වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




හේමාල්ගේ දුෂ්ටයා වෙන්න මං දෙයියන්ගෙන් ඉල්ලුවා

හේමාල්ගේ දුෂ්ටයා වෙන්න මං දෙයියන්ගෙන් ඉල්ලුවා

සිංහල සිනමාවට එක්වන අලුත්ම දුෂ්ටයා ගජන් ගනේෂන්

මෙරට සිනමාවට අලුත් වීරයකු මෙන්ම අලුත් දුෂ්ටයකු ඇවිත්. ඒ ප්‍රවේගය සමඟින්.

ඔහු ගජන් ගනේෂන්. ඉපදුණේ කොළඹ.

මේ ඔහු සමඟ කළ කතාබහකි.

ඔබ ශ්‍රී ලාංකිකයෙක්.

ඔව්.

ප්‍රවේගය චිත්‍රපටය නැරැඹූ බහුතරයක් හිතාගෙන ඉන්නේ ඔබ ඉන්දියානු ජාතිකයෙක් කියලා?

ඔය කතාව මගෙනුත් අහනවා. මගේ රට ලංකාව. කෙටියෙන්ම කිව්වොත් මම ගෙන්දගම් පොළවේ හැදුණු වැඩුණු කොල්ලෙක්.

ඔබ ප්‍රවේගයේ රඟපාන චරිතය?

ජිජේඊඅයි.

ඒ කියන්නේ චිත්‍රපටයේ විලන්?

ඔව්.

ජිජේඊඅයිව ඔබට ලැබීම පිටුපස අතීත කතාවක් තියෙනවා?

චිත්‍රපටයේ නිෂ්පාදක සදේශ් කුමාර්ගේ මල්ලි මගේ හොඳ යාළුවා. ඔහු මාර්ගයෙන් සදේශ්ව මුණ ගැසුණා. ඔහු මට චිිත්‍රපටයකට කතා කළා. ඒ ප්‍රවේගය නම් නෙවෙයි.

එහෙනම්?

සුපර් සික්ස්.

ඔබ සුපර් සික්ස් චිත්‍රපටයේ හිටියේ නැහැනෙ?

සුපර් සික්ස් එකේ මට ලැබුණු චරිතය මට මදි. මට ඕනෑ වුණේ සිංහල සිනමාවේ අලුත්ම විලන් වෙන්න.

ඔබ එහෙම වුණා?

ඔව්. ඒකට මම ටික කාලයක් බලාගෙන හිටියා.

ඔබ සුපර් සික්ස් චිත්‍රපටයට අනියම් අන්දමින් සම්බන්ධ වෙනවා.

මං තමයි ඒකෙ සියලු සම්බන්ධීකරණ කටයුතු කළේ?

ඔබ එතකොට එක්තරා නළුවකු දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කළා?

ඒ නළුවා තමයි හේමාල්. මං දෙවියන්ගෙන් ඉල්ලුවා මට කවදා හරි හේමාල්ගේ ප්‍රතිවාදියා විදිහට රඟපාන්න අවස්ථාවක් ලැබෙන්න කියලා.

ප්‍රාර්ථනාව ඉටු වුණා එහෙනම්?

ගොඩක් සතුටුයි.

ප්‍රවේගයට කලින් ඔබ ද්‍රවිඩ චිත්‍රපටයකත් රඟපෑවා?

ඒකෙ නම ඔරෙනාලි.

එයට ඔබ එකතු වන්නේ අමුතුම විදිහකට?

මං ඒ කතාව මෙහෙම කියන්නම්කෝ. මං හරිම ආසයි සිනමාවට සම්බන්ධ වෙන්න. ඒ අවස්ථාව හොයමිනුයි හිටියේ. හැබැයි මගේ අප්පයි අම්මයි කැමැති නැහැ මං කලාව කරනවට. ඒ හින්දා මට සිදු වුණා බැංකුවක රැකියාවකට යන්නට.

ඒ කියන්නේ ඔබ අකැමැත්තෙන් රැකියාවේ නියැලුණේ?

