වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රසකතා

පිස්සෙක් නගරය මැදින් ගම හරහා දුවයි

චිත්‍රපටයක චරිත දෙකක් නිරූපණය කිරීම ලෙහෙසි නැහැ. ඇත්තටම ඒක එක්තරා ආකාරයක අභියෝගයක්. මිරිස් වගේ ඉන්න චිලීටත් එවන් වූ චරිත දෙකකට ආරාධනා ලැබිලා. ඒ ලාල් ප්‍රියදේවගේ අන්දුන් කුන්දුන් චිත්‍රපටයේ. චිලීට ලැබිලා තියෙන චරිත දෙක එකිනෙකට වෙනස්. නම් වශයෙන් කිව්වොත් විසල් සහ කුසල්. විසල් සාමාන්‍ය තරුණයෙක්. නමුත් කුසල් උන්මත්තකයෙක්. සාමාන්‍ය තරුණයාව සාමාන්‍ය ලෙස නිරූපණය කළත් උන්මත්තක චරිතය එහෙම කරන්න බැහැනේ. ඒ හින්දා චිලී ඒ චරිතය වෙනුවෙන් වෙනස් වෙලා (හරියට පිස්සෙක් වගේ). ඔන්න දවසක් මේ චිත්‍රපටයේ දර්ශන වගයක් තිබිලා තියෙනවා තිස්සමහාරාම නගරයේ. අන්න එදා තමයි චිලීට තරු නෙවෙයි හඳත් පෙනිලා තියෙන්නේ. චිලීට තිබුණේ උන්මත්තක වේශයෙන් තිස්සමහාරාම නගරය මැදින් දුවන්න. බැඳගත්තු බෙරේ ගහන්නත් එපායැ. ඉතින් චිලී දත් මිටි කාගෙන ලාල් ඇක්ෂන් කියද්දී පිස්සා වගේ දුවන්න පටන් ගත්තලු. මෙහෙම දුවන චිලීව දැකලා වයසක අත්තම්මලා නිකටේ අත ගසා ගත්තලු. චිලීට වසඟ වෙලා ඉන්න තරුණ ගෑනු ළමයි අත් දෙක දෙපැත්තට ගස ගස අනේ අපේ චිලි අයියේ . . . කියලා කෑගහලා. මේ කලබල අස්සේ ගම හරහා චිලී දුවලා. වෙලාවට කවුරුවත් වතුර නම් ගැහැව්වේ නැතිලු. දුවපු දිවිල්ලේ හැටියට අන්තිමේ අධ්‍යක්ෂවරයා කට් කියද්දී චිලීට හොඳටම හතිලු.

පරිප්පු හොද්දට දෙපාරක් ලුණු දාලා

කෞශල්‍යා සමරසිංහ කියන අපේ නව පරපුරේ රංගන ශිල්පිණියගේ ගෙදර තියෙන්නේ අනුරාධපුරේ. ඉතින් මෙයා කොළඹ ෂූටිං ඉවර වෙච්ච ගමන් ආ පයින්ම අනුරාධපුරයට දුවනවා. කෞශිට ගොඩක් දෙනෙක් කියනවා මුහුණෙහි තියෙන්නේ ගැමි සුන්දරත්වයක් කියලා. ඒ හින්දම වෙන්න ඇති ඇය නිතරම ගමේ රැඳෙන්නේ. ඔන්න දවසක් කෞශි ගෙදර සැටියේ දිගාවෙලා කම්මැලිකමේ ඉන්නකොට දුරකතන ඇමතුමක් ආවලු. ඇයගේ ළඟම යෙහෙළියක් ඒ කතා කරලා තියෙන්නේ. ඇය කිව්වලු තවත් යහළුවො කිහිප දෙනෙක් සමඟ කෞශිගේ ගෙදර එනවා කියලා. දනිපනි ගාලා ඇය සැටියෙන් නැඟිටලා කුස්සියට දුවලා. යාළුවන්ට සංග්‍රහ කරන්න දේවල් තියෙනවාද කියලා බැලුවලු. වෙලාවට ඒ සේරම හරි. ටක් ගාලා උයන්න පිහන්න පටන් අරන්. ඔය වෙලාවෙම කෞශිට තවත් ඇමතුමක් ඇවිල්ලා. ඒ කලා ලොවේ හිතවතෙකුගෙන්. ඔහු කෞශි නොකළ වැරැද්දකට දෝෂාරෝපණය කරලා. ඇය ගැස්සිලා ගියාලු. හිතත් ටිකක් චංචල වෙලා. ඊළඟට කෞශිට මතක් වෙලා පරිප්පු හොද්ද ලිපේ නේද කියලා. ඇය දුවලා දුවලා ගිහින් ඒකට ලුණු දැම්මලු. පස්සෙලු කල්පනා වෙලා 'දෙයියනේ මේකට කලිනුත් ලුණු දැම්මා නේද' කියලා. අර ඇමතුමෙන් පස්සේ ටිකක් අප්සට් වුණු හින්දා අයේ කල්පනාවෙන් වැඩ කරන්න ඕනෑ කියලා හිතුණලු. දවල් වෙද්දි යාළුවො කෞශිගේ ගෙදර ඇවිත්. කෑම කනකොට ඒ අය කියනවලු අර වෑංජනයට මිරිස් වැඩියි, මේ හොද්දට ලුණු නැහැ, මාළුවලට කළුකුඩු වැඩියි වගේ කතන්දර. කෞශි මේ කතන්දර අහගෙන සද්ද නැතුව හිටියලු. කොහොම හරි කෞශිගේ හිත හැදෙන්න ටික කාලයක් ගියාලු. එදා වෙනකම් හොද්දට ලුණු තුනපහ ආදිය නිතරම වැඩිපුර දැමිලා.

