වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය කර්තෘගෙන් නිෂ්පාදකයකුට කදිම පාඩමක්

සරසවිය කර්තෘගෙන් නිෂ්පාදකයකුට කදිම පාඩමක්

පුංචි කාලයේ සිට දැන හැඳින, කලා ලෝකයේ නමක් ඇති කරගෙන සිටි කලාකාරයෙක්, පසුව නිහඬ ජීවිතයක් ගත කොට නිහඬවම කිසිදු කලාකරුවකුගේ සහභාගිත්වයක් නැතිව මිය යාමත්, එම අවමඟුලට සහභාගි වීමට නොලැබීමත් සිතට කොතරම් වේදනාකාරීද? එවැනි කලාකාරයෙක් ජීවිතයෙන් සමු ගත් බව අප හිතවත් මිත්‍ර සිරි කහවල පවසද්දී මගේ උගුරේ ඊයම් බරු හිර වූවා වැනි තත්ත්වයක් ඇති විය.

'රංජිත් දයානන්ද අප්‍රේල් 12 වෙනිදා අන්ත්‍රා වෙලා' සිරි බොල් ස්වරයෙන් කීය. සරසවිය කර්තෘ අරුණ ගුණරත්න ද මේ ආරංචිය සනාථ කළේය.

සිංහල සිනමාව ගැන උනන්දුවක් දක්වන අලුත් පරපුර නම් රංජිත් දයානන්ද ගැන අසා නැතිව ඇති. එය ඔවුන්ගේ වරද නොව, රංජිත් සිනමාට එක් වූයේ පනහ දශකයේය. අවසන් වරට රඟපෑවේ අසූව දශකයේය.

රංජිත් දයානන්ද ගැන මගේ යටගිය දවස් මතකය නැඟුණු නිසා ඔහු ගැන පුංචි හෝ සටහනක් නොතැබුවොත් එය යුතුකමක් පැහැර හැරීමකි. මා හාපුරා කියා දුටු වේදිකා නාට්‍යය ධර්ම ශ්‍රී කල්දේරා නිෂ්පාදනය කළ 'දීපා' ය. ඒ 1958 වසෙර්ය. එවක මගේ වයස අවුරුදු 11 කි. 'දීපා' නාට්‍යයේ පෙම්වතා ලෙස රඟපෑවේ රංජිත් දයානන්දය. මේ නාට්‍යයේ රඟපෑ නළු නිළියන්ගෙන් අද ජීවතුන් අතර සිටින්නේ රංජිත්ගේ පෙම්වතිය ලෙස රඟපෑ චිත්‍රා ධනවලවිතාන හෙවත් චිත්‍රා වාකිෂ්ට පමණි. එහි රගපෑ නවනන්දන විජේසිංහ හා රැල්ෆ් විජේසේකර ද මිය ගොස්ය. මේ නාට්‍යයේ ඇතැම් දර්ශන අපේ නිවසේ පුහුණුවීම් කළ නිසාත්, අප නිවසට ආව ගිය රංජිත් දයානන්ද නම් නළුවා මගේ මාමාගේ මෙන්ම අප පවුලේ සමීපතම මිතුරෙක් විය.

රංජිත් දයානන්ද ඔහුගේ සැබෑ නම නොවේ. ඔහුගේ නම ජේ. ඩී දයානන්ද හෙවත් ජාසිංහගේ දොන් දයානන්දය. 1933 පෙබරවාරි 09 වෙනිදා වැල්ලම්පිටියේ උපත ලැබූ ඔහු අධ්‍යාපනය ලැබුවේ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලයේය. එහිම ගුරුවරයකු වුූ ඔහු හාපුරා කියා චිත්‍රපටයක රඟපෑවේ සිරිල් පී. අබේරත්නගේ 'සුරංගනී' චිත්‍රපටයේය. ඔහු ඒ රඟපෑවේ රංජිත් නම් චරිතයකි. එයින් ජනප්‍රිය වූ ඔහු 'රංජිත් දයානන්ද' නමින් කලා ලොව ප්‍රකට විය. සිරිසේන විමරවීරගේ 'වනමල' චිත්‍රපටයේ මහලු සීයා කෙනෙකු ලෙස ද 'කුරුලු බැද්ද' චිත්‍රපටයේ පුණ්‍යාගේ සැමියා ද විය. 'සීතල වතුර' චිත්‍රපටයේ ඔහු ප්‍රධාන චරිතය රඟපෑ අතර ඉන් පසු 'රෑන ගිරව්', 'රජගෙදර පරෙවියෝ'', අධිෂ්ඨාන', 'මලට නොඑන බඹරු' චිත්‍රපටවල, 'මධුමතී', 'ගිනි' කඳු' වේදිකා නාට්‍යවල ද, 'මුහන්දිරම් වලව්ව' ටෙලි නාට්‍යයෙත් රගපෑවේය. වෙන්නවත්ත ටිබට් ජාතික ඇස්. මහින්ද හිමි විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කොට විශ්‍රාම ගිය ඔහු විවාහ වූයේ ද ගුරුවරියක වූ ප්‍රේමා සමඟය. ප්‍රේමා දයානන්ද මහත්මිය අඹතලේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කොට ඉසුඹු ලැබුවාය.

