වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මට වරදීවි, හැබැයි පරදින්නේ නෑ

මට වරදීවි, හැබැයි පරදින්නේ නෑ

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

'පුළුවන්කමකට ගත්තා නෙමේ පුතේ, උඹ ටී වී එකේ ඉන්නවා කිව්ව දවසේ අත්තාට විසුමක් නෑ. හැමදාම කියලා එක එක ගෙවල්වලට ගිහින් ටී. වී. බලන්නද?'

අත්තම්මා පැවසුවේ නිවී සැනසිල්ලෙනි. කුස්සියේ හොද්දක් ගොඩ ගොඩ ගා නටමින් පවතී. දෙහි ඇඹුල් පදමට එක් වී ඇති බැවින් ගෙදරම සුවඳය.

'උඹ එනවා කිව්වාම අද අදේ කොල්ලෙකුට කියලා ලූල් මාළු ගෙනාවා'

මානවී කුඩා අවදියේ ලූල් මාළු කෑමට ප්‍රිය කළාය. අත්තා නිතර පැවසුවේ එහි ගුණදායක බවය. වෙන දෙයක් ගන්නට වැඩිපුර සල්ලි තිබුණේ ද නැත.

මානවී රාක්කයක් මත තබා තිබූ ටෙලිවිෂන් යන්ත්‍රය අතගෑවේ සෙල්ලම් බඩුවක් අතට ලැබුණු දැරියක ලෙසිනි. අද ගමෙන් යනතුරුම ටෙලිවිෂනයක් ගෙදර තිබුණේ නැත.

මිණිබිරියගේ මුහුණ කට හැඩ රුව වෙනස්ය. ඇගේ වරලස වෙනදා මෙන් නොවේ. හැඩ වී ඇත. මුහුණ තවත් පියකරු වෙලාය. ඈ වෙතින් විලවුන් සුවඳක් වහනය වෙයි. ඇය ඇඳ සිටි දිගු කලිසම නිසා සිරුරේ හැඩ තවත් කැපී පෙනිණ. දෙකන් පෙති සැරසුණේ රන් තෝඩු වෙනුවට පාට අරුංගල්වලිනි. විලාසිතාවන් මිණිබිරියට නොගැළපෙතැයි කියන්නට අත්තම්මා සිතුවත් එම අදහස වෙනස් කර ගත්තාය.

අඹ ගහ යට නවතා ඇති සුදු පැහැති මෝටර් රථයෙන් වීදුරුවට බට හිරු එළිය අත්තම්මාගේ ඇස් නිලංකාර කළේය. නිර්මලා නිවසින් එළියට බැස්සේ මිත්තණියට හා මිණිබිරියට කතා කරන්නට ඉඩ හරිමිනි. කොහොමටත් මානවී තමාට වඩා තම මවට සමීප වග නිර්මලා දන්නා කරුණකි.

අත්තා කතාබහක් නැතිව හාන්සි පුටුවක වාඩිව සිටියේය. මානවී ඔහු ළඟට පිය මැන්නාය.

'අත්තේ මේ අවුරුද්දේ දඹදිව වන්දනාවේ යන්න මං ඔක්කොම ලෑස්ති කරනවා'

ඔහු කිසිත් නොකීවේය. ඒ වෙනුවට බුලත් තට්ටුවේ වූ පුවක් ගෙඩියක් ගිරයට තබා කැපුවේය.

'අත්තලට පාස්පෝට් එහෙම හදාගන්න වෙනවනේ. ටවුමට ගිහින් පින්තූර ගන්ඩ ඕනෑ'

අත්තම්මා පැමිණ දොර ළඟ හිට ගත්තාය.

'ඔව්වට කොච්චර සල්ලි ඕනද'

ඈ කතාවට එකතු වුණාය.

'මං ඉස්සර කිව්වා මතකද? කවදා හරි දවසක මං අත්තම්මාවයි අත්තවයි දඹදිව එක්ක යනවා කියලා'

උඹ හපනි. ඒ වුණාට දුවේ මේවට සල්ලි යනවනේ'

අත්තම්මා නැවතත් පැවසුවාය.

