වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




පණ පිටින් එල්ලුම් ගස් ගිය ස්ටැන්ලි මාස්ටර්
ටවර්හෝල් රගංන ශිල්පීන් අතර සිටි ජ්‍යෙෂ්ඨතමයා වූ ජී. එච්. ස්ටැන්ලි මාස්ටර් පසුගියදා අභාවප්‍රාප්ත විය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි

පණ පිටින් එල්ලුම් ගස් ගිය ස්ටැන්ලි මාස්ටර්

ටවර්හෝල් නිර්මාතෘ හෙන්ද්‍රික් සෙනෙවිරත්න අප්පුහාමිගේ පුත් එඩ්මන්ඩ් සෙනෙවිරත්නගේ ප්‍රිය දියණියගේ ස්වාමි පුරුෂයා වූයේ නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්ය. ඔහුගේ සහ එඩ්මන්ඩ් සෙනෙවිරත්නගේ පාලනය යටතේ පැවැති ටවර් වේදිකා පරිපාලක මෙන්ම රංගන ශිල්පියෙකු ද ලෙස කටයුතු කළ ජී. එච්. ලෝරන්ස් අප්පුහාමිට දාව, 1924 පෙබරවාරි 21 දින මෙලොව එළිය දුටු බිලිඳෙකි. ගනේගොඩ හපුතන්ත්‍රිගේ ස්ටැන්ලි පෙරේරා හෙවත් ජී. එච්. ස්ටැන්ලි මාස්ටර් ටවර් නාට්‍ය ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ප්‍රදර්ශනය වූ 'සිවම්මා ධනපාල' නාට්‍යයේ පොඩි ධනපාලගේ චරිතය නිරූපණය කළ, ඉමහත් කීර්තියට පත් ජී. එච්. පොඩි අප්පුහාමි මොහුගේ බාප්පා වූයේය. එසේම 'ජේතවනාරාමේ' නම් ජනප්‍රිය ග්‍රැමෆෝන් ගීතය ගායනා කර ඇත්තේ මොහුගේ නැන්දාගේ පුත් ඇලන් රත්නායකයි.

පියාගේ සහ බාප්පලාගේ මඟ යමින් පුංචි ස්ටැන්ලි යන්තම් බහ තෝරන වියේදීම එනම් 1929 මැයි මස 22 දා ටවර් රංග ශාලවේ ප්‍රදර්ශනය වූ 'පදමානවක' නාට්‍යයේ පොඩි කුමාරයා ලෙස රඟපාමින් සිය රංගන දිවියට අත්පොත් තැබුවේය. පදමානවක රඟපෑමෙන් පස්සේ ආර්ය සංහල නාට්‍ය සභාවෙන් නිෂ්පාදනය කරපු නාට්‍ය නරඹන්න එන ප්‍රභූවරන්ට මල්මාලා දාලා ගීතයක් ගායනා කරලා පිළිගැනීමේ කාර්යයට මාව යොදා ගත්තා. 'තේජසින් විරාජමාන ජී.බී. ජයතිලක මැතිඳා / ඒ. ඊ. ගුණසිංහ මැතිඳා / ප්‍රැන්සිස් මොලමුරේ මැතිඳා' ආදී වශයෙන් එකම පිළිගැනීමේ ගීිතයේ ප්‍රභූවරයාගේ නම පමණක් වෙනස් වුණා. ඒ වෙනුවෙන් මට සිලිං පහක් ලැබුණත් ටවර් ශාලා සංවිධායකවරුන්ට එය නැවත මා දිය යුතුව තිබුණා.

ස්ටැන්ලි මාස්ටර් සිය මතක පොතේ පිටු පෙරළුවේ එලෙසයි. සිරිසේන විමලවීරයන්ගේ 'හෙළදිව පුරඟන' නාට්‍යයේ (1941) ළමා චරිතයට පණ පෙවූ ස්ටැන්ලි දරුවා, මද්දුම බණ්ඩාර. ජාලිය, පොඩි දුටුගැමුණු, පොඩි මහෞෂධ ආදී එවක ටවර් රඟහලේ වේදිකා ගත වුණු නුර්ති නාටක බොහොමයක ළමා චරිත රඟන නළුවා ලෙස කීර්තියක් ඉසිලීය. ඔහුගේ වැඩිමහල් චරිත රඟපෑවේ එන්. රොම්ලස් ද සිල්වා, ටී. වී. ඇඩ්වින් පෙරේරා, ටී. එල්. සිමියොන් සිල්වා, ඩබ්ලිව්. සිල්වෙස්ටර් මාස්ටර්, ඩබ්ලිව්. ජෝන් පෙරේරා, ටී. විල්බට් පෙරේරා වැනි ටවර් යුගය බැබළ වූ නළුවන්ය. එසේම නිළි චරිත රඟපෑ ලක්ෂ්මී බායි, සුසිලා ජයසිංහ, විමලා කාන්තා, ඇනී බොතේජු, සෝමා කාන්තා වැනි ටවර් යුගයේ නම් දැරූ නිළියන්ව ද පසුව එක් වූ ෆ්ලෝරා දේවි, සකුන්තලා ආදීන්ව ද හෙතෙම නිතර ගෞරවයෙන් සිහිපත් කළේය.

