වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අමරදේව මාස්ටර් හා මාල ගිරවි

අමරදේව මාස්ටර් හා මාල ගිරවි

පණ්ඩිත් අමරදේව

එම්.එස්.ප්‍රනාන්දු

අමරදේව මාස්ටර් මිත්‍ර සමාගමයට, විනෝද ගමනට බිමනට නැතුවම බැරි, ඉන්නම ඕන, අපූරුම රසවතෙක්, විනෝදකාමියෙක් බව එතුමත් එක්ක මිත්‍ර සමාගමයන්ට එක් වුණු, ගමනට හවුල් වුණු අපි හැමෝම දන්න කාරණයක්. ඒ වගේ මොහොතක ඔහුගේ ආචාර්ය, විශාරද, පණ්ඩිත වගේ උපාධි පට්ටම්, නම්බුනාම, ඔක්කොම පැත්තකින් තියලා සාමාන්‍ය සරල චරිතයක් වෙනවා අපි දැකලා තියෙනවා. අමරදේව මාස්ටර් එක්ක බැරෑරුම් නිර්මාණ කටයුත්තකදී හැරෙන්න සාමාන්‍ය විවේක මොහොතක ඔහු හැසිරෙන්නේ, කතාබහ කරන්නේ පුදුම නිදහසකින්. සැහැල්ලුවකින්. විවේක පාඩුවේ දුම්වැටියක මිහිර විඳින කොට, උණුසුම් වතුරට බ්‍රැන්ඩි එක් කළ මධුවිතක මිහිර විඳින කොට, එහෙම වෙලාවක ඔහු කැමති ගීතයක් ගයන කොට, ඒ නම් මොන සුන්දර මොහොතක් ද කියලා අපට කල්පනා වෙනවා. ගායනයේදී ඔහුටම ආවේණික අභිනය දෑතෙහි චලනය, බලා සිටීමත් අපූරු වින්දනීය අත්දැකීමක්. හැබෑ කලාකරුවෙක් කියන්නේ හැම තිස්සෙම සාමාන්‍ය ජනතාවට සමීප චරිතයක්. පණ්ඩිත් අමරදේව ඊට හොඳම නිදසුනක්.

දූ දරුවෝ ටෙලි නාට්‍ය මාලාව අපේ රටේ ටෙලි නාට්‍ය කලාවේ විශේෂ ලකුණක් සටහන් කළ නිර්මාණයක්. අද මෙන් දිනපතා රාත්‍රි කාලයේ නිවසට එන බොහෝ ටෙලි බලි මෙන් නොව ප්‍රේක්ෂක රසිකත්වයට නිගා නොකළ ටෙලි නාට්‍ය මාලාවක් ලෙස අනූ ගණන්වල නාලන් මෙන්දිස්, සන්ධ්‍යා මෙන්දිස් සුසංයෝගයෙන් සතිපතා අප වෙතට පැමිණි දූ දරුවෝ. මතක් කරන්න එහි රඟපෑ නළු නිළියන්ගේ විශිෂ්ටත්වය. හෙන්රි ජයසේන, අයිරාංගනී සේරසිංහ, එච්. ඒ. පෙරේරා, සුනේත්‍රා සරච්චන්ද්‍ර, නීල් අලස්, ජයලත් මනෝරත්න, චාන්දනී සෙනෙවිරත්න, නිල්මිණි තෙන්නකෝන්, උදේනි අල්විස්, අජිත් ලොකුගේ, යශෝධා විමලධර්ම, කැලුම් විජේසූරිය සමඟ දීපානි සිල්වා. මේ වන් විශිෂ්ටයන්ගේ රංගන අදත් අපේ මතකයේ රැඳිලා තියෙන්නේ සෝමවීර සේනානායක වගේ සූර රචකයකුගේ පිටපතෙහි වූ කලාත්මක නාටකීය ගුණය නිසාමයි. දූ දරුවෝ සිය වන කොටස විකාශයෙන් අනතුරුව සෝමවීරගේ උපන් ගමේ රුවන්වැල්ලේ විහාරස්ථානයක වේවැල්දෙණියේ ආනන්ද හිමියන් මත් ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරනවා දූ දරුවෝ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානත්වයෙන්. ටෙලියේ ප්‍රධාන නළු නිළි පිරිස සමඟ ඔවුන් රුවන්වැල්ලේ යනවා විශේෂ ආරාධිත අමුත්තෝ දෙන්නෙකුත් සමඟ. විශාරද අමරදේව සමඟ විශාරද නන්දා මාලිනී ඒ දෙන්නා.

කොළඹ ඉඳලා රුවන්වැල්ලට යන අතරතුරේ සුපුරුදු නාට්‍ය බස් රියකදී වගේ දූ දරුවෝ නළු නිළියෝ ගීත ගයන්න පටන් ගන්නවා. හැබැයි ප්‍රවේශමෙන්, මොකද ජ්‍යෙෂ්ඨ ගායක ගායිකා යුවළ බස් රියේ ගමන් කරන නිසා. පණ්ඩිත් අමරදේවයන් මේ අයගේ ගීත අහගෙන යනවා. අවිස්සාවේල්ලට කිට්ටු වෙනකල්ම ගායනා කරන්නේ බොහොම සරල ගීත. වෙනදා වගේ වේග රිද්ම ගීතයක් ඇහෙන්නෙම නෑ. අමරදේව මාස්ටර්ට දැන් ටිකක් වැඩේ අල්ලන්නේ නැති පාටයි. ඔහු මනෝට කතා කරනවා. මොනවද මනෝ ඔය කියන සිංදු? ට්‍රිප් යනකොට ඕව කියනවද? ඈත කඳුකර, පාළු අඳුරු , කප් සුවහස් කල් කියනවද ට්‍රිප් එකකට. අපි මේක කියමු කියලා අමරදේව මාස්ටර් පටන් ගත්තේ නැද්ද එම්. එස්. ගේ රස ආහර කවලා රන් කූඩුවෙ දමලා ගීතය. ඒක ගායනා කළා විතරක් නෙවි මාස්ටර්ගේ ගායන ශෛලියට අපත් සුපුරුදු අභිනයෙන් දෑත් චලනයෙන් එක් වුණා. අජිත් ලොකුගේ මේ කතාව මතක් කළේ ගිරිරාජ්ගේ තාත්තගේ අවමඟුල් දවසේ. සිහිනයකි රූ වැඩ සටහනට දීපිකාට ගයන්නට මම එම්. එස්. ගේ ගීතයක් තේරුවේ ඇයි ද කියලා රසිකයෙක් අහපු වෙලාවෙ අජිතුත්, නාලනුත් කිව්වේ අයියෝ බුද්ධි අයියා ඕක මොකක්ද අපේ දූ දරුවෝ ට්‍රිප් එකේදී අමරදේව සර් එම්. එස්. ගේ මාල ගිරවිත් කිව්වට පස්සේ.