'නැහැ, මං කිව්වනේ. මං මේක කරලා දෙන්නම්. මේක මගේ ආසාව'

අත්තා වෙනදාට වඩා දුර්වලය. පෝෂණ බීමක් ගෙනත් දිය යුතුය. දොස්තර මහතෙකුට පෙන්විය යුතුය. ගමෙන් ගොස් අවුරුද්දකට වැඩිය. පසුගිය දවසක අම්මා සමඟ දොස්තර මහත්තයෙක් හම්බ වන්නට ගිය අයුරු මානවීට අමතක නොවේ. රෝහලේ බොහෝ දෙනා ඇය දැක කුටු කුටු ගාන අයුරු මානවී දුටුවාය. ඇය අම්මා ගෙන ගියේ දොස්තර චැනල් කරමිනි. පෞද්ගලික රෝහලේ හෙදිය ඈ ළඟට විත් විමසුවේ රඟපෑම ගැනය.

මෙහෙම වෙලාවට අව් කන්නාඩිය අව් රශ්මිය පමණක් නොව ආරක්ෂකයකු ද වන බව මානවී දැන උන්නාය. එබැවින් එය විලාසිතාවක් පමණක් නොවේ. හතරවට ඉඟි කරන මුහුණු, කතා කරන මුහුණු, සමච්චලයට හිනා වන මුහුණු වෙන් කොට හඳුණා දිය හැකි බලයක් අව් කන්නාඩියට තිබිණ. වාරය එළැඹිණ. මානවී ඇතුළට ගියේ අම්මාත් එක්කය. දොස්තර මහත්තයා තරුණය. ඔහු සිනාසුණේ දන්න කියන කෙනෙකු වාගේය. අම්මාට නිතර ඇති වූ හිසරදය ගැන ඔහු විමසුවේ කරුණු ටිකකි. ඉන් අනතුරුව ඇසුවේ මානවීගේ වගතුගය. බලාගෙන යන විට ඔහු වෛද්‍ය වෘත්තියට වඩා කලාවට කැමැතිය. අන්තිමට දොස්තර රංග මානවීට ජංගම දුරකතන අංකය දුන්නේය. මානවීගේ අංකය ද ඉල්ලා ගත්තේය. අංක නම් කොතරම් දුන් කී දෙනෙක් ඇයට අමතනවාද?

පත්තරයක උපන් දින තීරුවේ නමත් සමඟ දුරකතන අංකය දමා තිබී මානවී බෙහෙවින් අමාරුවේ වැටුණාය. සමහරුන් නම් ඇත්තටම ආදරයටය. සමහරු රඟපෑ චරිත ගැන කියති. සමහරු අලුතින් චරිත ඉල්ලති. සමහරුනට උදව් අවශ්‍යව ඇත. දුක්ගැනවිලි රාශියකි. ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නට රජෙකුටවත් බැරිය. තමා වැනි කෙනෙකුට එසේ නම් නම ගිය තරුවකට කෙසේ වේවිද? මානවීට සිතිණ. මේ සියල්ලටම වඩා විවිධ මානසික රෝගීන්ය. මහ රෑ දොළහටත් කතා කරති. තමන් ඉන්නා ස්වභාවය ඔවුහු නොදනිති. හොඳින් කතා නොකළත් ප්‍රශ්නයකි. ඉවසන්නට බැරි සමහරුන්ගේ යෝජනාය. බොහෝ විට මහල්ලන්ය. වරෙක එබඳු කතාවකදී උත්තර දී ගන්නට බැරිව මානවීට කඳුළු ආවාය.

දොස්තර රංග ද මානවීට කතා කළේය. ඒකාකාරි ජීවිතයෙන් මිදී නිවාඩුවක් ගත කරන්නට ඔහු ආරාධනා කරයි. නිවාඩුවක් සොයා ගන්නා එකයි අමාරුව. පසුගිය වසර පුරාම ඈ එක දිගට වැඩ කළාය. ඒ හැම කටයුත්තකම සුජිත් පිටුපස සිටි'යේය. සුජිත් නිසා මානවී බොහෝ දෙනා දැන හඳුනා ගත්තාය.

