වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




දෙහි කැපූ සභාපතිගෙන් උසස්වීමක්

සුමිගෙන් අහන්න

 

ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි

ප්‍රශ්නය - ඩබ්ලිව්. ඒ. සිල්වාගේ 'කැලෑහඳ නැවත චිත්‍රපටගත කිරීමේ අයිතිය ඇත්තේ කාටද?

පිළිතුර - මනුවර්ණ වික්‍රමසිංහ නමැති මහතෙකුට බව පැවසෙනවා. ඔහුට ඒ අයිතිය පවරා ඇත්තේ බී. ඒ. ඩබ්ලිව. ජයමාන්න පවුලේ අය බවත් කියැවෙනවා.

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - 'ඇස ප්‍රීති කරන රූපා' නම් වූ ගීය පැරණි නූර්ති ගීයක්ද? එසේ නම් ඒ නූර්ති නාටකය කුමක්ද?

පිළිතුර - ඔව්. එය පී. ටි. ජී. ප්‍රේමචන්ද්‍රගේ 'මානාභරණ' නාට්‍යයේ ආ ගීතයක්.

වටරැක නිමල් හෙට්ටිගේ

ප්‍රශ්නය - වික්ටර් රත්නායක ගයන 'පාවේ වලා ඈත කඳු බලා' ගීතය ලීවේ ප්‍රේමකීර්ති ද අල්විස්ද?

පිළිතුර - නැහැ. ඔහු මීගොඩ විල්සන්. ඔහු වෘත්තීය ගීත රචකයෙක් නෙවේ. සාමාන්‍ය කෙනෙක්.

නිට්ටඹුවේ මධුෂි කන්නන්ගර

ප්‍රශ්නය - ලේඛකයන්ගේ නමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ නම්කර තිබෙනවාද?

පිළිතුර - කීපයක් තිබෙනවා. ජැමෙයිකාවෙ ඉයන් ෆ්ලෙමින්ග් ඉන්ටර් නැෂනල් එයාර් පෝට් ඉන් එකක්. ඉයන් ෆ්ලෙමින්ග් සුප්‍රකට රහස් පරික්ෂක නවකතා රචකයෙක්.

මඩපාත අනුලා විජේවර්ධන

ප්‍රශ්නය - තිස්ස අබේසේකරගේ 'මංමුලා වැල්' චිත‍්‍රපටයට විදෙස් චිත්‍රපටයක කතාවක් පාදක වුණද?

පිළිතුර - ජෝන් බෝමන්ගේ 'ඩෙලිවරන්ස්' නමැති චිත්‍රපටය ඊට පාදක වූ බව ඇතැමුන් කියා තිබෙනවා. ජෝන් වොයිට් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා.

වස්කඩුව දෙදියල ගාමිණි ගුණතිලක

ප්‍රශ්නය - 'සුරයා' චිත්‍රපටයේ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න පික්පොකට් ගසා දුව යද්දී පොලීසිය ලුහුබඳින දර්ශනය රූපගත කළේ කොළඹ නගරයේද?

පිළිතුර - නැහැ. දකුණු ඉන්දියාවේ ඉදි කළ දර්ශන තලයකදී.

ජාඇළ වැල්ලම්පිටිය කෙනත් පෙරේරා

ප්‍රශ්නය - 'ක්ෂේම භූමි' චිත්‍රපටය තිරගත වූ වර්ෂය කුමක්ද?

පිළිතුර - 2010.

පානදුර ජයන්ත ධර්මසේන

ප්‍රශ්නය - 'බ්‍රහ්මචාරි' හින්දි චිත්‍රපටය පිළිබඳ තොරතුරු ටිකක් කියන්න?

පිළිතුර - බප්පි සෝනි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ශම්මි කපූර්, රාජ්ශ්‍රී, ප්‍රාන්, මුම්ටාස්, අසිත් සෙන් රඟපෑවා සංගීතවවත් කළේ ශන්කර් ජායිකිෂන්. 1968 දී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. ලංකාවෙත් මෙය ඉතාමත් ජනප්‍රිය වුණා.

මාතර ප්‍රේමසිරි නාරසිංහ

ප්‍රශ්නය - ඩී. බී. ධනපාලගේ බිරිඳ රති ධනපාල මහත්මිය චිත්‍රපටවල රඟපා තිබේද?

පිළිතුර - නැහැ. ඇය චිත්‍ර ශිල්පිනියක් වූවා පමණයි.

නක්කාවත්තේ කමල් ප්‍රියන්ත ජයසිංහ

ප්‍රශ්නය - නදීකා ගුණසේකර හොඳම නිළිය සඳහා 'සරසවිය' සම්මාන ලැබුවේ කුමන චිත්‍රපටයටද?

පිළිතුර - ඇය හොඳම නිළිය වෙලා නැහැ. නමුත් හොඳම සහාය නිළිය වෙලා තියෙනවා 'චායා' චිත්‍රපටයේ රඟපෑම් උදෙසා. එමෙන්ම නැඟී එන නිළිය සම්මානයත් ඈ දිනා ගත්තා.

කළුබෝවිල ආසිරි මාවතේ ඇල්. ඇම්. පේ‍්‍රමසේන පෙරේරා

ප්‍රශ්නය - චිත්‍රපටයක නිර්මාතෘ අධ්‍යක්ෂ ද? කැමරා ශිල්පියා ද? සංස්කාරකවරයාද?

පිළිතුර - නිසැක වශයෙන් අධ්‍යක්ෂවරයා.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. ලින්දර කේ. ආර්. උපාලි, නැදිමාලේ කේ. ඩී. කරුණරත්න, ගම්පොළ විරාජ් දිමිත්‍රි ප්‍රනාන්දු, නොච්චියාගම ජී. වීරසිංහ, උණවටුන කල්‍යාන ජයනෙත්ති, ගාල්ල විජය ගලප්පත්ති, වාද්දුව නෙළුම් ද සිල්වා, මාවනැල්ල උපාලි අමරසිංහ, මහවැව නන්දා ලියනගේ, උඩ පේරාදෙණියේ එම්. සගායම්, මීගමුවේ සුදත් නිශාන්ත, පොළොන්නරුව හේමන්ත බණ්ඩාර.