අනංගයාට බිය වූ නිළි පෙම්වතියෝ

අපේ හිතාදර මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ මේ දිනවල අපූරු ග්‍රන්ථයන් ලියමින් සිටින වග අප පසුගිය දිනෙක දැන්වූවා. ඒකේ නම ජනරන්ජන රන්ජන්. සුපිරි නළු රන්ජන් රාමනායකගේ ජීවිත කතාවයි එම පොත මඟින් විවරණය වන්නේ. රන්ජන්ගේ ප්‍රේම සබඳතා සියල්ල මෙමඟින් ප්‍රකාශයට පත් කිරීමට අර්නස්ට් සූදානමින් සිටිනවා. කෙටියෙන්ම කිව්වොත් රන්ජන්ගේ පෙම් පලහිලව් ඔක්කොම ටික නම් පිටින් කියලා දාන්නයි ඔහු හදන්නේ. රන්ජනුත් ඒකට බොහොම කැමැතියි. මොකද ඔහු කියන්නේ තමන්ට තමන්ගේ රසික රසිකාවන්ගෙන් හංගන්න දේවල් නැහැ කියලයි. මේ පුවත ප්‍රසිද්ධ වූ සැනින් දෙබරෙට ගල් ගැහැව්වා වගේ රට පුරා ගැහැනු ළමයි කුලප්පු වෙලා. ඒ විතරක් නෙවෙයි ජනප්‍රිය නිළියෝ කිහිප දෙනෙකුත් කරකවලා අතහැරපු ගානයිලු. ඒ හැමෝම වඩුගේට කතා කරනවා, කතා කරනවා ඉවරයක් නැතිලු. කතා කරලා අහනවලු අපි ගැනත් ඔය පොතේ ලියනවද කියලා.

'රන්ජන් කිව්වොත් තමයි මං දාන්නේ. එහෙම කියලා වඩුගේ දුරකතනය විසංධි කරනවාලු. ඉන් සමහර දෙනෙක් කියනවලු වඩුගේට මේ පොතට මගෙයි රන්ජන්ගෙයි සබඳතාවක් තිබුණා, පුළුවන් නම් ඒකත් දාන්න. හැබැයි නම දාන්න එපා කියලා. මේ කතන්දර අහපු වඩුගේ නම් අපට කිව්වේ රන්ජන් තරම් අනංග නළුවෙක් ජීවිතේටම හමුවෙලා නැහැ කියලයි. කොහොම නමුත් මේ ග්‍රන්ථයට ඉතාමත් විවෘතව අදහස් දැක්වීම ගැන රන්ජන්ව අප අගයනවා. මොකද තමන්ගේ ප්‍රතිරූපයට හානි වේවි කියලා සමහරු දවල් මිගෙල් රෑ දනියෙල්ලා වෙනවනෙ. රන්ජන් එහෙම නොවුණු එකට සතුටුයි. ඒ වගේම රන්ජන්ට පෙම්වතියන් කීප දෙනෙක් හිටිය ද කියලා දැනගන්න අපිත් ආසාවෙන් පසු වෙනවා.