'අවුරුද්දක් යන කොට මානවී කාර් එකකුත් ගත්තා එහෙනම්'

ජිතේන්ද්‍ර මානවීගේ මෝටර් රථය දැක ඇසුවේය.

'නෑ අයියේ. සුජිත් අයියත් එක්ක ගත්තේ. ෆිනෑන්ස් එකකුත් දැම්මා'

'උඹට නංගි ෆිනෑන්ස් ගෙවන්න මාන්සි වෙනවට වඩා ලේසියි හාන්සි වෙන එක'

ජිතේන්ද්‍රගේ බසට මානවීගේ ඇසට කඳුළු පිරුණි.

'නෑ! බං මං විහිළුවට කිව්වේ. මං උඹ ගැන දන්නවානේ'

ජිතේන්ද්‍ර ඇය අස්වසාලන අටියෙන් පැවසුවේය.

'හැබැයි උඹට වාසියට වෙලා තියෙන්නෙත් අවාසියට වෙලා තියෙන්නෙත් සුජිත් ළඟ ඉන්න එක'

'ඇයි අවාසිය?'

'උඹට උගෙන් පිට වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. උඹට හොඳට රඟපාන්න පුළුවන්. මේක ඉගෙන ගනිං. තව හොඳ ඩිරෙක්ටර්ස්ලා ගාව වැඩ කරපං. උඹ ගැන නාලන්ලා, ආනන්දලා, සුදත්ලා, සරත්ලා කී දෙනෙක් හෙව්වද? උඹට යන්න උනේ නෑනේ'

මානවී මඳ වේලාවක් ජිතේන්ද්‍ර දෙස බැලුවේය. ජිතේන්ද්‍ර අයියාට ක්ෂේත්‍රයේ ඇත්තේ ලොකු සැලකිල්ලකි.

'මම මේකට ආවෙ අහම්බෙන්. හැබැයි දැන් මං මේකට ආසයි. මට ලොකු බලාපොරොත්තු නෑ අයියේ. මං ඉක්මනින් සුජිත් අයියා බඳිනවා. ඊට පස්සේ මං අයින් වෙනවා'

මානවී උන් තැනින් නැගිට්ටේ දර්ශන තලයට කැඳවීමක් ලැබුණු හෙයිනි. ජිතේන්ද්‍ර ඇයගේ අතින් අල්ලාගෙන යළි වාඩි කරවා ගත්තේය.

'නංගි' මේකට ආපු එවුන් ආපු හැටිත් දන්නවා. ගිය හැටිත් මං දන්නවා. මට උඹ ගැන පොඩි ගෞරවයක් තියෙනවා. උඹට තවමත් උඹ ආපු හැටි මතකයි. හැබැයි ඕනෑවට වඩා ඕනෑම දෙයක් විශ්වාස කරන්ඩ එපා'

'ඇයි අයියා එහෙම කිව්වේ?'

ජිතේන්ද්‍ර මහ හඬින් සිනාසුණේය.

'උඹ සීන් එකට පළයං. පරක්කු වෙනවා. මං දුන්නේ කාටත් දෙන අවවාදයක්'

මානවී නැගිට්ටාය.

'මට වරදියි අයියේ. හැබැයි මං පරදින්නේ නෑ කියලා විශ්වාසයි'

ඈ පැවසුවේ පෙරදා සුජිත් පැවසූ වදනකි.

ජිතේන්ද්‍ර උන් තැනින් නැගිට්ටේය. ඔහු මහපට ඇඟිල්ල එසවූයේය. මත්පැන් ගඳක් ඔහු වෙතින් වහනය විය. ඊයේ බිව්ව එව්වා වෙන්නැති මානවී නිකමට සිතුවාය. ඇය ගමට ගියේ මේ කතාවෙන් සතියකට පසුවය. අම්මාටත් නිවාඩුවක් තිබිණ. මෝටර් රථය ගෙන මුලින් ගමට යා යුතු යැයි අම්මා පැවසුවාය. සැළසම් කළ දිනට මානවීට රූ ගැන්වීමක් තිබුණේ නැත. ලබන සතියේ අලුත් විලවුන් දැන්වීමකට ඇයට ආරාධනාවක් ලැබී තිබිණ.

