වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




පිරිමි යාළුවෝ තමයි වැඩිපුරම මට ඉන්නේ

පිරිමි යාළුවෝ තමයි වැඩිපුරම මට ඉන්නේ

‘මැද පොඩ්ඩක් පැත්තක් නෑ’ චිත්‍රපටයේ ‘තේජා’ මාධි පණ්ඩිතරත්න හමුවෙමු

කල්‍යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ ‘මැද පොඩ්ඩක් පැත්තක් නෑ’ සිනමාපටය හරහා සිංහල සිනමාවට සුරූපිණියන් කිහිප දෙනෙකුම හඳුන්වා දෙනු ලැබීය. මාධි පණ්ඩිතරත්න ද ඉන් එක් තැනැත්තියකි. මෙය ඇයගේ පළමු රංගන අත්දැකීම ද වීම විශේෂත්වයකි. කලාවෙන්ම සිදු වූ අසාධාරණයක් හේතුවෙන් කලක් කලාවෙන් ඉවත්ව සිටි මාධිව නැවතත් රංගනයට කැඳවාගෙන එනුයේ කල්‍යාණ විසිනි. ඒ අතීත කතන්දරත් ආවර්ජනය කරමින් ඇය අපත් සමඟ මෙසේ කතාබහට එකතු වුණාය.

මාධි, ඔබ කලාවට එන්න හිතාගෙන හිටියේ අදින් අවුරුදු කිහිපයකට ප්‍රථම. නමුත් ඒ ගමන නැවතුණා?

කලා ලොවට මං ආසයි. නමුත් ඒ සුන්දර කලා ලොව තුළ ඉන්න මිනිස්සු හරි නැහැ. මං රඟපාන්න ආව කලෙ මට ලොකු අසාධාරණයක් සිදු වුණා. මට සමස්ථ කලා ලොවම තිත්ත වුණා. ජීවිතේට රඟපාන්න එන්නේ නැහැ කියලා මං හිතාගත්තා.

ඔබ මුහුණ පෑ ඒ අමිහිරි අත්දැකීම මතක් කරන්න පුළුවන්ද?

දැන් ඒවා වැඩක් නැහැ. මට අසාධාරණකම් කළ පුද්ගලයන්ගේ හිත ඒවා ගැන දන්නවා. ඒ හින්දා යළිත් ඕවා හාරා අවුස්සන්න ඕනෑ නැහැ.

කොහොමද ඔබට මැද පොඩ්ඩක් පැත්තක් නෑ සඳහා අවස්ථාව හිමි වන්නේ?

රංජිත් රණසිංහ කියලා මගේ මිත්‍රයකුගේ මාර්ගයෙනුයි ඔහුව හමු වුණේ. මේ චිත්‍රපටයට අවස්ථාව ලබා ගැනීම සඳහා ගාමිණී කොස්තා අයියත් මට උදව් කළා.

ඔබව දුටු ගමන්ම ඔවුන් චිත්‍රපටයට ඔබව තෝරා ගත්තේ නැතුව ඇති?

ඔව්. මගෙන් මුලින්ම ඇහැව්වා රඟපාන්න ආසද කියලා. මං ඔව් කිව්වා. ඊට පසුව පිටපත ලබා දීලා ඩයලොග් ඩිලිවරි කිරීම බලලා මාව තෝර ගත්තා.

මොකක්ද ඔබේ චරිතයේ නම?

තේජා.

මැද පොඩ්ඩක් පැත්තක් නැති පිටපත ඔබ කියෙව්වට එය තේරුණේ නැහැලු නේද?

ඒක මෙහෙමයි. මට පළමු වතානට ලැබුණු තිර පිටපතනේ මේක. ඒ හින්දා පිටපතක් කියවීම නුහුරටම නුහුරුයි. පළමු පාර කියවපුවාම කතාව තේරුණේම නැති තරම්. දෙපාරක් තුන් පාරක් කියවද්දී වැඩේ අල්ල ගත්තා.

ඔබ කැමරාවක් ඉදිරියේ මුහුණ දුන් පළමු දර්ශනය මතකද?

ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. වාහනයකින් බැහැලා එන පොඩි කට් එකක් තිබුණෙ.

ඔච්චර සුළු රඟපෑමක් ජීවිතේට අමතක නොවන්නත් හේතුවක් ඇති?

අනේ ඔව්. හිතේ චකිතයට මං ඒ දර්ශනය තුන් හතර පාරක් වැරැද්දුවා. වාහනයට නගිනවා, බහිනවා, නගිනවා බහිනවා ඉවරයක් නැහැ.

අධ්‍යක්ෂවරයා බැන්නේ නැද්ද ඔබට?

කල්‍යාණ අයියාට ඉක්මනින් කේන්ති යන්නේ නැහැ. ඒ හින්දා බැනුම් ඇහැව්වේ නැති තරම්. වෙලාවට ඔහු නිවිච්ච පුද්ගලයෙක් වුණේ. නැත්නම් හොඳටම බැනුම් අහනවා මං කරන දේවල්වලට.