පුංචි කාලේ 'රංජිත් අයියා' යන නමින් ආදරෙන් කතා කළ ඔහු කඩවසම් සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරැසී අප නිවසට ආ ගිය හැටි මට මතක් කර ගත හැකිය. නිතර පොත් කිය වූ ඔහු වරෙක ළමා පොත් කිහිපයක් රචනා කළ අතර එක පොතකට සම්මාන හිමි වී ඇත. මගේ පියාගේත්, මාමාගේත් සමීපතම හිතවතෙකු වූ 'රංජිත් අයියා' අපට සැබෑ ආදර ලොකු අයියා කෙනෙකු විය.

'සීතල වතුර' චිත්‍රපටයේ ද ඔහු රඟපෑ දර්නයක් කිරිබත්ගොඩ නවජීවනචිත්‍රගාරයේ රූගත වෙමින් සිටියදී පැල්පතක වහළට ගිනි ඇවිලිණි. ඒ මැදින් දුවන විට ගිිනි ගත් පොල් අත්තක් ඔහුගේ උර මතට වැටී සිරුර පිලිස්සිණ. මරදානේ කලීල් රෝහලේ ඔහු සති ගණනක් නේවාසිකව ප්‍රතිකාර ගෙන සනීප වුවත් ශරීරයේ ඒ ලකුණු ඉතිරිව තිබූ අයුරු මට මතකය.

මා පාසල් යන වියේ 'විසිතුර' පුවත්පතට නළු නිළියන්, ගායක ගායිකාවන් ගැන විශේෂාංග ලියන විට ඒ ගැන තොරතුරු ගෙදර විත් තාත්තාට වාර්තා කරන සිරිතක් තිබුණි.

එක් ගායකයෙක් ගැන මා කොතරම් පැහැදුමෝද කිවහොත් ඔහු ගැන අසීමිත වර්ණනාවක් තාත්තාට කියමින් සිටියේය. එදා තාත්තාත්, රංජිත් අයියාත් කෑම ගනිමින් සිටි දිනයකි. මා ද කෑම මේසයේ වූ පිඟානක් ළං කරගෙන ව්‍යංජන බෙදා ගනිමින් කරන විස්තරය රංජිත් අයියා අසා සිටියේය.

'රංජිත් අයියේ . . . . . ගායකයා හරිම අහිංසක ගමකින් ආව දක්ෂ කෙනෙක්.' මම ගායකයා ගැන සුබවාදීව කතා කළේය.

සියල්ල උපේක්ෂාවෙන් අසා සිටි රංජිත් අයියා තැන්පත්ව මට මෙසේ කීය.