අනේ හැබෑටම මෙහෙමත් නළුවෝ

ගිය සතියේ නමක් ගමක් සඳහන් නොකර කෙනෙක් ගැන ලිව්වා. ඒ කතාව කියවලා ගොඩක් දෙනෙක් බයවෙලා. ඒ අය කරපු මෝඩ වැඩත් මෙතන ලියයි කියලා. එහෙම නොලියත් බැහැ ලියලත් බැහැ. ඕන මඟුලක් වෙච්චදෙන් කියලා මේ පාරත් කියන්නම්කො ඒ වගේ කතාවක්. මේ සිද්ධියට සම්බන්ධ නළුවා වර්තමානයේ නම් හුඟක් ජනප්‍රියයි. මෙයා මෙයාගේ මුල් යුගයේ ඇසිස්ටන් ඩිරෙක්ටර්ලට කතා කර කර රඟපාන්න අවස්ථාවන් ඉල්ලමින් ගියා. ඔන්න ඉතින් එහෙම කතා කරලා අවස්ථාවකුත් හිමි වුණා. රූගත කිරීම තිබුණේ අතුරුගිරිය පැත්තේ. මිනිහා ඇසිස්ටන් කියපු වෙලාවටත් කලින් ත්‍රීවිල් එකක නැගලා එතැනට ගියා. රූගත කිරීමටත් මේ නළුවා බොහොම හොඳින් සහභාගි වුණා. ඒ දර්ශනයෙන් පසුව මෙයාගේ වැඩ ටික ඉවරයි. ඇසිස්ටන් ගාවට ගිහින් ඇහැව්වා ගෙදර යන විදිහ. උදේ ත්‍රීවිල් එකක ආව නිසා අතේ සල්ලිත් නැතිලු. ඇසිස්ටන් කිව්වලු අතුරුගිරිය හන්දියට ගිහින් කොළඹ බස් එකක නඟින්න කියලා. නළුවත් ඉතින් ඔළුව වනලා පිටත් වෙලා. පැය දෙකකට විතර පසුව ඇසිස්ටන් කිසියම් වුවමනාවකට අතුරුගිරිය ටවුන් එකට ගියාලු. මෙන්න බොලේ අරයා බස් හෝල්ට් එකට වෙලා වේලි වේලි ඉන්නවා.

උඹට බස් එකක් ආවෙ නැද්ද?

නැහැනෙ කියලා නළුවා කිව්වලු.

වෙන්න බැහැ. මේ පාරේ නිතරම කොළඹ බස් යනවනෙ.

ඇසිස්ටන් පුදුමයෙන් අහලා.

පිස්සු ද අයියේ මං මෙතනට ආව වෙලාවේ ඉඳලා මෙතනින් ගියේ අතුරුගිරිය පිටකොටුව බස්, කොළඹ කියලා ගහපු බස් එකක්වත් ගියේ නැහැ දෙයියම්පල්ලා.

ඒක අහපු ඇසිස්ටන්ට හිතුණලු අනේ අම්මපා මේ වගේ අයනෙ රඟපාන්න එන්නේ කියලා.

