|
|
සුනිල්ලාගෙන් පසු සරත්ලා ගැන කියවමු
පසුගිය සතියක අපි සිනමාවේ සිටින සුනිල්ලා ගැන කතා කළා. ඒ ඔස්සේ තවත් සොයා බලනවිට කලා ලොවේ තවත් එකම නමින් සිටින පිරිසක් හමු විය. ඒ නාමය සරත්. අපේ කලා ක්ෂේත්‍රයේ සරත්ලාද බොහෝ වෙති. එහිදී රංගනය දෙස බැලුවොත් නළුකම දරන සරත්ලා කිහිප දෙනෙකුම හමු වේ. ඒ අතරින් බොහොමයක් වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයේත් දස්කම් දැක්වූවන් වීම විශේෂය.
සරත් දික්කුඹුර දශක තුනක පමණ අත්දැකීම් බහුල රංගන ශිල්පියෙක්. මේ සරත් වේදිකාවෙන් පටන් ගත්තු ගමනේ අමරපුර, සරදියෙල්, මහතලා සටන, චක්‍රායුධ වැනි ටෙලි නාට්‍ය රැසකට දායක වුණා. මුවන්පැලැස්ස ටෙලි නාට්‍ය මාලාවේ ජන්තු වුනෙත් ඔහු. සරත් කුලාංගත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රවේ සම්මානනීය චරිතයක්. නළුවෙක් විතරක් නොවෙයි, පිටපත් රචකයෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසත් මේ සරත් වේදිකාවේ සම්මානීය වෙලා තියෙනවා. ඒ වගේම පුංචි තිරයේත් ඔහු අමතක නොවන චරිත මැවූ නළුවෙක්.
සරත් කොතලාවලත් වේදිකාව, ටෙලි නාට්‍ය වගේම සිනමාවත් ජයගත් සරත් කෙනෙක්. සම්මානනීය චිත්‍රපටයක් වුණු ‘තන්හා රතී රඟා’ චිත්‍රපටයේ පිටපත් රචනයට දායක වූ සරත් කොතලාවල එහි රංගනය වෙනුවෙන් හොඳම නළුවා ලෙසින් සම්මානයටත් පාත්‍ර වුණා. නරිබුරති වේදිකා නාට්‍ය නිර්මාණය කළෙත් ඔහු.
සරත් චන්ද්‍රසිරිත් පුංචි තිරයේ ඉහළ ජනප්‍රියත්වයත් දිනා ගත් තවත් සරත් කෙනෙක්. පබා ටෙලි නාට්‍යයේ රංගනය බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණා. ඒ වගේම වේදිකාවේත් තමන්ගේ අනන්‍යතාවයෙන් සරත් නාමය රඳවන්න ඔහුට හැකි වෙලා තියෙනවා. සරත් නාමල්ගම නළුවෙක් වගේම සමාජ සේවයටත් ලොකු කැපවීමක් කරන අයෙක්.
වේදිකාවෙන් රංගනයට පය තැබූ සරත් කරුණාරත්නත් මේ කුලකයේම තවත් අයෙක්. වේදිකාවෙන් සිනමාවට පැමිණි මේ සරත් ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්තේ සිහින පුරය ටෙලි නාට්‍යයෙන්. සරත් පීරිස් විකට රංගනයේ උපන් හපනෙක්. සරත් හෙට්ටිආරච්චිත් රංගන ක්ෂේත්‍රයේ එක් වෙලා ඉන්නවා. සිකුරු තරුව චිත්‍රපටයේ රඟපෑ සරත් ප්‍රේමතිලකත් අපට අමතක වුණේ නැහැ. ඔහු දක්ෂ පුවත්පත් කලාවේදියෙක් වගේම ලේක්හවුස් ආයතනයේ ක්‍රීඩා පුවත්පතේ ආරම්භක කර්තෘවරයාද වෙනවා.සරත් ප්‍රේමතිලක සරසවිය පුවත්පතේ ආරම්භක කර්තෘ මීමන ප්‍රේමතිලකගේ පුත්‍රයෙකු වන අතර ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකගේ සහෝදරයා.
ඇත්කඳ ලිහිණියා, භේරුඬ පක්ෂියා සේම සූවිසි විවරණ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළ සරත් ධර්මසිරි අධ්‍යක්ෂවරයෙක් විතරක් නොවෙයි. ස්වයංජාත ටෙලි නාට්‍යයේ පිටපත රචනා කළෙත් ඔහු. අපේ රටේ ආරක්ෂක අංශයේ වගකීම් රැසක් ගෙන කටයුතු කළ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර චිත්‍රපට අධ්‍යක්වරයෙක් වුණේ ගාමණී චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්.
මේ සරත්ලා විතරක් නොවෙයි, කලා ක්ෂේත්‍රයේ විවිධ අංශයන්හි කටයුතු කරන තවත් සරත්ලා සිටිනවා. සරත් ගුණරත්න චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සේම තිරකතා රචකයෙකුද වෙනවා. වත්සලා අක්කා, චිට්ටි අධ්‍යක්ෂණය කළෙත් ඔහු. ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසි සරත් ද අල්විස් සංගීත අධ්‍යක්ෂයෙන් කළ සේවය ඉතාම ඉහළයි. සරත් වික්‍රම දායක වුණෙත් සංගීත අධ්‍යක්ෂයෙන්. සරත් සමරවික්‍රම කලා අධ්‍යක්වරයෙක් කටයුතු කරන විට සරත් සේනාරත්න සහය අධ්‍යක්ෂණයෙන් තම දායකත්වය සපයනවා. සරත් රණවීර කටයුතු කරන්නේ වේශ නිරූපණ ශිල්පියෙක් ලෙසින්.
|







