වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




උදාරි විවාහක විශ්ව රූ රැජන තරගයට...

උදාරි විවාහක විශ්ව රූ රැජන තරගයට...

පසුගිය කාලයේ ලංකාවේ විවාහක රූ රැජන තරගයේ දිනුමත් සමඟ ඇය විශ්ව විවාහක රූ රැජන තරගාවලියට යන්නට වරම් ලැබුවා. ඒ ලැබුව ජයග්‍රහණයේ උණුසුම මැකී යන්නට පෙර අප ඇයව හමුවුණා.

‘උදාරි වර්ණකුලසූරිය’

ඈ අසලම සිටියේ කුඩා දැරිවියක්. තෙහැවිරිදි වයසේ තරම් යැයි පැවසිය හැකි මේ සුන්දර දැරිය උදාරිගේ ගවුමේ එල්ලිලා අපි දෙස බැලුවේ විමසිල්ලෙන්. ඇගේ කොණ්ඩයේ රදවලා තිබුණු රතු පැහැති මල කුඩා දැරියගේ සුන්දරත්වය තවත් වැඩි කළා. අප දුටු වනම අම්මාගේ ගවුමේ මුහුණ හංගා ගත් දැරියට කතා කරමින්ම අප සැප පහසු අසුනක අසුන් ගත්තා.

“ ෂෙනී අර සෙල්ලම් බඩු ටික අරගෙන සෙල්ලම් කරන්න.”

සිය දියණියට එහෙම කියමින්ම උදාරි අප අසලින් අසුන් ගත්තේ දිගු කතාබහකට මුල පුරන අදහසින්.

“හැම වැඩක්ම පසෙකට ලා මේ දවස්වල ඔබ තරගයට යන්නද සූදානම් වෙන්නේ ? ”

“ විවාහක විශ්ව රූ රැජන තරගය දෙසැම්බර් මාසයේ චීනයේ දි පැවැත්වීමට නියමිතයි. ඒ නිසා වෙනදාට වඩා තිබෙන වෙනස තමයි ඒ සඳහා සූදානම් වීමයි. මේක රූප සුන්දරී තරගයක් වුණාට රූපයම පමණක් නොවෙයි බලපාන්නේ. ලංකාවේ තරගයක් තිබුණා වුණාට නියම තරගය ආරම්භ වෙලා තිබෙන්නේ දැන් තමයි. මොකද ලෝකයක් සමඟයි මට තරග කරන්න සිදු වී තිබෙන්නේ. ඒකට රටේ අනන්‍යතාව ලෝකයට අරන් යනවා වගේම මා ඇතුළතත් හොඳ පෞරුෂයක් ගොඩනඟා ගත යුතුයි. ශරීරය ගත්තත් අපි ලෝකයත් සමඟ මේ විදියට තරග කරන්න බැහැ. ඒ අතින් වුණත් අපි සර්ව සම්පූර්ණ වෙන්න ඕනෑ. ඊට මට හැකි උපරිමයෙන් කැපවී වැඩ කරන එකයි මා මේ දවස්වල කරන්නේ. ”

ඒ අනුගමනය කරන ව්‍යායාම නිසා වෙනදාටත් වඩා උදාරි කෙට්ටු වී ඇති හැඩකි පෙනෙන්නේ.

“ඒ සඳහා මොනවගේ කටයුතුවල ද ඔබ නියැලෙන්නේ ? ”

“ තව කෙට්ටු වෙන්න ඕන නිසා මම මේ දවස්වල කරන්නේ ව්‍යායාමවල නියැලෙන එකයි. ඊට අමතරව සමාජ සේවා කටයුතු කිහිපයක් සූදානම් කරගෙන යනවා. ඒ අතර කාලීන අවශ්‍යතාවක් වී තිබෙන දැරියන් අතවරයට ලක්වීම කියන කාරණය මූලික කරගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යමක් කළ යුතු යැයි අප සිතුවා. මේ තත්ත්වයට වැඩිපුරම ලක්වන්නේ ගම්වල ඉන්න ළමයි. ඒ සඳහා මම හදාරපු අංගම් පොර කියන සටන් ශිල්පය හරහා යමක් කළ හැකි නේද කියන අදහස මගේ සිතේ නැඟුණා. ආරක්ෂාව පිළිබඳ වැඩසටහන් මාලාවක් අජන්ත මහතාරච්චි මහත්තයාගේ ප්‍රධානත්වයෙන්, මම සහ මගේ කණ්ඩායමත් සමඟ පාසල් ළමයි වෙනුවෙන් කරගෙන යනවා.

