|
මහා නර්තන සම්ප්‍රදායක වියත් සළකුණ - චිත්රසේනචිත්රසේන නර්තන සම්ප්‍රදායේ තෙවැනි පරම්පරාවේ මහිමාලංකාරය ‘දේවාංජලී’ 18,19 ලයනල් වෙන්ඩ්හිදී...
නර්තනයේ ප්‍රභවය මිනිසාගේ සම්භවය සමඟින් ආරම්භ වූ බව ප්‍රකට කාරණයකි. එමෙන්ම නර්තනය දෙවියන් සමඟ වූ සම්බන්ධයද සවිමත්ය. ලොව ආරම්භය මෙන්ම අවසානයද මූර්තිමත් කරනනේ ශිව දෙවියන්ගේ නර්තනයෙන් බව පුරාවෘත්තයන්හි කියවේ. නර්තනය බිහි වී ඇත්තේද දෙවියන් පිනවීමටය. නර්තනයේ යෙදෙන ශිව නටරාජ් නම් විය. සිංහලයන් වන අප ද අභිමානවත් සංස්කෘතියකට හිමි කියන්නෙමු. අපේ සංස්කෘතියද ඉතාමත් වටිනා ඉපැරණි වසර දසදහස් ගණනකට හිමිකමි කියන්නේය. එහි නර්තනයට හිමි වී ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මේ නර්තනය සුරැකීමට ඒ ඒ පරම්පරාවන් වග නොකියන්නට අද අපටම අනන්‍ය වූ දේශීය නර්තන සංස්කෘතියක් නොතිබෙන්නට ඉඩ තිබිණි. විවිධ නර්තන පරම්පරා ගැන කතා කළද සාම්ප්‍රදායික නර්තන පරම්පරාවකින් බැහැරව නව නර්තන පරම්පරාවක් බිහි කළ දේශීය නර්තන කලාවේ පුරෝගාමියෙකු පිළිබඳ අද අපේ සිහියට නැඟේ. නර්තනය වෙනුවෙන් තම දිවියම කැප කරමින් නව පරම්පරාවක් ඔස්සේ දේශීය නර්තනය සුරැකීමට අඩිතාලම දැමූ ඔහු අද අප අතර නැත්තේය. දේශීය වේදිකාවට නිර්මාණාත්මක මුද්‍රාවන් බිහි කිරීමේ පුරෝගාමියා මෙන්ම දේශීය නර්තනය ජාත්‍යන්තර කීර්තියට පත් කිරීමේ ගෞරවයද හිමි වූ ඔහු චිත්‍රසේනයන්ය. ඔහු නැටුම් කලාව වෙනුවෙන්ම උප්පත්තිය ලැබූවෙකි. දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ ආරම්භකයා ලෙසින් විශේෂ වන්නේ චිත්‍රසේනයන් බව අවිවාදයෙන් පිළිගන්නා දෙයකි. නැටුම් කලාවේ උල්පත මුද්‍රා නාට්‍යය යි. හැඟීම් තීව්‍ර ලෙසින් ප්‍රකාශනය එහි විශේෂත්වය වේ. අපේ රටේ මුද්‍රා නාට්‍ය ඉතිහාසය ගැන කතා කරන විටදී එහි පීතෘත්වය හිමි වන්නේ චිත්‍රසේනයන් හටය. චිත්‍රසේනයන්හට මුද්‍රා නාට්‍ය හැදැරීමේ අවස්ථාව උදා වන්නේ ශාන්ති නිකේතනයේදීය. අපේ දේශයේ මේ මහා නර්තනවේදියාට උප්පත්තියේදී ලද නාමය වූයේ අමරතුංග ආරච්චිලාගේ මොරිස් ඩයස්ය. ඔහුගේ පරම්පරාව රටේ පිළිගත් ඉහළ වංශවත් පෙළපතක් විය. චිත්‍රසේනයන් නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ශ්‍රීමත් ඩී. බී ජයතිලකයන්ගේ ඥාති පුත්‍රයෙකු විය. අතීතයේදී නර්තනයට යොමු වූයේ දළඳා මාළිගාව ඇතුළුව පුරාණ රාජමහා විහාරස්ථාන