|
‘ස්වර්ණ වර්ණ’ රස විඳින්න ස. ප්‍රියාගෙන් ඇරැයුමක්
මීට දශක හයකට පෙර ගායන දිවියේ සප්ත ස්වරය ගැයූ ඈ ස. ප්‍රියා මුදලිගේ ගායනවේදිනියයි. සංගීත දිවියේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඈ සරසවියට ගොඩ වැදුණේ ඇගේ 'ස්වර්ණ වර්ණ' ගී ප්‍රසංගය රස විඳින්නට ඔබ සැමට විවෘත ඇරැයුමක් කරන්නටයි. ඒ තොරතුරු වගේම සංගීත දිවියේ තොරතුරුත් ඇගේ හඬින්ම අපි දැනගනිමු. මගේ ගායන ජීවිතයේ මුල් ගුරුතුමා මගේ පියතුමන්. ඔහු තබ්ලා වාදකයකු වූ එස්. එම්. පීටර් පෙරකීනු වාදන ශිල්පියායි. පරම්පරාවෙන් උරුම වූ ගායන හැකියාව තව තවත් මුවහත් කර ගැනීමට හැකි වුණේ පමුණුගම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාල සීමාවේදීයි. සංගීත විෂයට තිබූ දැඩි කැමැත්ත නිසාම පාසල් අධ්‍යාපනයෙන් පසුව නන්දා මාලිනී මහත්මියගේ ගෝකුල අධ්‍යාපන ආයතනයෙන් හා ලයනල් අල්ගම සූරීන්ගෙන් ද සංගීතය ඉගෙන ගත්තා. මවිසින් ස්වතන්ත්‍ර ගී 18 ක් ද එළිදැක් වූවා. එම කටයුතුවලදී ප්‍රවීණ සංගීතවේදීන් වන ස්ටැන්ලි පීරිස්, ගුණදාස කපුගේ, රෝහණ වීරසිංහ, ලයනල් අල්ගම වැනි අයගේ සහාය ද නොඅඩුව ලැබුණා. මේ කාලයේම 'චාරුලතා මං, සිනාසෙන්න අමතක ඇයි, සුදුසඳේ කඳුළැලි' නමින් සංගීත තැටි තුනක් ද එළිදැක් වුණා. මේ වන විට ගුවන් විදුලි සංස්ථාවේ සහ රූපවාහිනී සංස්ථාවේ මවිසින් ගායනා කරන බෞද්ධ ගීත කිහිපයක් ප්‍රචාරය වෙනවා. මගේ ගායන ජීවිතයේ පළමු සංගීත ප්‍රසංගය 'ස්වර්ණ වර්ණ ගී' නමින් පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ගීත ගායනයේදී යුග ගීත ගයන්නට එක් වන්නේ ගායන ශිල්පී ඉල්ලියාස් බෙග් සහ මගේ සැමියා බී. නිහාල්. ගීත ප්‍රසංගය මෙම මස 18 වැනිදා සවස 6.00 ට කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවැත්වෙනවා. උපුල් රණසිංහ මහතා ප්‍රසංගයට විශාල සහායක් දක්වනවා. ඉතින් මගේ ගායන දිවියේ සොඳුරු නිමේෂයක් වන 'ස්වර්ණ වර්ණ ගී' සමඟ දැහැන්ගත වීමට ඔබටත් ආරාධනා කරනවා. නොමිලේ පැවැත්වෙන ප්‍රසංගයට ඔබ සැමගේ සහභාගිත්වය මා අපේක්ෂා කරනවා.
|