වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දේශ සීමා අත්හළ මහා නළුවා

දේශ සීමා අත්හළ මහා නළුවා

අප ඊජිප්තු සිනමාව ගැන මෙලෝ දෙයක් නොදන්නේ වුවද, එරට සිනමාව බිහි කරන ලද විශිෂ්ට ගණයේ නළු ඕමාර් ෂෙරිෆ් ගැන දැන උන්නේය. ෂෙරිෆ් එදා මෙදා නිරූපණ්‍ය කරන ලද චරිත අතර විශිෂ්ටතම චරිතාංග ද්විත්වයටම දැන් අවුරුදු පනහකට වැඩිය. එයින් එකක් 1962 වසරේ තිරගත කරන ලද මිනිත්තු 210 ක් දිග 'ලෝරන්ස් ඔෆ් ඇරෙබියා' චිත්‍රපටයේ එන ෂෙරිෆ් අලිගේ චරිතයයි. දෙවැන්න 1965 වසරේ තිරගත කරන ලද 'ඩොක්ටර් ෂිවාගෝ' චිත්‍රපටයේ එන ෂිවාගෝ චරිතයයි. මේ චිත්‍රපට යුගලම මහා සිනමා කාව්‍යය නැතහොත් එපික් වර්ගයේ චිත්‍රපට විය. චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන ලද්දේ ඩේවිඩ් ලීන් විසිනි.

ඕමාර් ෂෙරිෆ් නමින් ලොව පුරා ප්‍රසිද්ධව සිටිය ද 1932 අපේ‍්‍රල් 10 වැනිදා උප්පැන්න සහතිකයේ සඳහන් කරලනු නාමය මයිකල් ද්‍රිමිත්‍රි චලෝබ් නාමයයි. ඉස්ලාම් නමකින් පෙනී සිටිය ද ෂෙරිෆ් උපතින් ග්‍රීක හා ලෙබනන් සම්භවයක් සහිත කතෝලිකයකි. ඔහුගේ පියා වන ජෝශප් ලෙබනනයේ සිට ඊජිප්තුවට පැමිණියේ ලී වෙළෙන්ඳකු හැටියටය. ඒ විසි වන සියවසේ ආරම්භයේය. ඔවුන් මුලින් පදිංචි වුණේ ඓතිහාසික නගරයක් වන ඇලෙක්සැන්ඩ්‍රියාවේය. මයිකල් ද්‍රිමිත්‍රි උපත ලද්දේ එහිදීය. පසු කලෙක මේ පවුල කයිරෝවේ පදිංචියට ගියහ. ඔහුගේ මව ක්ලෙයාර් සාදා සමාජ සේවිකාවක ලෙස පතලව සිටියාය. ඊජිප්තුවේ එවක රජ කළ ෆාරුක් රජු 1952 දී විප්ලවයෙන් බලයෙන් පහ කරන තුරුම චලෝබ් නිවසට නිතර ආගිය කෙනෙකි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ වික්ටෝරියා විදුහලෙන් ඉගෙන කයිරෝ විශ්ව විද්‍යාලයේ ගණිතය හා භෞතික විද්‍යාව හදාරා උපාධිය දිනා ගත් ඔහු තාත්තාගේ ලී ව්‍යාපාරයට ද දායක විය. පසුව ලන්ඩනයේ රෝයල් ඇකඩමික් ඔෆ් ඩ්‍රැමටික් ආට් පාසලෙන් රංගනය හදාරන ඔහු ඊජිප්තු චිත්‍රපටයක් වූ ඩෙවිල් ඔෆ් ද ඩෙසර්ට් චිත්‍රපටයේ රඟපෑවේය. ස්ටගල් ඔෆ් වැලි චිත්‍රපටය ඔහු ප්‍රධාන නළුවකු බවට පත් කළේය. ඊජිප්තු සිනමාවේ නිළි රැජණ ලෙස හඳුන්වා දෙනු ලබන ෆාතන් හමාමා ඔහුට වඩා වසරක් වැඩිමහල්ය. ඊජිප්තුවේ දිළිඳු පවුලක උපත ලද ඇය ළමා වියේම සිනමා රංගනයට පිවිසියාය.