ආදියෙහි රාජකාරි බෙදී ගිය පවුල්වල සාමාජිකයන්ය. ඉහළ වංශවත් පවුල්වල ඇත්තන් නර්තනයට යොමු නොවූ තරම්ය. ඩයස් පවුලද ලංකාවේ ඉහළ වංශවත් පවුලකි. රජයේ ඉහළ තනතුරු දැරූ නායකයන් බිහි කළ ඩයස් පවුලේ චිත්‍රසේනයන් මහා කලාවක් බිහි කිරීම උදෙසා නර්තනයට යොමු විය. එයට තම පියා වූ සීබට් ඩයස්ගෙන් ලද ආභාෂයද බලපාන්නට ඇත. සීබට් ඩයස් එක්දහස් නවසිය තිහේ දශකයේ ශේක්ෂ්පියර් නාට්‍ය නිර්මාණය කළ ශිල්පියෙකි. ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත්තේද චිත්‍රසේනයන් කලා අංශයෙන් ඉහළට එනු දැකීමට වන්නට ඇත. එනිසාම හෙතෙම චිත්‍රසේනයන්හට ඒ මාර්ගයේ ඉදිරියට එන්නට නිවැරදි මඟ පෙන්වීම කළේය. නර්තනය ඔහුගේ සම්පූර්ණ අවධානය දිනා ගන්නා ලද්දේ තාගෝර්තුමාගේ ලංකා ගමනය යි. හොරණ ශ්‍රී පාලියට මුල්ගල තැබීමට පැමිණි ගමනේදී එතුමා සමඟින් පැමිණි නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ මුද්‍රා නාට්‍ය චිත්‍රසේනයන්ගේ සිත සොරා ගන්නට ඇත. එහෙත් ඉන්දියාවට ගොස් නර්තනය ඉගෙනීමට පෙර තම රටේ නර්තන සම්ප්‍රදායන් ප්‍රගුණ කළ යුතු බව ඔහු මනා ලෙසින් පසක් කොටගෙන තිබිණි. පාසල් සමයේදීම චිත්‍රසේනයන් උඩරට, පහතරට සහ සබරගමු නම් වූ දේශීය නර්තන සම්ප්‍රදායන් ප්‍රගුණ කර තිබිණි. අනතුරුව ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනය වෙත පියමැන්නේ ඊළඟ පියවර ලෙසිනි. එය අපේම මුද්‍රා නාට්‍ය කලාවක් බිහි වීමේ ප්‍රථම අදියර ද විය. නැවතත් මව් රටට පැමිණ දේශීය අනන්‍යතාවයෙන් යුතුව නර්තන කලාවේ පෙරළියක් ඇති කිරීම චිත්‍රසේනයන්ගේ එකම බලාපොරොත්තුව වන්නට ඇත. වර්තමානයේ දී අපි නොයෙකුත් විචිත්‍රවත් නර්තනයන් දකින්නෙමු. ඇතැම් නර්තනයන් දෙස අමාරුවෙන් හෝ බලාසිටියද ඇතැම් නර්තනයන්හි රංග වස්ත්‍රාභරණයන්ද අඩු වී ගොසිනි. ඒ අතරේ බොහොමයක් ඉන්දීය ආභාෂයෙන් බිහි වූ නිර්මාණයන්ය. ඇතැම් ඒවා එමමය. කිසිදු වෙනසක් නැත්තේය. එහෙත් අපට අපටම අනන්‍ය වූ සංස්කෘතියක් ඇත. නර්තන සම්ප්‍රදායක් ඇත. චිත්‍රපසේනයන් විශේෂ වන්නේ මෙතැනදීය. වැදගත් වන්නේ සංස්කෘතියට හානි නොවන සේ විදෙස් රටවල අනුකරණයෙන් තොර අපේම නිර්මාණ බිහි කිරීමයි. චිත්‍රසේනයන් ඉන්දියාවට ගොස් කථක්, කතකලී, භරත, මණිපුරි ආදි නර්තන ශෛලීන් උගත්තේය. ඒත තුළින් දැනුම ලබා ගත්තද ඔහුගේ නිර්මාණ තුළ අපට දකින්නට තිබෙන්නේ අපේකම පමණි. උඩරට, පහතරට, සබරගමු