'ඒ කාලේ වැඩිමනත් නාට්‍යවලට සර්පිනා වාදනය කළේ කේ. ඩී. නිකලස් පෙරේරා. ඒ වගේම සාදිරිස් මාස්ටර් (ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ පියා), බී. එඩී ද සිල්වා මාස්ටර් (එඩී ජූනියර්ගේ පියා), එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් වගේ අයයි. පළමුව නාට්‍ය සංගීතය මෙහෙය වූ මේ අය පසු කාලයක ගීත තැටිගත කර ග්‍රැමෆෝන් යුගයක් බිහි කළා. මුලින්ම සිරිසඟබෝ නාට්‍යයේ දන්නෝ බුදුන්ගේ ගීතය තැටියකට ගායනා කළේ එච්. ඒ ලෝරන්ස් පෙරේරා. පොඩි කුමාර චරිත රඟපෑවට පස්සේ වැඩිහිටි චරිත රඟපෑමට පෙර අතරතුර කාලයේ මම එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සහ බී. එඩී ද සිල්වා මාස්ටර් යටතේ තබ්ලා වාදනය හදාරලා නාට්‍යවල සංගීත කණ්ඩායමේ නිත්‍ය තබ්ලා වාදකයකු ලෙස කටයතු කළා.'

හත්වනි ශ්‍රේණිය දක්වා පාසැල් අධ්‍යාපනය හැදෑරූ ස්ටැන්ලි පෙරේරා මාස්ටර් පසුකාලිනව සොබා දහම, නීතිපති, දෛව බලය, සිරිකත, අංගුලිමාල වැනි නාට්‍ය රචනා කරමින් අධ්‍යක්ෂණය කිරීමට ද සමත් වුයේය.. එසේම ඔතැලෝ හි ඔතැලෝ ලෙසත්. පද්මාවතී හී දිල්ලියේ වෙළෙන්දා ලෙසත්, හෙළදිව පුරඟන හි වික්ටර් අමරකෝන් ලෙසත් තමන්ගේ සියලු නාට්‍ය නිෂ්පාදනවලත් ප්‍රධාන භූමිකා රංගනයෙන් ටවර් වේදිකාව ඔපවත් කෙරුවේය. ඔහුගේ නිෂ්පාදනයක් වූ අංගුලිමාල නාට්‍යයේ රුක්මණී දේවි, කේ. ලයනල් පෙරේරා, එන්. රොම්ලස් ද සිල්වා, එච්. ඩී. කුලතුංග, සම්පත් ශ්‍රී නන්දලෝචන සහ සුමනා අමරසිංහ ආදීන් රඟපා ඇති අතර කේ. ලයනල් පෙරේරාගේ සංගීතයට අනුව එච්. ආර්. ජෝතිපාල ගී ගයා ඇත.

දිනක් ඔහු තම අත්දැකීම් ආවර්ජනය කළ අයුරුයි මේ. 'වේදිකාවේ අත්දැකිම් නම් අප්‍රමාණයි. එක සිදුවීමක් නම් මා විසින් රචනා කොට නිෂ්පාදනය කළ 'නීතිපති' නාට්‍යයේ ප්‍රධාන දුෂ්ට චරිතය රඟපෑවේ මමයි. නාට්‍යයේ කතාවට අනුව මගේ පියා නීතිඥයෙක්. මගේම සොහොයුරාව මවිසින් මරා දැමීම නිසා මගේම පියා මාව එල්ලුම් ගහට නියම කරනවා. එහිදී එල්ලුම් ගහ සැබෑ ආකාරයෙන්ම වේදිකාව මත හදා තිබුණා. මාව එල්ලන්නේ ඇත්තටම වගේ ප්‍රේක්ෂකයන්ට පෙනෙන්නට. ඉහළින් ලනුව දමා තොණ්ඩුව තද කරනවා. එහෙත් හැබෑවටම බෙල්ල පිටුපසට ශක්තිමක් බෙල්ට් එකක් දමා තිබුණා. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නට අණ ලැබුණු විගස වේදිකවේ පොළොව දෙපසට ගොස් මා ලනුවේ එල්ලෙමින් මිය ගොස් සිටින ආකාරය ප්‍රේක්ෂකායාට පෙනෙනවා.