ෆාතන් හමාමා ඒ වන විට ඊජිප්තු සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවකු වූ එසෙල් ඩිනා සුල්ෆිකාර් සමඟ විවාහව දරුවකු ද ලැබ සිටියාය. එසෙල් හා සත් වසරක දීගය අතහැරදා ෆාතන් 1953 වසරේදී තරුණ නළු මයිකල් හා විවාහ විය. මයිකල් සිය භාර්යාවගේ උපදෙස් පරිදි කතෝලික ලබ්ධිය ඉවත ලා ඉස්ලාම් දහම වැළඳ ගත්තේය. ඔහු ඕමාර් ෂෙරිෆ් නමින් පතල වූයේ එයින් පසුවය. ස්ලීප්ලස්, ලේඩි ඔෆ් ද පැලස්, ද රිවර් ඔෆ් ලව් වැනි 58 - 61 වසර ඇතුළත ඊජිප්තුවේ ඉහළම ආදායම් වාර්තා බිඳ හෙලූ චිත්‍රපට සියල්ලේම ජනප්‍රිය තරු යුවළ වූයේ ඕමාර් හා ෆාතන් යුවළය. 1962 වසරේදී ලෝරන්ස් ඔෆ් ඇරබියා නම් ලෝ පතල චිත්‍රපටයට ඔහු තෝරා ගැනුණේ මේ අතරවාරයේය.

ලෝරන්ස් ඔෆ් ඇරබියා චිත්‍රපටයට පාදක වනුයේ ටී. ඊ. ලෝරන්ස්ගේ ජීවිත කතාවයි. බ්‍රිතාන්‍ය ජාතික පුරා විද්‍යාඥයකු, හමුදා නිලධාරියකු සහ තානාපති නිලධාරියකු වූ ලෝරන්ස් පළමු ලෝක සංග්‍රාම සටනේදී මැද පෙරදිග කලාපය වෙනුවෙන් කළ මෙහෙය ඉතා පුළුල් කාර්යයකි. එම චිත්‍රපටයේ ලෝරන්ස්ගේ චරිතය නිරූපණය සඳහා තෝරා ගත්තේ සම්මානනීය නළු පීටර් ඕ ටූල්ය. ඊජිප්තුවේ ෆයිසාල් කුමරුගේ චරිතයට ශ්‍රීමත් ඇලෙක් ගිනස් ද, අවුඩා ඉන් චරිතයට ඇන්තනි කුවින් ද, ජෙනරාල් ඇලන් ගේ චරිතයට ජැක් හෝකින් ද ලීන් විසින් තෝරා ගනු ලැබිණ. ඩේවිඩ් ලීන් ෂෙරිෆ් අලිගේ චරිතය සඳහා ලොව පුරා නළුවන් කිහිප දෙනෙකුම සොයා බැලුවේය. හොස්ට් බ්‍රචොලොව් එහි පළමුවැන්නා විය. ප්‍රංශ නළු ඇලන් ඩිලෝන් ඊළඟ තේරීම විය. එමෙන්ම තවත් ප්‍රංශ නළුවකු වූ මොරිස් රොයේ තවත් තේරීමක් විය.

ඊළඟට ලීන් සොයා බැලුවේ සම්මානනීය ඉන්දීය නළු දිලිප් කුමාර් පිළිබඳවය. මේ අවධියේ ඩේවිඩ් ලීන් සහ දිලිප් කුමාර් අතර ඉතා සමීප සබඳතාවයක් පැවතිණ. නිතින් බෝශ් ගේ අධ්‍යක්ෂණයක් ලෙස එළි දුටු දිලිප් කුමාර්ගේ නිෂ්පාදනයක් වූ ගංගා ජමුනා චිත්‍රපටය බොස්ටන් සහ ප්‍රාග් ජාත්‍යන්තර සිනමා උත්සව නියෝජනය සඳහා විශේෂ සංස්කරණය සිදු කරන ලද්දේ ඩේවිඩ් ලීන් විසිනි. ඒ 1961 වසෙර්ය. කෙසේ වෙතත් අවසානයේ දිලිප් කුමාර් ලෝරන්ස් ඔෆ් ඇරබියා චිත්‍රපටයෙන් ඉවත් විය. චිත්‍රපටයේ නාමාවලියේදී ප්‍රථම නාමය තමන්ට හිමි විය යුතු යැයි දිලිප් ගෙනා ඉල්ලීමට ඩේවිඩ් ලීන් එකඟ නොවීම බව එකල ප්‍රසිද්ධ කතාවක් විය. එහෙත් එම ප්‍රතික්ෂේප කිරීම ලෝක සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම රංගනයකට හේතු විය. ඒ ඕමාර් ෂෙරිෆ් එම චරිතය සඳහා තෝරා ගැනීමය. ඕමාර් ෂෙරිෆ් ඊජිප්තු සිනමාවේ ජනප්‍රිය වුව ද ඒ වන විට ලෝකයේ කිසිවකු දැන සිටියේ නැත.