එහිදි අප සිදු කරන්නේ පාසල් දැරියන්ගේ පෞරුෂය නැංවීම මඟින් යම් ප්‍රශ්නයක් ඇති වූ විට අන් අයගෙන් ආරක්ෂා වීමත්, තමන්ට එදිනෙදා විය හැකි තර්ජනවලින් ආරක්ෂා වීමට අවශ්‍ය ටෙක්නික් කිහිපයක් කියාදීමටත් අප අදහස් කරනවා. ඒ ඔස්සේ ඔවුන්ට බය නැතිව පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්නයි මට උවමනා වී ඇත්තේ. ඒත් සමඟම තුන් වැනි ලෝකයේ රටක් විදියට අප සෞඛ්‍ය සම්පන්න රටක් විය යුතුයි. ඊට අවශ්‍ය සෞඛ්‍ය වැඩසටහන් මාලාවක් ගමින් ගමට රැගෙන යන්නත් මා අදහස් කරගෙන සිටිනවා. දේශීය හා බටහිර වෛද්‍ය කියන අංශ දෙකම යටතේ වෛද්‍යවරු රැසක් මේ කටයුත්තට සහභාගි වීමට අදහස් කරගෙන සිටිනවා. මේ සියල්ල සිදු කරන්නේ නොමිලේ වීමත් විශේෂත්වයක්.”

කාර්යබහුල ජීවිතයක් ගත කරන උදාරි මෙවැනි කටයුතු රැසක් කරන්නට ඉඩ හසර පාදා ගන්නේ කෙසේදැයි මගේ සිතට නැඟුණේ ප්‍රශ්නයක්. ඒ වගේම

“මේ තරම් කටයුතු රැසක් කරන්නට ඔබට සහය වන්නේ කවුරුන්ද ?”

“මේ කටයුතු සියල්ල කරන්න මම පළමුව උපදෙස් ගන්නේ මගේ දයාබර සැමියාගෙන්. ඊළඟට මගේ අම්මා, තාත්තාගෙන්. මම කරන්න යන සියලු දෙවටම මුලින්ම අවවාද ගන්නේත් ඔවුන්ගෙන්. ඒ වගේම මේ කටයුත්තේදි වාසනා දන්ත නාරායන, ඇගේ සැමියා රසික අයියා කියන දෙදෙනාත්, රොසෑන් ඩයස්, මයිකල් විජේසූරිය, ලක්ඛිත උක්වත්ත මේ කටයුත්තේදි මට ගොඩාක් උදව් කළා. ඔවුන් සියලු දෙනාගෙන්ම මට ලැබෙන සහයෝගය නොතිබුණා නම් මේ තරම් දුරක් මට එන්න වෙන්නේ නැති බවත් කිව යුතුයි. ”

මෙතෙක් පැමිණිය ගමනේ දි උදව් කළ සියල්ලන්ටම ඈ ස්තූති කළා. එහෙත් සිය රංගන කටයුතුත්, මේ කටයුතුත් සිදු කෙරෙන නිසා උදාරිගෙන් මවක ලෙස, බිරියක ලෙස සිදුවිය යුතු යුතුකම් සියල්ල සිදු නොවෙනවා ඇති කියලා යම් කෙනෙකුට නොසිතුණොත් පුදුමයි.

“නිවෙසේ කටයුතු කරන්නට උදාරිට කාලයක් තිබෙනවද ? ”