'මල්ලී එකපාරටම කලාකරුවෝ ගැන පැහැදෙන්න එපා. ඔයා එයා ගැන ලියන නිසා, දැන් ළඟින් ඇසුරු කරන නිසාත් ඔය සෙනෙහස, දයාව, කරුණාව දක්වනවා. ඔයා තාම පත්තර ලෝකයට අලුත්. තාම ඉස්කෝලේ යන ළමයෙක්. ඒ නිසා ඉක්මනින් පැහැදෙනවා. ඒ අය බලන්නේ ඔයා ලවා උදව් ගන්න. ප්‍රචාරය ලබා ගන්න. කාලෙකට පස්සේ එයා ප්‍රසිද්ධ වුණාම එයා ගැන ලියන ලොකු පත්තරවල අයට එයා ඇලුම් කරනවා. ඒක දැනගෙන උපේක්ෂාවෙන් බලලා උදව් කරන්න. සමහර විට ඔයා පත්තර කලාවෙන් ඉවත් වුණොත් ඔයා දැක්කත් නොදැක්ක වගේ හිටීවි. ඒකයි ස්වභාවය. ඔයා අධෛර්ය වෙන්න එපා. ඔයා වයසින් මෝරලා තලත්තෑනි වෙන කොට හැබෑ කලාකාරයා ඔයාට හමු වේවි. හැබැයි ටික දෙනයි.'

ඔහු මේ කියමන කීවේ මීට වසර පණහකට පමණ (1966 වසරේ) පෙරය. කිසිදා ප්‍රචාරය පසුපස නොගිය 'රංජිත් අයියා' ගුරු වෘත්තියටම කැප විය. එදා ඔහු කියූ එම කියමන වඩාත් සත්‍යයක් වන්නේ ප්‍රධාන සිනමා පුවත්පත් දෙකක (සරසවිය හා සරසි) කර්තෘකමින් විශ්‍රාම ගෙන සිටින අද වගේ දිනයකය. ඔහුගේ මේ කියමන වලංගු නොවන හෘදයාංගම කලාකරුවන් නැතුවා නොවේ.

රන්ජිත් අයියා පසුගිය අපේ‍්‍රල් 12 වෙනිදා ප්‍රසිද්ධ චරිත කිසිවකු නොමැතිව අවසන් ගමන් ගියේය. පසුව දැනගත් නිසා එම අවස්ථාවට සහභාගි නොවීම ගැන මම අදත් දුක් වෙමි.

රංජිත් අයියා 'කුරුලු බැද්ද' චිත්‍රපටයේ රඟපෑමෙන් පසු. එහි නිෂ්පාදක ජෝන් අමරතුග මහතා නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබූ 'බේබද්දා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරා ගෙන තිබුණි. ජී. එච්. පෙරේරා කවියා ලියු 'බේබද්දා' කෙටි කතාව ඇසුරින් නිපැදවුණු මේ චිත්‍රපටයේ ඔහු රඟපෑ ඡායාරුපයක් 1961 වසරේ 'සිළුමිණ' පත්‍රයේ පළ වී තිබුණු අතර ඒ පිළිබඳව මගේ වැඩිහිටියන් සමඟ ආසාවෙන් කතා කරනු මා අසා තිබුණි.

'කුරුලු බැද්ද' චිත්‍රපටයේ පුණ්‍යාගේ මනමාලයා වූ රංජිත් අයියා විවාහ වන දර්ශනයේ පසුබිමින් ගැයුණු කවි (ගායනය ධර්මදාස වල්පොල) අතර මේ කවියට ඔහු බෙහෙවින් ඇලුම් කළේය. ඒ පෙළ රචනා කර තිබුණේ පී. කේ. ඩී. සෙනෙවිරත්න කවියා විසිනි.

වැඩිහිටියනට කීකරුකම නොම බින්ද
දීගෙක ගියා ඇය හිමියකු හා බැන්ද
දෙමාපියන් නිදහස් වුණ මුත් ඉන්ද
පාලුයි ගමේ ඇළ දොළ වෙල ළිඳ ලන්ද