එදා කිසිවකුත් නොසිතූ පරිදි බෙල්ට් එක කැඩී ගියා. වේදිකා භූමියත් දෙපසට ගියා. පේන්න දමා තිබුණු තොණ්ඩුවට හැබෑවටම මගේ බෙල්ල තද වුණා. මාව එල්ලුණා. දිව එළියට පැන්නා. මට හස්ම හිර වුණා. වේදිකාව පසෙක සිටි අයෙක් මට වුණු ඇබැද්දිය හොඳින් දැක්කා. වහාම තිරය වසා දමා මාව බිමට ගෙන ප්‍රථමාධාර දී පියවි සිහිය ගත්තා. පණ පිටින් එල්ලුම් ගස් ගිය නළුවකු හැටියට පසුව මාව ජනප්‍රිය වුණා. තවත් වරෙක 30 දශකයේ හෙළදිව පුරඟන නාට්‍යය මොරටුව ටවුන්හෝල් එකේ රඟදක්වද්දී මා කුඩා ළමයෙකු ලෙස මුහුදු වෙරළේ හිඟාකන දර්ශනයක් රඟපෑවා. එම හිඟන චරිතය දර්ශනගත වෙද්දී ප්‍රේක්ෂකයන්ගේ නෙත් කඳුළින් බර වෙනවා. කාසිවලින් මට දමා ගසනවා.ඉතා වේගයෙන් ප්‍රේක්ෂකාගාරයෙන් පැමිණි ශත පනහේ කාසියක් මගේ නහයේ වැදුණා. නහය දැඩිව වේදනාවට පත් වුණා. තදින් ලේ ගලා ගියා. දැනටත් නහයේ එම කැළල තිබෙනවා. මේ බලන්න ඔහු මට නහයේ කැළල මට පෙන්වීය. නූර්ති නාට්‍ය කලාවට සිය ජීවිතයම කැප කළ මෙම අපූරව රංගධරයාගේ නාට්‍ය නිර්මාණකරණයේදී කැපී පෙනෙන කඩඉම් 3 ක් දැක්විය හැකියි.

1. 1945 (වයස අවු. 21 දී) නීතිඥ චාල්ස් ඩයස් ශූරින්ගේ 'පද්මාවතී' නාට්‍යය නැවත නිෂ්පාදනය කිරීම, එන්. රොම්ලස් ද සිල්වා, ටී. විල්බට් පෙරේරා, ටී. වී. එඩ්වින් පෙරේරා, ලක්ෂ්මී බායි, ලතීෆ් බායි, ටී. එල්. සිමියොන් සිල්වා වැනි එවක ජනප්‍රියතම නළු නිළියන් එහි රඟපෑ අතර කේ. ඩී. නිකලස් පෙරේරා සංගීතයෙන් දායක විය.

2. 1978 ටවර් ශාලාව අලුත්වැඩියා කොට නැවත විවෘත කළ අවස්ථාවේ රඟදැක්වීමට ඩී. වී. සෙනෙවිරත්නයන්ගේ රචනයක් වූ 'සමුද්‍ර දේවී' නාට්‍යය නිර්මාණය කිරීම, වර්තමානයේ ජනප්‍රිය ගීතයක් වූ 'ගෝවේ ගෑනු පරාදයි' ගීතය චන්දි ගුණතිලකගේ පද රචනයට ෂෙල්ටන් ප්‍රේමරත්නයන් වෙතින් සංගීත තනුව නිර්මාණය කර 'දිගු ද අරාජෝ' චරිතය නිරූපණය එඩී ජූනියර් විසින් ගායනා කරමින් කළ රංගනය සුවිශේෂි අවස්්ථාවක් විය. (සඳුන් විජේසිරි ද සමකාලීනව එම චරිතය රඟපෑවේය) එවක ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ ද, බොහෝ නාට්‍යකරුවන්ගේ ද නොමඳ ප්‍රශංසාවට ලක් වූ එම ගීතය නිර්මාණය බොහෝ ගම්උදා ප්‍රසංගවලදී රඟදැක් වීය. කුයින්ටස් වීරකෝන්, මැණිකේ අත්තනායක, චන්ද්‍රානි ගුණවර්ධන, වික්ටර් වික්‍රමගේ, නිමල් ජයසිංහ, සුනිල් හෙට්ටිආරච්චි, රුවන් දනන්සූරිය ආදී නළු නිළියන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ.

