සපුතන්ත්‍රි එකල 'සිළුමිණ' කර්තෘ මණ්ඩලයේ සේවය කළේය. එකල ලේක්හවුසියේ පුවත්පත් කලාවේදීන් ලියන විශේෂාංග හා ප්‍රවෘත්ති (ව්ඥඹඵ ඉබධපර) සලකා බලා මසකට වරක් ඩී. ආර්. විජයවර්ධන ත්‍යාගය පිරිනමන ලදී. මේ ත්‍යාගය වැඩි වාර ගණනක් දිනා ගත්තේ සපුතන්ත්‍රිය. මේ කාරණා සලකා බලා ලේක්හවුසියේ හොඳම පුවත්පත් කලාවේදියා සපුතන්ත්‍රි යයි සභාපතිතුමා උප කල්පනය කරන්නට ඇති. කෙසේ වෙතත් මට උසස්වීම ලබාදීම ගැන ඒ. කේ. ප්‍රේමදාස මහතාටත්, විමලසිරි පෙරේරා ප්‍රධාන කතුවරයාටත් මගේ කෘතඥතාව හිමි විය යුතුය. |