නර්තන ශෛලීන් අතීතයේ සිට ජන කලාවන් ලෙසින් දේශීය ජන ජීවිතය බැඳී පැවතිණි. පරම්පරාවෙන් පරම්පරාවට එම නර්තන ශෛලීන් කංකාරි නර්තන, ගම්මඩු, දෙවාල් මඩු, කිරිමඩු ආදි ලෙසින් කමතේ, ගොවිපලේ පැවතුණා මිස විනෝදය වෙනුවෙන් වූ අංගයක් ලෙස වෙන් වූයේ නැත. චිත්‍රසේනයන් දෙස් විදෙස් නර්තන ශෛලීන් අධ්‍යයනය කොට බිහි කළේ අපේම වූ නර්තන කලාවකි. ‘කිංකිණි කෝලම’ ඒ නිර්මාණ අතරේ සුවිශේෂ වේ. දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ පෙරමුණ ගන්නා කිංකිණි කෝලමෙහි පාරම්පරික අංග ඇතුළත් වේ. චිත්‍රසේනයන් රාම සීතා, විදුර, නල දමයන්ති, චණ්ඩාලිකා හිම කුමරි, සේපාලිකා, කිඳුරඟන, සාම විජය, කරදිය, නර්තාංජලී ආදි වූ නිර්මාණ රැසක් දේශීය වේදිකාවට ගෙන ආවේය. නල දමයන්ති මුද්‍රා නාට්‍ය නිර්මාණයට චිත්‍රසේනයන්හට මෙරට සුප්‍රසිද්ධ කලාකරුවන් රැසකගේ දායකත්වය ලැබිණි. පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතය, මහගමසේකරයන්ගේ ගී පද, සෝමබන්දු විද්‍යාපතිගේ ඇඳුම් නිර්මාණයන් එය විශිෂ්ටත්වය කරා ගෙන යාමට උපකාරි විය.
ඈත කඳුකර හිමව් අරණේ චිත්‍රසේන – වජිරා සුංයෝගය වේදිකාවට ගෙන ආවේද කලාත්මක ආලෝකයකි. නර්තනයට අසීමිතව පෙම් බැඳි චිත්‍රාවන්ද චිත්‍රසේන නිවෙසට නැටුම් ඉගෙන ගන්නට පැමිණෙන්නේ පවුල් අතරේ වූ බැඳිමද නිසාවෙනි. 1949 වසරේදී චිත්‍රසේන සමගින් වජිරා අතිනත ගත් පසු ඇය ඔහුගේ ජීවන සහකාරිය සේම නර්තනයේ නව මං සොයා යන ගමනේ සහායිකාවද වූවාය. 1957 වසරේදී සාම විජය මුද්‍රා නාට්‍ය නිර්මාණය කරන විට වජිරා එහි ප්‍රධාන නිළිය විය. ප්‍රථම වරට ඔවුහු ජාත්‍යන්තර වේදිකාවට පා තබන්නේද සාම විජය සමඟිනි. එනම් රුසියාවටය. රැසියානු සංචාරයේදී චිත්‍රසේන – වජිරා යුවළට රුසියානු බැලේ නර්තන සම්ප්‍රදායේ ආභාෂයද ලැබීමට අවස්ථාව උදාවිය. චිත්‍රසේනයන් එකිනෙකට වෙනස් වූ නිර්මාණ සේම දේශීයත්වයට සමීප අපේ දේ තුළින් නව නිර්මාණ බිහි කිරීමෙන් ආදර්ශයක් ගෙන දුන්නේය. 1961 වසරේදී චිත්‍රසේනයන්ගේ සුවිශේෂි නිර්මාණයක් ලෙසින් කරදිය මුද්‍රා නාට්‍ය වේදිකා ගත කෙරිණි. ඒ හරහා ඔහු මහ සයුර සමඟින් හරිහරියට ජීවිත සටනක යෙදෙන ධීවරයන්ගේ හඬ වේදිකාවට ගෙන ආවේය. 1965 වසරේදී නිර්මාණය කළ නර්තාංජලී උඩරට, පහතරට, සබරගමු ආදි නර්තන සම්ප්‍රදායන්ගේ ශිල්ප ක්‍රම එකම වේදිකාවක් මතට ගෙන ආවේය. ගෙන ආවා