වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




පුදුම ටෙලි නාට්‍යය

පුදුම ටෙලි නාට්‍යය

භද්‍රා නන්දනී ගුණරත්න දිනෙක අපිට දුරකතන ඇමතුමක් දුන්නා. ඇය බොහෝ සෙයින් සංවේගයට පත් වෙලා කියලයි ඇය කතා කරන අන්දමින් අපට දැනුණේ. භද්‍රා කියන්නේ කවුද කියලා දන්නවා ඇතිනේ. පුරෝගාමී රංගන ශිල්පිණියක් ලෙස කැපී පෙනුණ ඇය සරසවිය සිනමා පුවත්පතෙහි හිටපු කර්තෘ නැසීගිය සුසිල් ගුණරත්නයන්ගේ ආදර බිරිය. ඇයට මහත් වූ අසාධාරණයක් වෙලා එක්තරා ටෙලි සිතුවමකින්. ඒ නිර්මාණය සඳහා සරසවිය පුවත්පතින් ද හොඳ ප්‍රචාරයක් ලබා දුන්නා. ඒත් ඒක එයාලට මදිලු. ඇතැම් කලාකරුවෝ කොහොමත් පත්තරේ පිරෙන්න එයාලා ගැන ලිව්වත් ඒවාහි අඩුපාඩු කියන කට්ටියක්නෙ. මේකෙත් වුණේ එහෙම. අපි ඒ නාට්‍යයේ අධ්‍යක්ෂවරයාගේ සම්මුඛ සාකච්ඡාවක් තමයි ලබා දුන්නෙ. එහි නිෂ්පාදක ගැන සඳහනක් නැහැ කියලා එම පත්තරය පිටවූණු දා දර්ශන තලයේ වලිලු. පත්තරකාරයෝ ලියන්න දන්නේ නැහැ කියලත් කියවලු.

පත්තරකාරයෙක් එම දර්ශන තලයට ආවොත් පයින් ගහලා එලවනවා කියලා කියනවලු. මේ කතාවට භද්‍රාට තද වෙලා. මොකද තමන්ගේ ස්වාමියත් පත්තරකාරයෙක්නේ. ඒ වගේම ඇයගේ දියණියත් වර්තමානයේ පුවත්පත් කලාවේදිණියක්නෙ. ආයේ ඉතින් මොකද භද්‍රා ඒ බැනපු උදවියට හොඳ දෙකක් කියලා. ඇත්තනෙ කතාව. අන්න එවලේ ඉඳලා භද්‍රා තමන් රඟපෑවට ලැබෙන මුදල් ඉල්ලුවට දෙන්නේ නැතිලු. බාග බාග දෙනවලු. ඇයට විතරක් නෙවෙයි අනෙක් හැමෝටම එහෙමලු. මේ තත්ත්වය උග්‍ර වෙච්ච තැන එයාලා හිමිහිට භද්‍රාව අයින් කරලා නාට්‍යයෙන්. අනේ අපොයි ටෙලි නාට්‍ය කලාවට ගිය කල. අසාධාරණයට විරුද්ධව කතා කරන්නත් බැහැ. නාට්‍යයෙන් අයින් කරනවා. භද්‍රා දැන් බොහොම කලකිරීමෙන් ගෙදරට වෙලා ඉන්නවලු.