3. 2001 වසරේ හිටපු ටවර්හෝල් රඟහල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ ඉන්දිකා පී.චන්ද්‍රතිලක මැතිනිය සහ වික්ටර් වික්‍රමගේ ගේ ඇරයුමක් මත නිර්මාණය කළ ටවර්හෝල් නූර්ති ජවනිකා ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලැබුවේය. විධුර, රාමායණය, සිරිසඟබෝ, සකුන්තලා, සමුද්‍රදේවි, ශ්‍රී වික්‍රම, පරංගි හටන ආදී තෝරා ගත් නුර්ති නාට්‍යය ජවනිකා මීට ඇතුළත් විය. චන්ද්‍රානි ගුණවර්ධන. අනුලා බුලත්සිංහල, නිශ්ශංක දිද්දෙනිය. වික්ටර් වික්‍රමගේ. සඳුන් විජේසිරි, සුනිල් හෙට්ටිආරච්චි, රත්නශීලා පෙරේරා, සාලිය වික්‍රමගේ, රංග වීරකෝන්, ගාමිණී හෙට්ටිආරච්චි, ප්‍රේමදාස විතානගේ. දේවි සකුන්තලා, දමිතා සලුවඩන, සූරියරානි, කුමාරි පෙර්රා, ඉන්දික බානු පෙරේරා ආදී ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් 50 ක පමණ පිරිසක් දායක වූහ. සුමිත් චන්ද්‍රසිරි සහ ඩී. ඩී. ගුණසේන සංගීතයෙන් දායක වුහ. මේ දක්වාම ටවර්හෝල් පදනම නියෝජනය කරමින් විවිධ අවස්ථාවල ඉදිරිපත් කරන්නේ අපි කරපු නුර්ත ජවනිකාම තමයි. ඒක මට ලොකු සතුටක්.'

නුර්ති සහ නාඩගම් ගැන ස්ටැන්ලි මාස්ටර් දැරුවේ මෙවැනි අදහසක්. 'මම කවදාවත් නාඩගම්වලට සම්බන්ධ වුණේ නැහැ. එදා සි. දොන් බස්තියන්, නීතිඥ ජෝන් ද සිල්ා ශූරීන්, නීතිඥ චාල්ස් ඩයස් ශූරීන් වැනි අය ඒ කාලයට ගැළපෙන බොහොම උසස් නිර්මාණ කළා. ඒ අය හොඳින් භාෂා ශාස්ත්‍රය හදාරපු නීතිඥවරුන් ලෙස කටයුතු කළ අය. ඒ කාලේ නාඩගම් බලන්න ගියේ අඩු ආදායම් ලබපු එදිනෙදා ජීවනෝපාය සලසා ගත්තු පිරිසක්. ඔවුන් එළිවෙනකල් නාඩගම් බලමින් නොසරුප් බස් දොඩමින් බීමත්ව හැසිරුණු බවට තමයි රාවය පැතිරුණේ. නමුත් එදා ටවර්හෝල් නුර්ති නාට්‍ය බලන්න ආවේ ෆ්‍රැන්සිස් මොලමුරේ, සර් ඩී. බී. ජයතිලක, ඒ. ඊ. ගුණසිංහ, සර් ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වගේ රට කරවපු මැති ඇමැති, අගමැති, ආණ්ඩුකාරවරු ප්‍රධාන ඉහළ සහ මධ්‍යම පැලැන්තියේ හිටපු අය. නුර්ති නාට්‍යවල රාගධාරී සංගීතය සහ ගීත කොයිතරම් මිහිරිද? විචිත්‍ර වස්ත්‍ර කොයි තරම් අලංකාරද? හාස්‍ය රස, ශෘංගාර රස වගේ නව නළු රස කොපමණ අත් විඳිනවද? පවෙහි ආදීනව කර්මය පලදෙන බව සනාථ කරනවා. පසුතල නිිර්මාණවල දැවැන්ත බව සහ ආශ්චර්යාත්මක බව කොයි තරම් අපූරුද? ඇතැම් දුර්වල නිෂ්පාදකවරුන් අතින් දුර්වල නාට්‍යය නිර්මාණය වෙලා ඇති. අද වුණත් හැදෙන හැම නාට්‍යයක්ම හොඳයිද? ඔය හැදෙන නාට්‍යයවලින් ප්‍රේක්ෂකයන් අතරට යන්නේ නාට්‍යය කීයෙන් කීයද? එදා නාට්‍යවලට යොදා ගත්තේ බොහෝ විට එදා සමකාලින සමාජය ව්‍යවහාර කළ භාෂාව. එහි අදට නොගැළපෙන තැන් තියෙන්න පුළුවන්. අද හැදෙන සමහර හොඳයි කියන නාට්‍ය අනාගත පරපුර කොයි විදිහට බාර ගනීද කියලා කියන්න බැහැනේ'

