|
|
ලංකාවේ උදවිය තවමත් ගෝත්‍රිකවාදියි
සංගීතවේදී සරත් වික්‍රම සිය අලුත්ම නිර්මාණකරණය පිළිබඳ කතාකරයි
සංගීතවේදී සරත් වික්‍රම දිගු කතාකට මුල පිරුවේය.
මං කරපු දැවැන්ත නිර්මාණයක් ජාත්‍යන්තරයට ගෙනි යන්න පුළුවන් වුණා. ඒ ගැනයි මට
විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. ඊට කලින් පෙරවදනක් කියන්නට අවශ්‍යයි. ඔව්, ඔබට කියන්න පුළුවන්. අහලා ඇතිනෙ සිම්ෆනි ගැන. සිම්ෆනි කියන්නේ වෙනමම සංගීතමය කලාවක්. ඇත්තම කිව්වොත් නියම සංගීතය තියෙන්නේ සිම්ෆනි තුළයි. සිම්ෆනි කියන්නේ මොකක්ද යන්න පැහැදිලි කළොත්? මේ වන විට සිම්ෆනි කියන වචනයට හරි හැටි සිංහල වචනයක් නැහැ. සිම්ෆනි කියලා තමයි ඕනෑ රටක හඳුන්වන්නේ. මේක දැවැන්ත සංගීත විචිත්‍රාංගයක්. සංගීත භාණ්ඩ රැසක් මෙයට යොදා ගන්නවා. මිනිස් හඬ භාවිත කරනවා. හැබැයි වචන නෙවෙයි. ලංකාවට ආගන්තුකයි මේ සිම්ෆනි කලාව? හරියට හරි. ලංකාව තුළ නැහැ සිම්ෆනි සිස්ටම් එක. ඒකට ප්‍රධානම හේතුව සිම්ෆනි රස විඳීමට හැමෝටම නොහැකි වීම. සාමාන්‍ය පුද්ගලයකුට තියා සංගිතඥයකුට පවා මුලදි ටිකක් අපහසුයි සිම්ෆනියක් රස විඳින්න. හැබැයි ඒකට හුරු වුණාම හරි. මේ වන විට සිම්ෆනි කලාව තුළින් ඉන්දියාව,අමෙරිකාව ද අභිබවා ගිහින් තියෙනවා. ලංකවේ උදවිය තවමත් ගෝත්‍රිකවාදියි. පණහෙ හැටේ දශකයේ විදිහටයි තවමත් හිතන්නේ. තරුණ පරපුර පවා එහෙන් මෙහෙන් කොපි කරනවා පමණයි. අලුත් යමක් හිතන්නේ නැහැ. වෙනසක් කරන්න සිම්ෆනි වැනි දෙයකට අතගහන්න බයයි. ඔබ ඇයි සිම්ෆනි ගැන මෙතරම්ම උනන්දු වෙන්නේ? ඔබ ඔය ප්‍රශ්නය අහපු එක හොඳයි. ඔතැනට තමයි මටත් එන්න ඕනෑ වුණේ. මම එක්දාස් නවසිය හැත්තෑ තුනේ ක්ෂේත්‍රයට ආවේ. අසූ දෙකේ නිර්මාණයකට අත ගැහැව්වා. චිත්‍රපට ගණනාවක් සංගීතවත් කළා. ගීත රාශියක් හැදුවා. නමුත් ආපසු හැරිලා බලන කෙට මේ ලෝකෙට ඉතුරු කරපු දෙයක් නැහැ කියලා මට හිතෙනවා. හුදෙක්ම මං තවත් එක් නිර්මාණකරුවකු පමණයි. අපේ අය ජාත්‍යන්තරයට යනවා කියලා යන්නෙත් හොරෙන්. අපට සංගීතමය කලාවක් තියෙනවා කියලා ඇතැම් රටවල් පිළිගන්නෙත් නැහැ. හැබැයි සිම්ෆනියක් කළොත් ඒ තත්ත්වය මඟ හැරෙනවා. මොකද සිම්ෆනි කියන්නේ මුළු ලෝකෙම පිළිගත්ත කලාවක්. ඔබ කලකට ඉහතදී සිම්ෆනියක් කළා නේද? නමුත් එය එතරම්ම ජනප්‍රිය වුණේ නැහැ? මං ඔය වැඩේ පටන් ගත්තේ 95 වසරේ. මං සිම්ෆනියක් ලිව්වා. ඒක මට තනියම කරගන්න බැරි හින්දා එයට උදව් ඉල්ලලා වගකිව යුතු කිහිප දෙනෙකුට බජට් එකත් එක්ක දුන්නා. ඒකෙ නම නාද. ලක්ෂ තිස්පහක් විතර යනවා ඒ සිම්ෆනි එක පටිගත කරන්න. නමුත් මට වැඩි දෙනෙකු උදව් කළේ නැහැ. අන්තිමේ නුවරඑළියේ තිබුණු මගේ නිවසත් විකුණන්න තීරණය කළා. මගේ ගාවත් තිබුණු මුදල් එකතු කරලා ලක්ෂ දොළහකින් මට පුළුවන් විදිහට නාද සිම්ෆනිය පටිගත කළා. ඒක ඔබ මුලින්ම අහන්න දුන්නේ කේමදාස මාස්ටර්ට? ඔව්. මාස්ටර් ඒක රස විඳලා කිව්වා, සරත් ලංකාවේ අයට සිම්ෆනි කළාට වැඩක් නැහැ. ඒවා තේරුම් ගන්න තරම් ශක්තියක් ඒ උදවියට නැහැ කියලා. ඔබ පිළිගන්නවාද