'කුරුලු බැද්ද' චිත්‍රපටයේ පුණ්‍යා සමඟ දීග ගිය පසු රංජිත් දයානන්ද තම බිරිඳ සමඟ ලණු අඹරන දර්ශනය මට අමතක කළ නොහැක. එසේ මේ යුවතිපතින් පන්සලේ බුදුන් වඳින සමීප රූපය ද තවත් මතක සටහනකි. මෙහි පළ වන්නේ ඒ ඡායාරූපයයි. රංජිත් අයියා ගැන මතක සටහනින් පසු ගිය සතියේ ලියාගෙන ගිය විස්තරයට මම එකතු වෙමි.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ රැකියාව මට හිමි නොවන බව ස්ථිර විය. එයට සුදුසුකම් ලැබූ අයිවන් වීරක්කොඩි මා සමඟ පැවසුවේ 'ගාමිණී ෆොන්සේකා' සමඟ ඇති සමීප ඇසුර පොලිස් වාර්තාවලින් තහවුරු වී ඇති නිසා' රැකියාව නොලැබෙන බවය. ඒ ගැන මම යටි සතින් සතුටු වීමි. මේ නිසා මට පෙම්වතියක් ලැබී තිබීම මට ඊට වඩා සතුටක් විය. මම සෑම සෙනසුරාදාවකම දමයන්තිලාගේ මොරටුවේ පිහිටි' නිවසට යාම පුරද්දක් කොට ගතිමි.

'රේඩියෝ සිලෝන්' එකට ගිය එක් දිනයක පටිගත කිරීම් නිමවා කැන්ටිමට ගිය අවස්ථාවක දමයන්තිට මගේ කැමැත්ත පළ කළෙමි. ඇය මගේ විස්තර ඇසුවාය. මගේ අම්මා ජීවතුන් අතර නැති බව ඇසූ ඇය වඩාත් මා ගැන සැලකිලිමත් වූ අතර ඇතැම් දිනයක ගෙදරින් කෑම එකක් ගෙන ඒමට තරම් කාරුණික වූවාය. මේ කාලයේ මාත් කුලරත්න ආරියවංශත් විද්‍යාලකාර විශ්ව විද්‍යාලයේ (අද කැලණි විශ්ව විද්‍යාලය) ජී. ඒ. කියු. විභාගයට සූදානම් වෙමින් සිටියෙමු.

ලේක්හවුසියේ චිත්‍ර ශිල්පීන් සමඟ ද මට සමීප ඇසුරක් ඇති කර ගැනීමට හැකි විය. සරසවියේ චිත්‍ර ශිල්පී එස්. ආර්. හේමපාල ළඟ ඇති අසුනට වී පැරැණි චිත්‍රපට තොරතුරු කතා කිරිමෙන් මම සතුටක් වින්ඳෙමි. ආදී ආනන්දීයකු වූ ඔහු චිත්‍රපට නිෂ්පාදක හා සන්රයිස් මුද්‍රණාලය හිමි රෙඩිමන් ජයසුන්දරගේ කිට්ටු ඥාතියෙකි. එස්. ආර්.ට සිනමා ලෝකයේ තොරතුරු රහට කීමට පුදුම හැකියාවක් තිබුණි. ආදී ආනන්දීයකු වූ ඔහු චිත්‍රපට නිෂ්පාදක හා සන්රයිස් මුද්‍රණාලය හිමි රෙඩිමන් ජයසුන්දරගේ කිට්ටු ඥාතියෙකි. එස්. ආර්. සිනමා ලෝකයේ රසමුසු තොරතුරු රහට කීමට පුදුම හැකියාවක් තිබුනි. සරසවියේ ශීර්ෂ පාඨ අඳිමින් වරෙක හයියෙන් සිනාසෙමින් ඔහු මට ඒ කතා කීවේය.

'එස්. ආර්. ඕව සරසවියට ලියන්නකෝ' මම කිහිප වතාවක්ම කීවෙමි. එහෙත් එය පළ නොදැරීය.

දිනක් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් කඩිමුඩියේ 'සරසවිය' කර්තෘ මණ්ඩලයට ආවේය. ඒ සතියේ ඔහුගේ චිත්‍රපටය ගැන මම ලිපියක් ලියා තිබුණි.

'අර ආටිකල් එකට දුන්න තැන හොදටම මදි. පින්තූරත් දෙකනෙ දාල තිබුණේ' ඔහු උස් හඬින් කියනු කර්තෘ විමලසිරි පෙරේරා මහතා තම වීදුරු කුටියේ සිට බලා සිටියේය.

ඔහු මා කාමරයට කැඳ විය.

'මොකද අරය ශබ්ද දාන්නේ . . .'

'එයගේ චිත්‍රපටය ගැන ලිව්ව ප්‍රමාණය මදිලු'

'එයාට එන්න කියන්න'

අන්න සේනානායක මහත්තයට කර්තෘ මහත්තයා එන්න කියනවා'

ඔහු වේගයෙන් කර්තෘගේ කාමරයට ගියේය.

