වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




FunMusic
මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකිය

FunMusic

 

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

කතරක දුරක් හිතකට දුර නැතේයා


සිත හංකිති කැවුණා
ඔබේ ආදර හිනාවට
මුදු හසරැලි පිපුණා
හද ළෙංගතු සෙනේහට
මතු ජීවිතේ දිවි තිබෙන තුරාව
මගෙ පෙමවතා ඔබයි හිමියනි
සසරේ පුරාවට

කතරක දුරක් හිතකට දුර නැතේයා
කොතැනක ගියත් සිත ඔබ ළඟ රැඳේයා
රන් සළු කුමට ඔබෙ සෙනෙහස අගේයා
හදට හදක් යාවුණෙ පැතු ලෙසේයා

නෙත් යුග වගේ දූවරු වාසනාවට
මා ලද තිළිණ වේ පුද කළ සෙනේහට
දිවිය කැපයි ඔබෙ අමිල වූ දයාව
ඔබ ළඟ රැඳෙමි හිමියනි දිවි තුරාවට
 

ගායනය - පේෂලා වික්‍රමසිංහ

පද රචනය - ඇන්ටන් ජේ. ප්‍රනානීදු

සංගීතය - රංජිත් ඩයස්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - මෙවන් ලියනගේ

මෙම ගීතය ගයන පේෂලා වර්තමානයෙදී පදිංචිව සිටින්නේ ඩුබායිවල. ඇය වරින් වර ලංකාවට පැමිණෙනවා සංගීත කටයුතු වෙනුවෙන්. මේ පේෂලාගේ පළමුවැනි මියුසික් වීඩියෝව. ඇය එරට සංගීත ප්‍රසංග සඳහා ද සහභාගි වෙනවා කියලා අපිට කිව්වා. දින දෙකක් පුරා ජාඇල ඒකල අවට මෙහි මියුසික් වීඩියෝව රූගත කොට තිබෙනවා. රූගත කිරීම් අතරතුර වෙනත් ආහාරපාන වෙනුවට වැඩිපුර කේක් ලැබුණා කියලයි ආරංචිය. මොකද පේෂලාගේ පළමු වීඩියෝව හින්දා එහි සතුටට ඇය මෙහෙම කේක් දුන්නලු. කොහොම හරි මෙම වීඩියෝව සඳහා මේ වන විට රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවලු. යූ ටියුබ් හරහා පේෂලාගේ මෙම ගීතය රස විඳීමට හැකියාව තිබෙනවා.

 

නපුරුකම් ඔබ කළත් ආදරෙයි හැමදාම

මට මගෙ වුණු ඔබවත් අහිමි වෙලා
ආදරේ දුන් හිත ඇයි වෙනස් වෙලා
නපුරුකම් ඔබ කළත්
ආදරෙයි හැමදාම

නොමියෙනා සෙනෙහස ලයේ
ඔබ ගැනම තමා
පසුපසම හැම ආත්මයේ
ඒවි ඔබව සොයා
කොහොම ඉන්නද මං අනේ
ඔබව නොබලා
මගේ සෙනේ සිහි වුණොත් ඒවි යළි සොයලා

මේතරම දුර මා ගෙනත්
මගෙන් ඔබ හැරුණා
දුක මගේ උරුමය වෙලා
ඔබට නොව කිසිදා
කොහොම ඉන්නද . . .
 

ගායනය - ඉසුරු උමේෂාන්

පද රචනය - සත්සර කසුන් පතිරණ

සංගීතය - දුලිප් මිරැන්ඩෝ

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - සත්සර කසුන් පතිරණ

ඉසුරු උමේෂාන්ගේ ගම පොලොන්නරුව. සත්සරගේ හඳුනා ගැනීමෙන් පසු සංගීත ලොවට අවතීර්ණ වූ ඔහුගේ දෙවැනි ගීතය මෙය වේ. හලාවත ප්‍රදේශයේදී මෙය රූගත කොට ඇත. වීඩියෝවේ රඟපාන ශෂි ඇන්ජලිනාගේ උපන් දිනය යෙදී තිබුණේ මෙහි රූගත කිරීම් තිබූ දිනයේය. එහිදී ඉසුරු ඇතුළු කණ්ඩායම ඇයට සර්ප්‍රයිස් පාර්ටි එකක් දීලා තියෙනවා. ඉසුරු මේ වන විට වාදන ශිල්පියකු ලෙස ප්‍රසංගවලට සහභාගි වෙනවා.