නුර්ති යටපත් වෙන්න හුඟක්ම බලපෑවේ චිත්‍රපට. සෙලොලොයිඩ් පටියෙන් පෙනිච්ච අපූරු අත්දැකීම විඳගන්න මිනිස්සු පෙලඹුණා. හරියට රූපවාහිනිය ආපුවම චිත්‍රපට යටපත් වුණා වගේ. කොහොම වුණත් ටවර්හෝල් නුර්ති නාට්‍යය යුගය ශ්‍රී ලංකා නාට්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය බවට තර්කයක් නැහැ.

කලාශූරී, කලා ලංකේශ්වර, කලාභූෂණ ආදී වූ ගණනින් විශාල සම්මාන රාශියකට හිමිකම් කියන ස්ටැන්ලි මාස්ටර් දරුවන් නව දෙනෙකුග් සහ මුනුබුරු මිනිබිරියන් ගණනාවකගේ සීයා කෙනෙකි. එස්. ජේ. එම්. නිලාවතී" නම් වූ පෙම්බර බිරිය වසර කිහිපයකට පෙර මෙලොව හැර ගියාය. 'ලංකාවේ බිහි වූ අගමැති, මැති, ඇමතිවරු බොහෝමයකගේ ඇසුර වගේම ප්‍රශංසා මං ලබල තියෙනවා. පසුකාලීනව මම සිනමාවටත් සම්බන්ධ වුණු නිසා මේ රටේ ජනපි‍්‍රය දක්ෂ නළු නිළියන් බොහෝ අය සමඟ කටයුතු කර තිබෙනවා. එත් මගේ එක දරුවෙක්වත් මම කලාවට යොමු කළේ නැහැ. මේ වගේ රටක කලාව මත යැපෙන්න අමාරුයි. තමුන්ට හොඳ ආදායම් මාර්ගයක් සලසාගෙන අමතර විනෝදාංශයක් හැටියට කලාවේ යෙදුනාට කමක් නැහැ. මගේ පුද්ගලික ජීවිතේ වගේම කලා ජීවිතයත් සාර්ථකයි. අද තියෙන කලාවේ හොඳ වගේම නරකත් තියෙනවා. තමාගේ ගරුත්වයත් කලාවේ ගරුත්වයත් රැකෙන ආකාරයට කටයුතු කළොත් පවතින්න පුළුවන්. නැත්නම් කලාවටයි කලාකරුවන්ටයි දෙයියන්ගේ පිහිටයි!

