වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සොඳුරු හිතැත්තන් සැම සතුටින් එක්වී මියුරු තෙපුල් මැද අවුරුදු සිරිය විඳී

සොඳුරු හිතැත්තන් සැම සතුටින් එක්වී මියුරු තෙපුල් මැද අවුරුදු සිරිය විඳී

ශ්‍රී ලාංකේය ගායක ගායිකාවන්ගේ අභිමානවත් අවුරුදු උළෙලේ අසිරිය

බක්මහට පෙරාතුව පටන් සවන්පත් වැකුණු කොහෝ නාදය තවමත් මුළුමනින්ම තුරන් වී නැහැ. උදා වූ වසන්තය වෙනදාට වඩා ගත සිත විඩාවට පත් කළේ දැඩි හිරු රශ්මියෙන් පරිසරය ගිනියම් වූ නිසා. ඒ ගිනිගහන අව් කාෂ්ටකේ වුණත් අපේ ආදරණීය කලාකරුවන් පසුගිය 26 වැනිදා බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයට එක් වුණේ අවුරුද්දේ අසිරිය නෙත් සිත් පුරා විඳගන්න.

‘සකුණ විජිතයේ කෝකිල සැළලිහිණී

විහඟ රෑන අප සත්සර සුව රඳනා

පෙරපර බේද නැතී, අපි එක අත්තක කිරිල්ලියෝ

පෙරපර බේද නැතී අපි එක අත්තක කුරුල්ලෝ’

කොවුල් නද පරයන ගී හඬින් තුන් හෙළේ ගීත ලෝලීන් අමන්දානන්දයට පත් කළ ඒ සොඳුරුතමයින් තමයි අපේ ළබැඳි ගායක, ගායිකාවන්. ශ්‍රී ලාංකේය ගායක, ගායිකා සංගමය මඟින් සංවිධානය කළ මහා බක් මහ උලෙළ, එකමුතුකමේ සුන්දරත්වයත්, සහෝදරත්වයේ සෙනෙහසත්, මනුෂ්‍යත්වයේ උදාරත්වයත් සංකේතවත් කළ ආදරණීය දිනයක් වූ බවට සැකයක් නැහැ එදා එහි පැමිණි සැමට.

අපේ පැරැණි ජන ක්‍රීඩා හා සංස්කෘතික අංගයන්ට මුල්තැන දෙමින් සත්සර නදින් ඔපවත් වූ මේ බක් මහ උලෙළ අපේ කලා සහෘදයන්ගේ හදවත්වලට එක් කළේ අපූරු අසිරියක්.

විසි පස් වසක් පුරා ඈතට දිවෙන ඉතිහාසයකින් හෙබි ගායක ගායිකා සංගමයේ ප්‍රබෝධවත්ම යුගය මේ වකවානුව බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ සැවොම අද එකාවන්ව අත්වැල් බැඳ, වෘත්තීය අභිමානයෙන් යුතුව ඉදිරියට පියමං කරන්නේ දැඩි විශ්වාසනීයත්වයකින් යුතුව. සංගමයේ වත්මන් සභාපති, ජනප්‍රිය ගායන ශිල්පී කීර්ති පැස්කුවල් එහි පෙරගමන්කරුවා වෙමින් සිය සහෝදර ගායක, ගායිකාවන් වෙනුවෙන් ඉටු කරන මෙහෙවර ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. කීර්තිගේ මෙහෙවරට ශක්තියක් වෙමින් ඔහුගේ මහා කාර්යයට උර දෙන ලේකම් ජානක වික්‍රමසිංහ සහ භාණ්ඩාගාරික රොහාන් ද සිල්වා යන ගායක දෙපළවත් මේ මොහොතේ සිහිපත් කිරීම අපේ යුතුකමක්.

කලාකරුවන්ගේ වෘත්තීය අභිමානය හා සුබසාධන කටයුතු වෙනුවෙන් කැප වූ අද දවසේ වඩාත්ම සක්‍රීය කලා එකමතුව මේ ශ්‍රී ලාංකේය ගායක, ගායිකා සංගමය යැයි ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රකාශ කළේ එදින විශේෂ ආරාධිත අමුත්තෙක් විදියට බක් මහ උළෙලට සහභාගි වෙමින්.

මේ එම බක් මහ උලෙළේ සොඳුරු දසුන් කිහිපයක් කැමරා ඇසේ සටහන්ව තිබූ අයුරුයි.