ඔව්. මට එපා වෙලා හිටියේ. පෞද්ගලික ආයතන කිහිපයකම මං ඉහළ නිලයන් දරණ රැකියාවල යෙදුණා. අන්තිමේ මටම තිත්ත වෙලා දමලා ගහලා ගෙදරට වෙලා හිටියා.

අම්මා, අප්පා මොකෝ කිව්වේ?

දෙන්නම මගෙත් එක්ක කාලයක් කතා කළේ නැහැ?

ඊට පස්සේ ඔබ මොකද කළේ?

පික්චර් පිස්සුවට මං හැම තැනම ඇවිදි ඇවිද අවස්ථා හෙව්වා. අන්තිමේ බැරිම තැන මං ගියා ජාතික චිත්‍රපට සංස්ථාවට.

ගිහින් කාවද මුණ ගැසුණේ?

මං දන්න මුහුණකට හිටියේ නදීකා ගුණසේකර මැඩම්. මං ඇයව හමුවෙලා මගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා.

නදීකා මොන වගේ ප්‍රතිචාරයක් ද දැක් වූයේ?

ඇය මගේ කතාව සාවධානව අහගෙන හිටියා. ඇය කිව්වා කලාකරුවා කියන කෙනාව ඩොක්ටර්ලා, ඉංජිනේරුවෝ වගේ උගන්වලා බිහි කරන්න බැහැ කියලා. ඔක්කෝටම කලින් ඒ ගැන හදාරන්න කිව්වා.

ඔය අතරේ ඔබට ජොබ් එකක් සෙට් වෙනවා?

ඒ චැනල් අයි නාළිකාවේ. එහි විකාශය වුණා සිනිගලාටා කියලා වැඩසටහනක්. මං එම වැඩසටහනෙහි නිෂ්පාදන කණ්ඩායමේ ටී බෝයි.

ටී බෝයි?

ඔව්. මං ටී බෝයි. මට මතක් වුණා මීට කාලෙකට ඉහතදී මං කොච්චර උසස් නිලයක් දරපු කෙනෙක් ද කියලා. නමුත් ඒ අතීතය අමතක කරලා ටී බෝයි කෙනෙක් විදිහට වැඩ කළා.

ටී බෝයිගෙන් පටන් ගත්තු ගමන ඔබ ක්‍රමයෙන් ඉදිරියට ගියා?

මං අන්තිමේ නැවතුණේ වැඩසටහන් නිෂ්පාදකවරයකු වෙලා. ඒ එම්. ටී. වී. ආයතනයේ. ඒත් මට හිතුණා මාව සුදුසු එතනට නෙවෙයි කියලා.

ඒ කිව්වේ?

මට ඕනෑ සිනමාවට ජොයින් වෙන්න. ඒ හින්දාම මං එම්. ටී. වී. එකෙනුත් අස් වුණා.

ඔබට දෙමළ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබෙනවා. ඒක සිදු වන්නේ කොහොමද?

මං රස්සාවක් නැතුව ඉන්න කොට ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් වන රසීව ලංකාවට ඇවිත් චිත්‍රපටයක් කරනවා කියලා දැනගන්නට ලැබුණා. ඒ වන විට ඒ චිත්‍රපටයට නළු නිළියන් තෝරාගෙන ඉවරයි කියලා ඔහු කිව්වා. එහෙනම් සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න කියලා මං ඔහුගෙන් ඉල්ලීමක් කළා. ඔහු බැරිම තැන මාව ඒ නිෂ්පාදන කණ්ඩායමට එකතු කර ගත්තා. ඒ ටී බෝයි හැටියට. ඒ රස්සාව මට හොඳට හුරුයිනෙ.

නමුත් ඔබ එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා?

ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝර ගත්තු නළුවා ෂූට් එක මැදදි පොල්ලක් තිබ්බා. කොහොමත් ඒ වන විට අධ්‍යක්ෂ විහිළුවට මට කිය කිය හිටියේ කලින් හමු වුණා නම් මට මෙහි ප්‍රධාන චරිතය දෙනවා කියලා. අර නළුවා පොල්ල තිබ්බට පස්සේ ඔහු මාව තෝරා ගත්තා. මට පුදුමෙනුත් පුදුමයි. මගේ හීනයක් සැබෑ වුණා.

