වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සොරකම් කිරීමේ තුච්ඡ කලාව

සොරකම් කිරීමේ තුච්ඡ කලාව

Big eyes

මේ සා ආත්ම වංචාවක් කරමින් එය සාධාරණීකරණය කිරීමටත්, වැරැද්ද වෙනුවෙන් නිවැරැදි පාර්ශවය පීඩාවට පත් කිරීමටත් ඔහු රුසියෙකි. 'බිග් අයිස්' යනු චරිතාපදානයක් ඇසුරින් තැනූ සිනමාපටයකි. සත්‍ය සිදුවීමක් වටා ගෙතී ඇති හෙයින්ම නරඹන්නා තුළ ස්වල්ප පීඩාවක් ඇති කරනු පෙනෙයි.

එමී ඇඩම්ස් සහ ක්‍රිස්ටෝපර් වෝල්ට්ස් රඟන 'බිග් අයිස්' අධ්‍යක්ෂණය ටිම් බර්ටන්ගේය. අමෙරිකානු ජාතික චිත්‍ර ශිල්පිණියක වන මාගරට් කේන්ගේ ජීවිත කතාව ඇසුරින් මේ නිපදවා ඇත. විශාල ඇස් සහිතව චිත්‍ර අඳීන්නියක ලෙස ප්‍රකට ඇය තමන්ගේ චිත්‍රවලට විශාල ඇස් දුන්නාට ඇගේ දෑසේ පෙනීම ක්‍රම, ක්‍රමයෙන් හීන කර ගෙන ඇති සැටියකි. 1950-1960 කාලය ඇතුළතය මේ හිංසාකාරී චිත්‍ර සොරකම සිදුව ඇත්තේ.

නඩුවක් තරම් දුරට ඇදී ගිය පවුලේ චිත්‍ර හිමිකම මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමකි. මාගරට් සිනමාපටය පුරාවටම පෙන්නුම් කරන ශෝකීභාවය සහ සාංකාව නැති කරන්නට පැමිණෙන දේවදූතයා වෝල්ටර් කේන්ය. ඔහු අත මැජික් යෂ්ටියක් ඇති සැටියකි. දිය ඇල්ලක මෙන් වතුර ගලන මුවක් සහිත වෝල්ටර් කේන් කාන්තාවන් විෂයෙහි දක්වන ආලෝලනය දර්ශණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වීම ප්‍රශංසනීයය. 2014 දෙසැම්බරයේ තිරගත කරන ලද මේ සිනමාපටය මහත් අවධානයක් දිනා ගන්නා ලදී.

කුටුම්භය තුළ කුණාටු ඇතිවූ හෙයින් මාගරට් ස්වකීය දියණියත් කැටුව සූට්කේසයකට රෙදි පුරවාගෙන ගෙදරින් පිටව යයි. ඇගේ නිර්භීතකම සිනමාපටය පුරාවටම සැනෙකින් අපේක්ෂා කරන ප්‍රේක්ෂකයාට පා පහරක් දෙන්නේ නොසිතූ මොහොතකය.විවාහය ඇතුළත දක්නට හැකි සංකීර්ණ ගැටලු රාශියක් අත් හැර දමමින්, හිංසාකාරී සැමියාගෙන් වෙන්ව පිටව යන මේ රැඩිකල් කාන්තාව ආලයේ අන්ධ කුණාටුවකට හසු වෙයි. සිහිසුන්ව දින, මාස ගණන් වැතිරී හිඳීයි. කුණාටුව පහව යන්නට පෙර ගස් පිටින් උගුල්ලාගෙන යන්න යයි. එහෙත් මේ අභීත ලක්ෂණය චිත්‍රපටයේ පළමු පැය භාගය ඇතුළත් ප්‍රශ්න කිරීමකට පත් වන්නා සේය. ඇගේ කලබලය නික්ම යනු පිණිසය.

'ජෙනී...එන්න'

වාහනය සැර දමමින් තැනිතලා බිමක ඇදී යයි. බැලූ බැල්මට නිස්කලංක පරිසරයකි. ගසකින්, ගසකට පණිවුඩ දී මඟ බලා සිටිනවා හැර ප්‍රංශයේදී කරන්නට යමක් ඈට සොයා ගත නොහැකිය. ඈ චිත්‍ර අඳීන්නෙක් බව ඇගේ හදිසියේ හමු වුණ සගයාට මතක් කරන්නට ඉඩ දුන්නෙමි.

රැකියා සොයන්නට යන ඇය ලී භාණ්ඩ තනන තැනක පින්තාරු වැඩක නිරත වෙයි. චිත්‍ර ශිල්පිණියකට කුඩා ලී භාණ්ඩවල සමනල්ලු සහ කුරුල්ලන් සිතුවම් කිරීමට සිදු වීම කෙතරම් ශෝකජනකද? ජීවිකාව පිණිස මහපාරේ චිත්‍ර තබාගෙන විකිණීමටත්, ලාබයට ආලේඛ්‍ය චිත්‍ර ඇඳීමට සිදු වීමත් එහි අතුරු ඵලය.