එහෙත් ඕමාර් ෂෙරිෆ්ගේ නාමය එක රැයෙන් ලොව පුරා සිනමා විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වූයේය. ඊජිප්තුවේ සිනමාවක් තිබෙන බව බහුතර ලෝකය දැන ගත්තේ ඕමාර් ෂෙරිෆ් සමඟය. ඕමාර් ෂෙරිෆ්ට අරාබි, ඉංග්‍රීසි, ග්‍රීක, ප්‍රංශ, ස්පාපඤ්ඤ හා ඉතාලි බස වතුර මෙන් වහරන්නට හැකිවීම විශේෂ වාසියක් විය. 1962 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානයට නාමයෝජනා දිනූ ඕමාර් ෂෙරිෆ් එම වසරේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට සහ වසරේ අලුත් තරුවට හිමි සම්මානය ද දිනා ගැනීමට තරම් ප්‍රබල වූයේය. විචාරකයන්ගේ මතය අනුව එය හොලිවුඩ් ඉතිහාසයේ වඩාත් උත්කෘෂ්ටවත් සහාය නළුවාගේ චරිතය විය. ලෝරන්ස් ඔෆ් ඇරබියා චිත්‍රපටයේ රංගනය පිළිබඳ සිනමා ඉතිහාසඥ රිචඩ් ශිකල් සඳහන් කරනුයේ පූජකයකු හා ශික්වරයකු ලෙස ඔහු එකම චරිතයක් අභ්‍යන්තරයේ ඉස්මතු කරවීම විශ්මයානුකූල බවය. තවත් විශිෂ්ට සිනමාකරුවකු වන ෆ්‍රෙඩ් සිනර්මන් සිය බිහෝල්ඩ් අ ජේල් හෝර්සස් චිත්‍රපටය උදෙසා ඕමාර් ෂෙරිෆ් තෝරා ගන්නා ලද්දේ ලීන්ගේ රෙකමදාරුව මතය.

'ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුදුමාකාර නළුවෙක්' ලීන්, ෂෙරිෆ් පිළිබඳව සිනර්මන්ට පැවසුවේය. ලෙබනන ජන්මයක් සහිත මෙකී ඊජිප්තු නළුවාට එයින් පසු ලැබුණේ එකිනෙකට වෙනස් චරිතයන්ය. වැදගත්ම කරුණ නම් ඔහු උපන් ජාතියේ, ආගමෙන් වෙනස්ව අලුත් ජීවිතයක් ගත කළා සේම ඔහුට ලැබුණ චරිත ද එක් එක් ජාතීන් නියෝජනය කිරීමය. ෂෙරිෆ්ගේ රංගනයට දේශ සීමා නොවීය. යුගෝස්ලෝවියාවේ යුද සමය පාදක කොට ගෙන 1964 වසරේදී තැනුණ ද යෙලෝ රොල්ස් රොයිස් චිත්‍රපටයේ ඔහු යුගොස්ලෝවියානු වැසියකු විය. මොංගෝලියාව පසුබිම් කර ගනිමින් 1965 වසරේදී තැනුණ ගෙන්ගිශ් ඛාන් චිත්‍රපටයේ ඔහු මොංගෝලියානු රණවිරුවා විය. දෙවන ලෝක මහා සංග්‍රාමය පාදක කොට ගෙන 1967 වසරේ තැනුණ ද නයිට් ඔෆ් ද ජෙනරල්ස් චිත්‍රපටයේ ඔහු ජර්මානුවකු විය.