“ මොන දේ කළත් මම අංක එක දෙන්නේ මගේ පවුලටයි. අනෙක් සියලු කටයුතුවලට ලැබෙන්නේ දෙවැනි තැනයි. මම අද සාර්ථක රංගන ශිල්පිනියක් වී සිටීමේ රහස වෙන්නේ සාර්ථක බිරියක්, මවක් කියන භුමිකාවල සාර්ථක ලෙස කටයුතු කිරීමයි. මොකද අදටත් මගෙන් පවුලට විය යුතු යුතුකම් සියල්ල ඉටු කරලා තමයි දෙවනුව මගේ අනෙක් කටයුතු කරන්නේ. ඒ නිසා ඔවුන්ට මගෙන් කිසිම අඩුපාඩුවක් මේ වනතුරුම සිදු නොවුණු වග මා විශ්වාස කරනවා. ඊළඟයි මගේ රංගන කටයුතු ගැන බලන්නේ. මේ දවස්වල නම් තාවකාලිකව රංගන කටයුතුවලට සමුදිලයි මා සිටින්නේ. ඒ තරගයට තියෙන්නේ මාස හතරක් නිසා. රූගත කිරීම්වල නියැළුනොත් ව්‍යායාම කරන්නවත් කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. අනික් එක එතැනදි වේල් තුනම බත් කන නිසා මේ වගේ තරගයකට සූදානම් වෙන්නත් අමාරුයි. ඒ වගේම ඒකට රටේ අනන්‍යතාව පිළිබිඹු වන ඇඳුමක් සූදානම් කර ගන්නත් උවමනායි. අනන්‍යතාව පිළිබිඹු වන ටැලන්ට් ෂෝ එකක් කරන්නත් තියෙනවා. මේ සියලු දේ කර ගැනීමට කාලය අවශ්‍ය නිසා මම තාවකාලිකව රංගනයට සමු දුන්නා. මොකද මා මේ ඉදිරිපත් වුණු කටයුත්ත නියම ආකාරයෙන් කළ යුතුයි. ඒ මගේ දයාබර ප්‍රේක්ෂකයන් මා ගැන විශ්වාසය තියලා තියෙන නිසයි. ”

“ඒ කියන්නේ ඔබ මේ දවස්වල හොඳට කෑම පාලනය කරනවා? ”

“ කෑමවලින් නම් පරිස්සම් වෙනවා මම බොහොම අඩුයි. ඩයට් කළොත් ඇඟ දුර්වල වෙනවා. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට පුරුදු වෙලා තිබෙනවා. වැඩිපුර ව්‍යායාම කරනවා.”

ඒ අතර අප අසලට පැමිණියේ උදාරිගේ දයාබර සැමියා සුජිත්. ඔහු ඈ අසලම අසුන් ගත්තා. එහෙත් වැඩි වෙලාවක් ඔහුට ඈ අසල ඉන්නට නොලැබුණේ දුව ඔහුට කතා කළ නිසා. මේ අතර මා ඇගෙන් මෙහෙම විමසුවා.

“උදාරි අවදි වෙන්නේ කීයටද? ”

“ මේ දවස්වල සැමියා ලංකාවට ඇවිල්ලා ඉන්නේ. සතියක් විතර ඔහු අපත් සමඟ ගත කරලා අදයි නැවත විදේශ ගත වෙන්නේ. ඒ නිසා මේ හැමදේකින්ම ඈත්වෙලා ටිකක් මම දවල් වනතුරු නිදියනවා. නැතිනම් දුව ළදරු පාසලට යන නිසා උදේ හය වනවිට ඇහැරෙනවා. කෑම හදලා, එයාව සූදානම් කරලා පාසලට ගිහින් ඇරලවන්නෙත් මමම තමයි. එයා ඉස්කෝලේ යන්නේ කළුබෝවිල සී.එස්.අයි කියන ඉන්ටර් නැෂනල් පාසලටයි. මගේ අතින් මේ කටයුත්ත අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ වගේම මොන වැඩ කටයුතු තිබුණත් දුවව පාසලෙන් ගන්නත් යන්නේ මමමයි. කොහේ සිටියත් ඒ කාර්යය මගේ අතින් සිදු වෙනවා. පසුගිය කාලයේ වැඩ කටයුතුවලට වෙනත් කෙනෙක් සිටියත් දැන් නම් ඒකෙනා නැහැ. මගේ තාත්තා ඉන්නෙත් මගේ ළඟම නිසා ඒක මට බොහොම පහසුවක්. ”

උදාරිගේ දුව ෂෙනාර්යා උමේරි විජේරත්න. ඈ අප අසලට පිය මැන්නේ සෙමෙන් සෙමෙන්. සුරතල් දැරිය අතේ තිබුණේ ලස්සන චිත්‍රයක්. ඈ එය මා වෙත පෑවා. පවුලේ සියල්ලන්ගේම රූප ඇඳ තිබුණු ඒ චිත්‍රයේ ඇගේ රූපය බෙහෙවින් සුන්දරව රූපයට නඟා තිබුණා.

“ බොහොම ලස්සනයි.” මා එහෙම පැවසූ විගස ෂෙනාරියාගේ සුරතල් සිනහ හඬ මුළු නිවෙසෙම පැතිරුණා.