එතුමාගේ දරුවන් අතරින් එක් පුත්‍රයෙක් හමුදා සේවයේ යෙදී සිටියදී මිය ගියේය. එම බිරිඳ සහ දරුවන් මෙන්ම අනෙක් සියලු දරුවන් සහ එම බිරින්දෑවරු මෙන්ම මුනුපුරු මිනිබිරියන් ද ඉතා සැපවත් වාසනාවන්ත ජීවිත ගත කරන අතර මාස්ටර් වෙනුවෙන් ඉටු විය යුතු සියලු යුතුකම් ඉතා ඕනෑකමනින්, දැඩි සැළකිල්ලෙන් ඉටු කළහ. බොහෝ කලාකරුවන් ජීවිතයේ සැඳෑ සමයේදී අඟ හිඟකම්වලින් පීඩා විඳිමින් උපකාර ඉල්ලා හඬා වැටෙද්දී ස්ටැන්ලි මාස්ටර් අභීතව සිය ගරුත්වය රැක ගනිමින් සිංහයකු සේ අපටත් ගුරුහරුකම් දෙමින් අසූ වියේදිත් සාර්ථක නිර්මාණකරණයක පවා යෙදුණේ ඔහු සිය දරුවන් නිසි මඟ යවමින් බුද්ධිමත්ව කටයුතු කළ බැවිනි. 'සිංහ තෙල් ඔය වීදුරු කුප්පිවල දාන්නේ නැහැ. සිංහ තෙල් තියෙන්න ඕනෙ රන් කෙණ්ඩියක' ඔහු එසේ කී හඬ දැනදු මගේ දෙසවන දෝංකාරය දෙයි. ඔහු ටවර්හෝල් නාට්‍ය කලාව මෙරට මව් නාට්‍ය කලාව ලෙස හැඳින්වූයේ හැකිනම් එම තර්කය බිඳීමට අභියෝග කරමිනි. 'මේ රටේ නාට්‍ය කලාවේ පියා නීතිඥ ජෝන් ද සිල්වා මහත්තයායි. අනිත් හැමෝම නාට්‍ය කලාවේ බාප්පලා' ඔහු වරෙක එලෙස ප්‍රකාශ කළේ එවක අගමැතිව සිටි රත්නසිරි වික්‍රමනායක අග්‍රාමාත්‍යවරයා සහ කලාකරුවන් ඉදිරිපිට අරලියගහ මන්දිරයේදීය. කිිසිදු දේශපාලන වරප්‍රසාදයක් ඉදිරියේ දණ නොනැමූ ස්ටැන්ලි මාස්ටර් හදවතට එකඟව නිතරම වඩා නිවැරැදිව ක්‍රියා කළේය.

ම'විසින් ටවර් රඟහලට වසර 100 ක් පිරීම නිමිත්තෙන් සම්පාදනය කළ 'ටවර්හොල් සුපිරි තරු' සහ 'ටවර්හෝල් සියවස් පුරාණය' ග්‍රන්ථ එළිදක්වන උත්සවයේදී ටවර් රඟහල් වේදිකාවේ සිට ස්ටැන්ලි මාස්ටර් එම කර්තව්‍යයෙහි වටිනාකම පිළිබඳ ඉතා සතුටින් කථා කළේය. 'අතීතය වැළලෙන්න ඉඩ හරින්න හොඳ නැහැ. මේ විදිහටවත් අතීතය ලියලා නොතිබ්බොත් අනාගත පරපුර අතින් ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා'. ස්ටැන්ලි මාස්ටර් තම මතකයේ තිබෙන නුර්ති ගීත සියයක තනු සහ පදවැල් සම්පින්ඩනය කොට 'ශතක සත්සර' නමින් ග්‍රන්ථයක් සම්පාදනය කළේ ද පැරැණි ග්‍රැමෆෝන් හා නූර්ති ගී නැවත ගායනා කොට සී. ඩී තැටි කිහිපයක් නිකුත් කළේ ද අනාගතයට ඔහුගේ මතකය දායාද කරමිනි. ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි, අභිමානවත් පෞර්ෂයෙන් පිරි හඬක් ඔහුට හිමි විය. ඊට නෙදෙවෙනි වූ දේහ කායකට ද හිමිකම් කීවේය. ඔහුගේ හඬට සවන් යොමා සිටිම තක්සලාවක දේශනයකට සවන් දුන්නා සේය. ඔහුගෙන් වත්මන් හා අනාගත විද්‍යාර්ථීන් ගත යුතු දෑ බොහෝය. ඔහුගේ සාර්ථක ජීවිතය ඔහුගේ සමකාලිනයන්ටත් කලා ක්ෂේත්‍රයේ නියුතු වත්මන් හා අනාගත පරපුරටත් මහඟු ආදර්ශයකි. මා වෙත තිළිණ කළ එතුමාගේ 'ශතක සත්සර' ග්‍රන්ථයෙහි එතුමාගේ අත් අකුරින් ලියා දුන් පද දෙක මෙහි සඳහන් කරමි. 'කොතරම් පැමිණියත් බාධක අතරමඟ - යා යතු තැනට ගලනවමයි ගලන ගඟ'. ටවර්හෝල් අම්බරයේ පෑයූ දීප්තිමත් තරුවක් ලෙස වසර 93 ක් වැජඹී, පසුගිය අප්‍රේල් මස 23 දා අප අතරින් සදහටම වෙන් වුණු ජ්‍යෙෂ්ඨතතම රංගධරයා ආදරණීය ස්්ටැන්ලි මාස්ටර්ට හද පත්ලෙන්ම නිවන් සුව ප්‍රාර්ථනා කරමු!