එහි ඔහුට යළිත් රඟපාන්නට ලැබුණේ ශ්‍රීමත් පීටර් ඕ ටූල් සමඟය. 1968 දී මයෙලිං චිත්‍රපටය සමඟ ඔහු ඕස්ත්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා විය. 1969 දී චේ චිත්‍රපටයේ අර්නස්ට් චේ ගුවේරා වූයේ ද ඕමාර් ෂෙරිෆ්ය. විශිෂ්ට රංග කෞශල්‍ය මෙන්ම භාෂා ගණනාවක් පිළිබඳ ඔහුගේ නිපුනත්වය එයට හේතු වූයේය. මේ හැම භාෂාවක්ම නිවැරදි හා ඒ ඒ රටවල උච්චාරණ විධික්‍රම අනුව වහරන්නට වූ හැකියාව නිසා කවර චරිතය රඟපෑව ද තමා විදේශිකයකු යැයි කිසිවකුට හෝ ඒත්තූ ගැනීමට අසමත් වූයේ යැයි ඕමාර් ෂෙරිෆ් පැවසුවේය.

1965 වසරේදී ඔහු යළි ඩේවිඩ් ලීන් හා එක් වූයේ ලීන්ගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහාය. ඒ ඩොක්ටර් ශිවාගෝ චිත්‍රපටයේ කවියකු හා වෛද්‍යවරයකු වන යූරි ශිවාගෝ චරිතය උදෙසාය. බොරිස් පැස්ටර්නකි විසින් 1905 දී සිදු වූ රුසියානු විප්ලව සමය සහ පළමු ලෝක මහා සංග්‍රාමය පාදක කර ගනිමින් රචනා කරන ලද ඩොක්ටර් ශිවාගෝ නවකතාව සෝවියට් දේශයේදී ප්‍රකාශයට පත් කිරීම තහනම් කරන ලද්දකි. අනතුරුව එය එළි දක්වන ලද්දේ 1957 වසරේදී ඉතාලියේ මිලානෝ නගරයේදීය. 1958 වසරේදී ඩොක්ටර් ශිවාගෝ නවකතාව වෙනුවෙන් පැස්ටර්නක් නෝබල් සම්මානය දිනා ගත්ත ද, එය ප්‍රතිික්ෂේප කරන ලෙස එවකට සෝවියට් බලධරයන් විසින් ඔහුට බල කරන ලදී. ලීන් සිය චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ පැස්ටර්නක්ගේ මරණයෙන් ද පසුවය.

ඕමාර් ෂෙරිෆ් සමඟ ඩේවිඩ් ලීන්ගේ සදාකාලික හිතවතා වන ශ්‍රීමත් ඇලක් ගිනස් සහ ජුලි ක්‍රිස්ටි, ජෙරල්ඩීන් චැප්ලින් ආදීන් එහි චරිත මැවූහ. මෙම චරිතය සඳහා එම වසරේ හොඳම නළුවාට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ෂෙරිෆ් දිනාගත් අතර ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයට නාම යෝජනා ලද්දේය. ඔහුගේ ඊළඟ චිත්‍රපටය ෆනී ගර්ල් විය. එහි ප්‍රධාන චරිතය ෂෙරිෆ් සමඟ රඟපෑවේ බාබරා ස්ට්‍රෙයිසන්ඩ්ය. බාබරා ඒ සඳහා හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානය දිනා ගත්තාය. මේ අවදියේ ඊජිප්තුව ප්‍රමුඛ අරාබි රටවල් ඊශ්‍රායලය සමඟ සුප්‍රකට 'සය දින යුද්ධයට' පැටලුණු යුගයයි. බාබරා සෘජුුවම ඊශ්‍රායලයට සහයෝගය දුන්නාය. එහි ප්‍රතිඵලය වූයේ ෆනි ගර්ල් අරාබි රටවල තහනම් කරනු ලැබීමය. මැකෙනාස් ගෝල්ඩ්, ද පෝර්මන්, ද පින්ක් පැන්තර් ස්ට්‍රයික්ස් අගේන්, අශාන්ති, බ්ලඩ් ලයින් , මෙලියර් ඊබ්‍රාහිම් (සීසර් සම්මානය දිනා ගත්) වන් නයිට් විත් ද කිංග් ඔහුගේ සෙසු චිත්‍රපට අතර වෙයි. ඔහුගේ අවසාන සිනමා චරිතය 1001 ඉන්වේෂන් ඇන්ඩ් ද වර්ල්ඩ් ඔෆ් ඉබන් අල් හයිෆම් චිත්‍රපටයයි. 1973 දී මිස්ට්‍රි අයිලන්ඩ් මාලා නාට්‍යය හරහා ටෙලිවිෂනයට එක් වූ ඕමාර් ෂෙරිෆ් ද ටෙන් කමාන්ඩ්මන්ට්ස්, ද මිස්ට්‍රි අයිලන්ඩ් ඇතුළු ටෙලි මාලා නාටක රාශියකට දායක විය.