“ඔබගේ කටයුතුවලට දුවගෙන් කරදර ද?”

“ දුව හරිම කීකරු ආදණිය දරුවෙක්. එයාට වයස අවුරුදු තුනක් වුණත් ඒ වයසට වඩා තැන්පත් බවක් පෙන්වනවා. දඟකරන්නේ නැහැ. කියන දේවල් ඒ විදියටම කරනවා. තනියම ඉඳගෙන කනවා. එයාගෙන් කිසිම කරදරයක් නැහැ. ඒ නිසා මට වෙන කෙනෙකුගේ සහය පතන්න අවශ්‍ය වන්නේ නැහැ. දුව රූපවාහිනියෙන් මාව දකින නිසා, රූගත කිරීම්වලදි කරන දේවල් දකින නිසා ඒ දේවල් කරන අවස්ථා තිබෙනවා. රියැලිටි වැඩසටහන් නරඹලා ඒ විදියට නටනවා. එයා සංගීතයට බොහොම ළැදියි. එවැනි දුවකගේ මවක් වීම සම්බන්ධයෙන් මට දැනෙන්නේ ආඩම්බරයක්. සතුටක්. ”

ඒ සතුට උදාරිගේ මුහුණ එළිය කළා.

“උයන පිහන කටයුතු සිද්ධ වෙන්නෙත් උදාරි අතින්ම ද? ”

“ වැඩිපුරම ගෙදර උයන්නේ තාත්තා. බබාගේ පාසල් යන කෑම වර්ග වෙනස් නිසා ඒ කටයුතු කරන්නේ මම තමයි. සතියේ දවස් පහේම කෑම වර්ග පහක් දිය යුතුයි. ඊට අමතරව තාත්තත් උයනවා. උදේම දුවව පාසලට ගිහින් දාලා පස්සේ තාත්තත් එක්ක එකතු වෙලා උයනවා. විශේෂයෙන්ම දුවගේ රුචිකත්වයටයි මුල් තැන හිමි වන්නේ. ඊට පස්සේ මගේ වැඩකටයුතු සමඟ කාලය ගත කරනවා. ළඟදීම ලෝන්ච් කිරීමට නියමිත මගේ වෙබ් සයිට් එකේ කටයුතුවලට මේ දවස්වල මහන්සි වෙනවා. නැවතත් පාසලෙන් දුවව ගේනවා. එයාට කෑම කවලා, නාවලා මගේ වැඩ කටයුතුවලට පිවිසෙනවා. ඒ විදියටයි මගේ දවස ගත වෙන්නේ.”

මේ අතර උදාරිගේ සැමියා සුජිත් ඉන්දීවර දුවව උදාරිගේ අතට දුන්නා. ඔහු වෛද්‍යවරයෙක්. සිංගප්පූරුවේ රෝහලකයි ඔහු රැකියාවේ නිරත වෙන්නේ.

“ඇත්තටම උදාරි වගේ බිරියක් ලැබීම ගැන මට තියෙන්නේ ආඩම්බරයක්. අපි දෙන්නා ජීවිතය ආරම්භ කරන්නේ බින්දුවෙන්. එතැන් පටන් තමයි මේ තත්ත්වය දක්වා පැමිණියේ. ඒ දේවල් සමඟ ඈ ලැබුව ජයගුහණය ගැන මට තිබෙන්නේ සතුටක්. ”

“ ඇත්තටම මගේ සෑම කටයුතුවලට ඔහුගෙන් ලැබෙන සහයෝගයත් මෙහිදි සිහිපත් කළ යුතුයි. මේ සෑම වැඩ කටයුත්තකදිම මගේ ළඟ සෙවණැල්ල වගේ ඉන්නේ ඔහුයි. ”

ළඟදී පැවැත්වුණු රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වුණෙත් උදාරියි. මේ සියලු ජයග්‍රහණත් සමඟින්ම ඇය රංගනයෙන් දිගු ගමනක නිරත වීමටත් අදහස් කරන්නියක්. ඇගේ ඒ සියලු අදහස් සඵල වෙන්න කියලා සුබ පතන ගමන්ම අප ඔවුන්ගෙන් ඉක්මනට සමු ගත්තා. ඒ උදාරිටත්, දුවටත්, සුජිත්ව ඇරලවන්න ගුවන්තොටුපොළට යන්න තිබෙන නිසා.