චිත්‍රපටයෙන් පසු ඔබට රඟපාන්න වෙනත් අවස්ථා හිමි වුණේ නැතිද?

මං හිතාගෙන ඉන්නවා මේ චිත්‍රපටය රිලීස් වෙනකම් වෙනත් නිර්මාණවලට නොයා ඉන්න.

සාමාන්‍යයෙන් අපේ රටේ චිත්‍රපටයක් තිරගත වන්නට බොහෝ කල් යනවා. මැද පොඩ්ඩක් පැත්තක් නෑ චිත්‍රපටයටත් ඒ කලදසාව උදා වේවි. ඒ කාලය අතරතුරදී ඔබට ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කිරීම ඔබ ඔබටම කරගන්නා පාඩුවක් නොවෙද?

ඒක නම් ඇත්ත. මං වඩාත් කැමැති සිනමාවට. එන විදිහ බලලා සිනමා රංගනයක් සඳහා ලැබෙන හොඳ ආරාධනයක් නම් මා බාර ගන්නවා.

ඔබ ටෙලි නාට්‍යවලට ආස නැතිද?

අපෝ නැහැ. මං මෙගාවලට නම් ආසම නැහැ. මෙගා බලන්නෙත් නැහැ.

මෙගාවල ඉන්න අය තමයි අද වන විට ජනප්‍රිය?

ඔය කොයි කවුරුත් වගේ මට හැමදාම පේන්න ඉන්න ඕනෑ නැහැ. ලැබෙන චරිතයේ පරාසය මත මං තීරණය කරනවා ඒක කරනවාද නැති ද කියලා.

මාධි ව්‍යාපාරිකාවක් කියලා ආරංචියි?

ඔව්. මං ගම්පහ කච්චේරිය ගාව පුංචි ව්‍යාපාරයක් කරනවා. ඒ හින්දා ඕනෑ තරම් කාල වේලාව මට තියෙනවා.

සාමාන්‍යයෙන් ඔබ කොටට අඳිනවද?

ඔව්.

එහෙම ඇඳුම්වලින් සැරසීම අපේ රටේ සංස්කෘතියට පටහැනියි කියලා ගොඩක් අය කියනවා?

තරුණ වයසෙදි කොටට ඇඳීම වැරැද්දක් ලෙස මා දකින්නේ නැහැ. වැරැද්ද තියෙන්නේ කොටට ඇඳගත්තු කෙනෙකු දෙස කෙනෙකු බලන අන්දමයි. හිතේ කුණු තියාගෙන බැලුවොත් කොටට ඇඳපු කෙනාගේ වැරැදි තමයි පේන්නේ.

මාධි සාම්ප්‍රදායික තරුණියක් විදිහට නෙවෙයි සිතන්නේ?

හරියටම හරි. මට ඉන්නෙත් ගැහැනු යාළුවො නෙවෙයි, ඔක්කොම කොල්ලො. පිරිමි යාළුවො තමයි මං වැඩිපුරම ආශ්‍රය කරන්නේ. කොච්චර කොල්ලො මැද හිටියත් මට පෙම්වතෙක් නැහැ.

පුදුමයි?

පුදුමයි තමයි. මට කොල්ලෙක් නැති අඩුව දැනෙන්නේ නැහැ.

වැඩිපුරම පිරිමි යාළුවො ඉන්න නිසා වෙන්න ඇති?

වෙන්න ඇති.

මාධීගෙ ගම කොහෙද?

ගම්පහ.

පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි.

උපන් දිනයත් කියමු?

05/13,

තේජගේ චරිතය නිරූපණය කරන්න ගිහින් ඔබේ සමේ පැහැය අඩු වුණා කියන්නේ ඇත්තද?

එක දර්ශනයක් තිබුණා මහ දවල්ල කට්ට අව්වේ. ඒක ඉවර වෙලා එනකොට මගේ සමේ පැහැය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දුකේ බැහැ. ඊට පසුව ටික වේලාවක් ඉඳලා ඊළඟ සීන් එක කළේ.

චිත්‍රපටය සංස්කරණය කළාට පසුව ඔබ නැරැඹුවාද?

ඔව්.

මොකද හිතුණේ?

මට පුළුවන් විදිහට තේජාට සාධාරණයක් ඉටු කළා. ඒත් තව ටිකක් හොඳට කරන්න තිබුණා නේද කියලත් හිතුණා. කොහොමත් එහෙම කාට වුණත් හිතෙනවනෙ. අත්දැකීම් ලැබෙන කොට ඒ තත්ත්වය මඟ හැරෙයි. මට රංගනය පැත්තෙන් ගොඩක් දේවල් හදා ගන්න ඕනෑ. හැබැයි මං හඬ පාලනය පැත්තෙන් සාර්ථකයි කියලා හිතෙනවා.

මාධි මොන වගේ කෙනෙක්ද?

ඉතාම සරල කෙනෙක්.