'මේ කෙල්ල ගැන බැලුවොත් හොඳයි නේද?'

අත්තම්මා නිර්මලාගෙන් ඇසුවාය. ඇය ළඟ දැවටි දැවටී සිට බැළලිය හිස ඔසවා බැලූවෙන් නිර්මලා ඌ වඩා ගත්තාය.

'කෙල්ල ගෙදරින් ගියාට පස්සේ එයා තමා හුරතල් වෙන්නේ'

අත්තම්මා පැවසුවේ බැළලිය දෙස බලමිනි.

'කෙල්ල ගැන ගමේ කටකතා යනවා. මට ඒවා ඇහෙන්නේ නැතිව නෙවේ දුවේ'

ගැහැනුන් දෙදෙනා සිටියේ පිළිකන්නට වෙමිනි. පේර ගසේ ගෙඩි' කිහිපයක් අලුතින් සැදී ඇත. මේ ගස හැදුණේ නිර්මලා පොඩි කාලේය. එහි ගෙඩි කඩන්නට හොරෙන් ගසට නැග මානවී වරක් ගසින් වැටිණ. ඇය එදා වඩාත් බය වුණේ අත්තාටය.

'ඈ දුවේ දැන්වත් පොඩි එකීට කාව හරි බැලුවොත් නරකද? එයාගේ හිතේ මොනවා තියෙනවද දන්නේ නෑ'

නිර්මලාට දොස්තර රංග සිහියට ආවේය. පෙනුමෙන් මානවීට ගැළපේ. එහෙත් මානවීගේ සිත ඇත්තේ සුජිත් සමීපයේ බව ඇය දැන උන්නාය.

'අර ළමයෙක් නිතර යනවා එනවා. ඒ ළමයා මෙහෙත් ඇවිත් තියනවා. දරුවා ඔය ඇට් කරන්න අරන් ගියෙත් එයා තමා'

නිර්මලා පැවසුවේ හීන් හඬිනි. මෝටර් රථය නිවස ඉදිරිපිට නතර කර තිබෙනු කිහිප දෙනෙක්ම බලාගෙනය.

'කොයි පළාතේ ළමයෙක්ද?'

'මේ පළාතෙම ළමයෙක් කිව්වා. කොහොමද දන්නේ නෑ. මං අම්මට කියන්නත් හිටියේ'

'මොන ගමෙන්ද?

'බාලසේරගම කියලා'

අත්තම්මා මොහොතක් සිය දියණිය දෙස බලා උන්නාය.

'උඹට පිස්සුද නිර්මලා, උඹ මොළයක් නැතුවද වැඩ කරන්නේ?'

අම්මාගේ තැතිගත් පෙනුම නිර්මලාට විමතියක් ගෙනාවේය.

'ඒ ගමෙන් හිරයක් අරගෙන අපේ නෑයන්ගේ මුණ බලන්නේ කොහොමද? ඔය ගමේ උන් ගැන දන්නේ නැද්ද? අපි දුප්පත් වුණත් නම්බුකාර මිනිස්සු. ඔය ගමේ මිනිස්සු තවමත් අප්පච්චිගෙන් බේත් ගන්න ඇවිත් පුටුවක වාඩි වෙලා නෑ'

අම්මාගේ ස්වරය වේගවත්ය. හඬ ඉහළය.

මානවී, අම්මාත්, අත්තම්මාත් උන් තැනට ආවාය.

'රෑ වෙන්න කලින් යන්නත් ඕනෑ අම්මේ'

'ආපු දවසේම ආපහු යන්නේ ඇයි ළමයෝ'

අත්තම්මා විස්සෝප වූවාය. නිර්මලා ඊළඟට සිදුවන දෙය කාලයට ඉඩ හැරියාය.