ෂෙරිෆ්ගේ භාර්යාව ෆාතන් හා මුල්ම චිත්‍රපටයේ හාදු හුවමාරුවක් රූ ගත කළ යුතු විය. එහෙත් ඇය එය මුලින් ප්‍රතික්ෂේප කළාය. පසුව විවාපත් මේ යුවළට එක් දරුවෙකි. ඒ තාරෙක් එල් ෂරිෆ්ය. 1966 දී ෆාතන් හා ෂෙරිෆ් වෙන් වූ අතර 1974 වසරේදී ඔවුහු දික්කසාද විය. ඕමාර් ෂෙරිෆ් ජාත්‍යන්තර කීර්තියට පත් නළුවකු වීම සහ ඔහුගේ යුරෝපා සබඳතා එවකට ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ගේ රජයට ඇල්ලුවේ නැත. එබැවින් ඔහුගේ විදෙස් ගමන් පාලනය කිරීමට රජය කටයුතු කළහ. මේ සමඟ ලෝක සිනමාවට අවතීර්ණය වූ ඕමාර් ෂෙරිෆ්ගේ විවාහය දෙදරා ගියේය. ෆාටන් නැවත විවාහ වුව ද ඕමාර්ගේ ජීවිතය එතැන් පටන් ගෙවී ගියේ තරු පංතියේ හෝටල්වලය. යළි එක් නොවුණද ඔවුන්ගේ ආදරය සහ මිත්‍රත්වය දිගටම රැඳී පැවතිණ. තුරඟ තරගවලට මෙන්ම බ්‍රිජ් ක්‍රීඩාවේ (සූදුවකි) දිගින් දිගටම ඇලුණ ඕමාර් ෂෙරිෆ් පසු කලෙක නොම්මර එකේ සූදු අන්තුවකු විය. ඔහුගේ තුරඟුන් බොහෝ තුරඟ තරඟවල දස්කම් පෑහ. පසු කලෙක ඔහු යළිත් කයිරෝවේ සිය පුතු ළඟට පැමිණියේ ඔහුගේ මුණුබුරන් වූ ඔමාර් හා කරීම් සමග ජීවත් වන්නටය. කනිශ්ඨ ඔමාර් ෂෙරිෆ් ලෙස හැඳින්වෙන ඔහුගේ මුණුබුරා ද නළුවෙකි.

2015 වන විට ඔහු අල්සයිමරා රෝගයෙන් පෙළෙන්නට පටන් ගත්තේය. භාර්යාව ෆාතන් පසුගිය ජනවාරියේ සදහටම වෙන්ව යාම ඔහු කම්පාවට පත් කළ සිදුවීමක් විය. සය මසක් ගතවන්නට මත්තෙන් හදිසි හෘදයාබාධයකින් ඔහු පසුගිය 12 වැනිදා මෙලොව හැර ගියේය. ඔහුගේ අවසන් කටයුතු කයිරෝවේ ප්‍රධාන පල්ලියේ සිදුවද්දී නෑසියන්ට අමතරව සමස්ථ ඊජිප්තු සිනමා කර්මාන්තයම එතැනට පැමිණියහ. ඔහු වෙනුවෙන් ඊජිප්තු ජාතික ධජය අඩ කුඹු කෙරිණි.

මගේ රංගනය ලොවට දායාද කිරීම සඳහා මම උපන් රටත්, මගේ නෑසිය හිතවතුන් හා භූමිය ද මට කැප කරන්නට සිදු විණ. විශිෂ්්ට වූ රංග කීර්තියට අමතරව මට ලැබුණේ තනිකම පමණි. ඕමාර් ෂෙරිෆ් ජීවිතයේ අවසන් සමයේ මේ බව ලොව හමුවේ කියා තිබිණි.