ඔහු තම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

කර්තෘ මහතා හිසෙන් මා ඇමතීය.

'කෝ මෙයා ගැන ලිව්ව ආටිකල් තියෙන පත්‍රය ගෙනෙන්න'

මම පත්‍රයේ ඒ ලිපිය පෙරළා කතුතුමා අත තැබීය.

'මීට වඩා තව මොනවද? මම පිටුව හැදුව නං දෙන්නේ පිටු භාගයයි' කතුතුමා කීය.

'නෑ, මම හිතුවා පත්තරේ මැද පිටුවේ පළ වේවි කියලා මිස්ටර් පෙරේරා. චෙයාමන් (රංජිත් විජේවර්ධන මහතා) මගේ හොඳ හිතවතෙක්' නිෂ්පාදකයා කීය.

කර්තෘතුමාට යකා නැග්ගේය.

'තමුසෙ චෙයාමන්ගේ හිතවතෙක්නේ. එනවා මගේ පුටුවට. ඇවිත් වැඩ කරනවා' කර්තෘතුමා පුටුවෙන් නැගිට නිෂ්පාදකයාට තම පුටුව පෙන්නුව්ය.

'මිස්ට පෙරේරාට හරියට කේන්ති යනවා නේ' නිෂ්පාදකයා ඉක්මනින් කාමරයෙන් පිට විය.

තවත් දිනක තරුණයන් කිහිප දෙනෙක් කර්තෘ මහතා හමුවීමට ආහ.

එවරද කර්තෘ මහතා මා ඇමතීය.

'රංජිත්, මේ තරුණයෝ චිත්‍රපටයක් හදන්න යනවා. අපි උදව් කරමු කරන චිත්‍රපටයේ රූප රාමු චිත්‍ර කතාවකට ඇදලා තියෙන්නේ. මෙයත් රංජිත්. දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. සමන් මුද්‍රණාලේ චිත්‍ර ශිල්පියෙක් '. එක් තරුණයකු මට හඳුන්වා දෙමින් කර්තෘ මහතා කීය.

මම ඔවුන් මගේ මේසය අසලට කැඳවා ආසන සැපයීමි.

'මම රංජිත් පීරිස් (හර්බට් රංජිත් පීරිස්) මම ඔයාලගේ 'නිම්වළල්ලත් බැලුවා. අපි පූර්වාදර්ශය ගත්තෙත් ඒ චිත්‍රපටයෙන්'

'මමත් පිට කවර අඳිනවා. ඒ වුණාට ඔයාගේ කවර තමයි මට පූර්වාදර්ශ වුණේ' මම කීවෙමි.

ඔහු නිහතමානීව සිනාසුණේය.

මා කීවේ සත්‍යයකි. රංජිත් පීරිස් එකල නිර්මාණය කළ නරිබෑණා (දයානන්ද ගුණවර්ධන) අතරමඟ (නාමෙල් වීරමුනි) යම යුද්දේ (සු. හැ. ජ. සුගුණසිරි) මැකී ගිය දඩමං (ඒ. පී. ගුණරත්න) මනමේ (එදිරිවීර සරච්චන්ද්‍ර) ගැහැනු කවුරුද වරද නොබැඳෙන (ඇස්. ජී. සමරසිංහ) මැංචෝසන් චාරිකා (ඩී. බී. කුරුප්පු) දිගාමඩුල්ලේ ආශ්චර්යය (මායා රංජන්) පිට කවර මගේ පොත් කවර නිර්මාණයන්ට බෙහෙවින් අනු ප්‍රාණයක් වූ බව එදා මම කිවෙමි.

අද රංජිත් (හරර්බට් රංජිත් පීරිස්) ජීවතුන් අතර නැත. පසු කලෙක අපේ සමීපතම රසවත් මිතුරකු වු ඔහු ගැන විශේෂාංගයක් ලිවීමට අනුර බණ්ඩාර රාජගුරු හා කැමරා ශිල්පී උපාලි ෆොන්සේකා සමඟ ගිය ගමන සදා අමතක නෙවේ. ඔහු කොතරම් සොඳුරු මිනිසෙක්ද?