ඒ කතාව? සියයට දෙසීයක් මං එකඟයි. මං අර කලිනුත් කිව්වේ ඒකයි. හොඳ රස වින්දනයක් තියෙන අය අද අඩුයි. බොහෝ දෙනෙකුට ඕනෑ දඩි බිඩි සංගීතය. කෙසේ වෙතත් ඔබ ඔබේ උත්සාහය අත හැරියේ නැහැ? සිම්ෆනි ගැන හිතන එක නවත්වන්න මට බැහැ. දෙවනුව මං තාල් නමින් ද සිම්ෆනියක් කළා. එය සී. ඩී. හතකට පටිගත කොට ඒ හතට අදාල ග්‍රන්ථ හතක් ද මවිසින් නිකුත් කළා. තාල් තමයි මං මුලදි කිව්ව ජාතන්තරයට ගිය ගමනට වාසනාව උදා කළේ. ඒ ගැන වැඩි විස්තර කිව්වහොත්? කවුරුවත් නොදන්නවා වුණාට ලංකාවේ තියෙනවා කලම්බු සිම්ෆනි ඔගෙස්ටර් නමැති සංගමයක්. එමඟින් පැවැත් වූ ප්‍රසංගයකට තාල් සිම්ෆනිය මං ඉදිරිපත් කළා. එය බලන්න ඇවිත් හිටියා ජපානයේ නියෝජිතයින් කණ්ඩායමක්. ඔවුන් එදා තමයි මෙරට නියම ජන තාල ඇහුවේ. එතන තිබුණු සිම්ෆනි අතරින් මේක තමයි අපේ නාද රටා තිබුණු එකම සිම්ෆනිය. ඉතින් එයාලා තාල් ඉල්ලවා එරටෙහි පවත්වන්න. ළඟදීම දන්වාවි ඒක තියෙන දිනය. තාල් හරහා ඔබ මොන වගේ විශේෂත්වයක් ද පෙන්නුම් කළේ? ප්‍රථම වතාවට සිම්ෆනියකට උඩැක්කිය හඳුන්වා දුන්නා. ඒ වගේම මෙතෙක් රස නොවිඳි මාවිසින්ම පර්යේෂණ පවත්වමින් සොයා ගත් ගැමි නාද රටා ඊට ඇතුළත් කළා. මෙවන් වූ ජයග්‍රහණයක් ලැබුණත් වැඩි දෙනෙක් ඒ ගැන දන්නෙවත් නැහැ නේද? ඒක නම් විශාල අඩුවක් හැටියට මං දකිනවා. අනුකරණවාදී නිර්මාණ කරන වෙන කෙනෙකුට ඔවැනි අවස්ථාවක් ලැබුණොත් මාධ්‍යයෙන් පවා වැඩිඉඩක් වෙන් වෙනවා. නමුත් මට එහෙම වුණේ නැහැ. ලැබුණු ප්‍රචාරයත් අඩුයි. මං හිතනවා මෙවන් වූ විජයග්‍රහණයක් ලැබීම මට විතරක් නෙවෙයි සමස්ථ ලංකාවටම ආඩම්බරයක් කියලා. ඒත් කෝ තැනක්. සිම්ෆනි නිසා ඔබට ඉන්දියාවේ ප්‍රකට ගායකයන් එක්ක වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා? මගේ මුල්ම සිම්ෆනිය වූ නාද පටිගත කලේ ඉන්දියාවේ ඒ. වී. එම්. චිත්‍රාගාරයේ. ඒ. ආර්. රහ්මන්ගේ වාද්‍ය කණ්ඩායමේ ඉන්න තිස් පස් දෙනෙකුම මගෙත් එක්ක වැඩ කළා. එහිදී එස්. පී. බාලසුබ්‍රමනියම් වගේ දක්ෂ ජනප්‍රිය ගායකයන් රැසක් නාද සඳහා හඬ මුසු කළා. ඒක මගේ ජීවිතයට අමතක නොවන්නක්. මේ වන විට ඔබ සිනමා ටෙලි නිර්මාණ කීයකට විතර දායකත්වය සපයලා තියෙනවාද? මගේ මුල්ම චිත්‍රපටය වුණේ තිමති වීරරත්නගේ වන බඹරා. එය ඇතුළු චිත්‍රපට හතළිහකට පමණ සංගීතය සපයා තිබෙනවා. ඒ වගේම හිරුට මුවාවෙන් නාට්‍යයෙන් පටන් ගෙන මේ වන විට ටෙලි නාට්‍ය එකසිය පණහකට අධික සංඛ්‍යාවක් මා සංගීතවත් කළා. මේ දිනවල මොනවද ඔබේ අලුත් වැඩ කටයුතු? සුගත් සමරකෝන්ගේ පටාචාරා චිත්‍රපටයේ සංගීත වැඩ කටයුතු නිමා කළා. ඊට අමතරව අලුත් පරපුරේ කිහිප දෙනෙකුට සිංදු හැදුවා. රිඟිං ටෝන් සඳහා සිංදු හදන්න ඇරැයුම් ලැබුණේ නැතිද? අනන්තවත් ලැබෙනවා. නමුත් මං රිඟිං ටෝන්වලට සිංදු හදන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. මේ දිනවල පවතින විරහ ගීත රැල්ල ගැන මොකද කියන්න තියෙන්නේ? ඒ ගැන කතා කරන එක තේරුමක් නැති වැඩක්. ඒ හින්දා මං ඒ පිළිබඳව අදහස් පළ කිරීමෙන් වැලකී සිටිනවා.
|