ඇස් නොපෙනුණත් හිත චින්තිටලු

චින්ති සහ රයිනි චාරුකා ගයන තරුමිණී ගීතය නොඇසූ සංගීත ලෝලයෙක් නැති තරම්. ගමේ ගොඩේ, සිදාදියේ, බස් එකේ කොතනත් මොන රේඩියෝ චැනල් එක සුසර කරලා තිබුණත් දවසට තුන් හතර පාරක් කුමන හෝ නාළිකාවක එම ගීතය ප්ලේ වුණා. මේ ගීතය ඊයේ පෙරේදා දවසක කෙනෙකුට අහම්බෙන් අහන්න ලැබිලා. ඒ ලංකාවේ වෙසෙන කෙනෙක් නෙවෙයි. ඉතාලියේ ඉපදුණ අවුරුදු 10 ක විතර ළමයෙක්. නම සැන්චෙස්කෝ. මේ සිංදුව අහපු වෙලාවේ ඉඳලා මේ ළමයා කං කෙඳිරි ගානවලු චින්තිව බලන්න ඕනෑ කියලා. වෙලාවට ඒ කිට්ටුව චින්තිගේ යාළුවෙක් ඉඳලා. එයා ඒ මොහොතෙම චින්තිට මේ විස්තරේ කිව්වලු. චින්තිත් පුදුම වෙලා ඒ සැන්චෙස්කෝ ගැන අහලා. අන්තිමේ චිින්ති අර යාළුවට කිව්වලු ඒ පුංචි එකාව එක්කරගෙන එන්න කියලා. කොහොම හරි චින්තිව බලන්නම සිය පවුලත් සමඟ සැන්චෙස්කෝ ලංකාවට ඇවිත්. ඔහු චින්තිගේ ගෙදර ගිහින් දවසක්ම එහි ගත කළාලු. මෙහි අති සංවේදී කතාව ඒක නෙවෙයි. මේ සැන්චෙස්කොට ඇස් පෙන්නේ නැතිලු. ඒ හින්දා ඔහු චින්තිව ස්පර්ශ කරලා තමයි ඔහුව හඳුනාගෙන තියෙන්නේ. එදා චින්ති තෑගි බෝගත් ගෙනල්ලා පුංචි සැන්චෙස්කොට දෙන්න. ඔහු සමුගෙන යන්න හදද්දි චින්තිගේ නෙතඟට කඳුළක් ඉනුවලු. ඒ වගේම ආයේ ලංකාවට ආවෙත් චින්තිලගේ ගෙදර එන්නත් කියලා ආරාධනාත් කළාලු. චින්ති නම් කියන්නේ තවමත් මේ සිද්ධිය අදහගන්න බැහැ කියලාලු. ඉතාලියේ ළමයෙක් චින්තිගේ හඬට වශී වෙලා ලංකාවට ඇවිත් ඔහුගේ ගෙදර ආව මේ කතාව අපිට තමයි ඕං චින්ති හා හා පුරා කියලා කිව්වේ.

අනේ මෙහෙම රථගායක්

මල්ලත් අරගෙන ගොසිප් හොයාගෙන හොයාගෙන යද්දී පට්ටම පට්ට කතාවක් හම්බ වුණා කියන්නකො... අහලා තියෙනවද වාහන එකසිය පහළොවක් පාවිච්චි කරපු නළුවෙක් ගැන. මං හිතන්නේ ලෝකේ කොහේවත් එච්චර වාහන ප්‍රමාණයක් ඩ්‍රයිව් කරපු නළුවෙක් නැතුව ඇති. හැබැයි එහෙම කෙනෙක් ලංකාවේ ඉන්නවා. එයා බුද්ධික ජයරත්න. ඔහු වර්තමානයේ පාවිච්චි කරන්නේ තමන් මිලදී ගත් එකසිය පහළොස් වැනි වාහනය. බුද්ධික වාහන මිලදී ගන්න පටන් අරගෙන තියෙන්නේ 1998. එදා ඉඳලා අද වනතෙක් වසර දහ හතක් ඇතුළත ඔහු වාහන එකසිය පහළොවක් පාවිච්චි කරලා. බුද්ධිකගේ සමීපතමයින් වන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පු සහ නිරෝෂන් ඉලේපෙරුම කියන්නේ බුද්ධික ඇසුරු කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා තමන් දැනුවත්ව වාහන හැටක් විතර මිලදීගෙන විකුණුවා කියලා. මේ වාහන අතර ජීප් පහක් තියෙනවා. අනෙක් සේරම කාර්. කොහොම හරි නෙදැනුවත්වම බුද්ධික වාහන බිස්නස් එකකත් යෙදිලා. බුද්ධික මුලින්ම කරන්නේ ගත්ත වාහනයේ අඩුපාඩු සේරම හදන එකලු. ඊට පස්සේ ඒක විකුණනවලු. එහෙම කරන හින්දා තමයි මං කිව්වේ බුද්ධික මේ නොදැනුවත්වම කරන්නේ වාහන බිස්නස් එකක් කියලා. බුද්ධක වැඩිම කාලයක් තියාගත්තු වාහනය බෙන්ස් කාර් එකක්. ඒක අවුරුදු එකහමාරක් පාවිච්චි කරලා. අනෙක් වාහන සේරම බුද්ධික අවුරුද්දටත් අඩු කාලයකදී විකුණවලු. මේ අනුව බලන කොට බුද්ධික ද දන්නේ නැහැ වාහන 115 ක් පාවිච්චි කරපු ලෝකයේ ඉන්න එකම නළුවා.