මාගරට් වැන්නවුන් මේ සමාජයේ බහුලය. ස්වකීය දක්ෂතා අනෙකෙකුට සොරකම් කිරීමට ඉඩ හැර පසෙකට වී සිටින්නට ඈව පොළඹවන්නේ ආරක්ෂාව, ආදරය සහ රැකවරණයයි. හිංසාකාරී සැමියකු හැරපියා පැමිණ හදිසියේම ලැබෙන අපිරිමිත ආදරය සහ රැකවරණය ඇයව අන්ධ කරවයි. වෝල්ටර් කේන් මේ අන්ධභාවය සුව කළ නොහැකි තැනකට ගෙන යන්න උත්සාහ කරයි. එහෙත් සියල්ලේ පිපිරීම පටන් ගත් තැනම සැඟවී තිබෙන බව ඇයවත්, ඔහුවත් නොදනී.

වෝල්ටර් කේන් විසින් සොරකම් කරනු ලබන්නේ මාගරට්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව පමණක් නොවේ. ඔහු විසින් ඇගේ සම්පූර්ණ ජීවිතයම, ඇයවම සොරකම් කරනු ලබයි. ඉන් පසුව මාගරට් කියා කෙනෙකු නැති වන තරමටම ඔහු ඇයව සහ ඇගේ නිර්මාණ සාරය උරා ගනී. එහි කූටප්‍රාප්තිය සිදු වන්නේ වෝල්ටර් කේන් විසින් ඔහුගේම කලාගාරයක් විවෘත කර මාගරට් ඇඳී ලොකු ඇස් සහිත සිතුවම් විකිණීමට ගැනීමයි. සිතුවම් පෝස්ටර් ලෙස මුද්‍රණය කර විකිණීම මෙහි ඊළඟ අදියරයි. ඒ හරහා ගලා එන අසීමිත මුදල් සම්භාරය මේ යුවළව අති විශාල බංගලාවකට මාරු කර යැවෙයි. ස්වකීය සැමියා විසින් කරන්නට යෙදුණු අති මහත් වංචාව සොයා ගන්නට කටයුතු යෙදුණු මොහොත සමාජයේ නියම වංචාව පිළිබඳ ඉඟිය ඇයට ලැබෙයි.

උසාවියේ දෙපැත්ත බෙදී කරුණු දක්වන මේ යුවළ ප්‍රේමය අරභයා අන්ධ වීම ප්‍රඥා ගෝචර නොවන බව තේරුම් ගනී. මේ සමාජයේ කදිම හරස්කඩකි. නිර්මාණ සහ අදහස් සොරකම්වල කූටප්‍රාප්තිය සිදුව ඇති වර්තමාන සමාජය ගැන නිවි සැනසිල්ලේ සිතීමට අපට අවස්ථාවක් ලබා දෙන්නාක් මෙනි.

එහි කම්පනය සහ බලපෑම සිනමාපටය නරඹන්නාට දැඩිව දැනෙයි. මාගරට් කෙරෙහි සංවේදී වන නරඹන්නා වෝල්ටර් වෙතට පළමු ගල එල්ල කරයි. පව් කළ හෙයින් වෝල්ටර් මේ සියලු ගල් ප්‍රහාර ලබන්නට සුදුසු වෙයි.

'බිග් අයිස්' ප්‍රකට කරන රැවටීමේ ආදරබර සැලැස්ම හෙළි වීමෙන් පසුව නරඹන්නා සුසුමක් හෙළයි. සිනමාපටයේ අවසන් දර්ශණ කිහිපයේ දක්නට ඇති උසාවිය තුළ චිත්‍ර ඇඳීම අනවශ්‍ය තරමේ නාටකීය බවක් මතු කළත් ඒ දර්ශණය චිත්‍රපටයේ උත්කර්ශය ඇති කිරීමට ඇවැසිය.

මාගරට් අවසානයේ කියන්නේ තමාට සල්ලිවලින් පලක් නැති බවයි. චිත්‍ර සඳහා ලැබිය යුතු ගෞරවය පමණක් තමන් අපේක්ෂා කරන බවයි. මාගරට්ලා කොතරම් එදිනෙදා අපටද හමු වනවාදැයි ඉන් පසුව සිතෙන්නට ගනී. නිර්මාණ මංකොල්ල කෙතරම් සිදු වනවාදැයි සිතන අතරම ඒවා හෙළිදරව් නොවී සැඟවී යන බවද ඊළඟට සිහිපත් වේ.

ටිම් බර්ට්න් අධ්‍යක්ෂණය කරන ලද 'බිග් අයිස්' තිර කතාව ස්කොට් ඇලෙක්සැන්ඩර් සහ ලැරී කර්ස්සෙවෙසිකි ගේය. එමී ඇඩම්ස්, ක්‍රිස්ටෝප් වෝල්ට්ස්, ඩැනී හස්ටන්, ජෝන් පොලිටෝ, ක්‍රිස්ටන් රිටර්, ජේසන් ශ්වෝට්ස්මන්, ටෙරන්ස් ස්ටෑම්ප් රඟන මේ සිනමාපටයේ සංගීතය ඩැනී එල්ෆ්මන්ගේය. සිනමාපටයේ බොක්ස් ඔෆීස් වාර්තාව අමෙරිකානු ඩොලර් මිලියන 29.3කි.

වංචාව ආදරය නම් දවටනයේ ඔතා ඔබ වෙත පැමිණි විට එහි දවටනය ගලවා බලන්නට බල කෙරෙන 'බිග් අයිස්' පෙළෙඹුම්කාර සිනමාපටයකි. එහි සෑම රසයක්ම, සෑම පැත්තකින්ම සොයා බැලීම ඔබ සතු යුතුකමකි.

ඔබේ යුතුකම ඉටු කරන්න.