ඒ චිත්‍රපටය ලංකාවේ තිරගත වුණාද?

ඔව්. යාපනේ ප්‍රදේශයේ පමණයි තිරගත වුණේ.

ඉන් පසුව ඔබට ඉන්දියාවෙ සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් ඔබ ගියේ නැහැ?

මට ඕනෑ ලංකාවේ සිනමාවේ විලන් කෙනෙක් වෙන්න. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මං හරිම ආදරෙයි. ඔවුන් දක්වන්නේ අව්‍යාජ ප්‍රතිචාරයක්. ඉන්දියාවේ එහෙම නැහැ.

ඒ කිව්වේ?

ඉන්දියාවේ නළු නිළියන්ව දේවත්වයෙන් අදහනවා. මොන බොරු වැඩක් ද ඒක. නළු නිළියො කියන්නේ හැබෑ මිනිස්සු.

ප්‍රවේගයේ චරිතයට ඔබ සාධාරණයක් ඉටු කළා කියලා හිතනවාද?

ඔව්. මට මුලින්ම රඟපාන්න තිබුණේ ජැක්සන් අයියලා වගේ ප්‍රවීණයොත් එක්ක. ටිකක් බය හිතුණා. නමුත් ඒ අය සේරම මගේ බය නැති කළා.

ඔබේ පළමු ක්ලෝසප් එකෙන් පස්සේ ජැක්සන් ඔබව බදා ගත්තලු නේද?

ඒක තමයි. ඔහු මාව වර්ණනා කළා බදාගෙනම. මට ඔහු කියූ වචන ටික සම්මානයක් ගත්ත තරමටම වටිනවා. මහේන්ද්‍ර අයියා මට රංගනය ඉගැන්නුවා. දමිතා අක්කා හඬ පාලනය කියා දුන්නා. ඒ අයගෙන් මට හුඟාක් සහාය ලැබුණා.

ප්‍රවේගය රඟපාද්දී ඔබ එක්තරා අවස්ථාවක මානසිකව වැටෙනවා. ඇයි එහෙම වුණේ?

අනේ මන්දා. එදා ෂූටිං තිබුණෙ මාලිගාවත්තේ. ඒ ටේක් එක හතළිස් පාරක් විතර ගියා. අන්තිමේ අධ්‍යක්ෂ සරොව් මට ගහන්නත් ආවා. පස්සේ මං කොහොම හරි මානසිකත්වය හදා ගත්තා.

ඔබ කැමැති දිගටම විලන්ගේ චරිතම රඟපාන්නද?

ඔව්.

එතකොට ඔබ එකම තැන කොටු වෙයි?

නැහැ. ලැබෙන සෑම විලන් චරිතයක්ම මං කරන්නේ ස්වරූපයෙන් වෙනස් වෙලා. එතකොට මිනිිස්සු මාව විවිධාකාරයෙන් දකීවි.

ලංකාවේ තවත් දමිළ නළුවො ඉන්නවා. ඒ අය ඔබගේ යාළුවොද?

ඔව්. ප්‍රවේගය නරඹපු ගමන් දර්ශන් ධර්මරාජ් මට කතා කළා.

මොනවද ඔහු කිව්වේ?

නල්ල ෆියුචර් කියලා කිව්වා.

මොනවද ඔබේ පවුලේ විස්තර?

මමයි අක්කයි තාත්තයි. අම්මා නැති වුණා. මං විවාහකයි.

මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?

මට ඕනෑ ලංකාවේ ඇක්ටිං පාසලක් හදන්න. මං දැකපු ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ලොකු අඩුවක් ඒක. කොහොම හරි මැරෙන්න කලින් ඒක මං කරන එක කරනවාමයි.

අධ්‍යක්ෂණයට පිවිසෙන්න හිතක් නැතිද?

කොහෙත්ම නැහැ. නළුවකු විදිහට ඉන්න තමයි තීරණය කරලා තියෙන්නේ.