පමණක් නොව ඉදිරියටද එය පවත්වා ගෙන එන්නට සියලු කටයුතු යෙදීය. හෙතෙම පරම්පරා තුනකට නර්තන ආභාෂය ලබා දුන්නේය. පේ‍්‍ර්මකුමාර එපිටවල, ශේෂා පළිහක්කාර සේම ප්‍රිය බිරිඳ වජිරාද චිත්‍රසේනයන්ගේ පළමු ගෝල පරපුරේ සිසු සිසුවියෝ වෙති. චිත්‍රසේන – වජිරා යුගයෙන් පසු වැඩිමහල් උපේකා හා අංජලිකා දියණියන්ද පුත්‍රයා වූ අනුදත්තද එහි වගකීම භාර ගත්තේය. ලේලිය ජානකී සේම මිණිබිරියන් වන හේෂ්මා, උමී සහ තජී අද නව පරම්පරාව නියෝජනය කරමින් මේ නර්තන උරුමය රකින්නට එක්ව සිටියි. චිත්‍රසේනයන් චිත්‍රසේන කලා සංසදය පිහිටුවනු ලබන්නේ 1943 වසරේදීය. 1944 වසරේදී මෙරට ප්‍රථම නර්තන පාසල ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේද ඔහුටය. නර්තනය ගරු කිරීම චිත්‍රසේන පරම්පරාවේ සුවිශේෂි වූ ලක්ෂණයකි. දේශීය අනන්‍යතාව සුරකින ඔවුහු නර්තනයන් ඉදිරිපත් කරන්නේ ඒ වෙනුවෙන් වූ වේදිකාවක පමණි. මෙරටදී හෝ විදේශයකදී මංගලෝත්සව ආදියෙහි චිත්‍රසේන නර්තන කණ්ඩායමේ නර්තන කිසි දිනෙක දකින්නට නොලැබේ. නර්තනයට ඉමහත් භක්තියක් දක්වන ඔවුන් චිත්‍රසේනයන් බලාපොරොත්තු වූ අයුරින්ම ඔහුගේ නිර්මාණ සුරැකීමට මෙන්ම ඒවා ඉදිරියට ගෙන යාමට ජීවිතය කැප කර තිබෙන අයුරු පුදුමාකාරය. එදා චිත්‍රසේනයන් රුසියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, කැනඩාව, පෝලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, එංගලන්තය, ජපානය ඇතුළුව රටවල විසි හයක පමණ අපේ දේශීය නර්තනයේ පෙළහැර පෑවේය. වර්තමානයේදීද නර්තනයේ ජවය, ලාලිත්‍ය ඉස්මතු වන්නා වූ අපූරු නිර්මාණ බිහිකිරීමේ වගකීම තෙවැනි පරපුර වගකීමක් ලෙසින් භාරගෙන සිටියි. නාරාහේන්පිට ජනාකීර්ණ භූමිභාගයක දිළිසෙන ලී බිමකින් සහ ගඩොලින් බැඳි කෙටි බිත්තිවලින් යුතු වූ චිත්‍රසේන කලායතනය ගෙන එන්නේද අමුතුම සුන්දරත්වයකි. චිත්‍රසේන පරම්පරාවේ ආචාරශීලීත්වය ගැන මේ අවස්ථාවේ සටහන් කළ යුතුම දෙයකි. යමෙකු පිළි ගැනීමේදී ඔවුහු ඉතාම මිත්‍රශීලිය. කරුණාවන්තය. අපේ දේශයේ මහා නර්තන ශිල්පියා වූ චිත්‍රසේනයන් අප අතරින් සමුගෙන ලබන 18 වැනිදාට දස වසරක් ගත වේ. සොබාදහමට අවතනතව ඔහු අපෙන් සමු ගත්තද එලෙස සමු ගත්තේ වටිනා යමක් අනාගතයට ඉතිරි කරමිනි. මෙවර චිත්‍රසේනයන්ගේ දසවස් සැමරුම වෙනුවෙන් චිත්‍රසේන කලායතනයේ නවතම නිර්මාණය ‘දේවාංජලි’ ශාන්තිකර්ම, පිළිවෙත් ආවර්ජන ප්‍රසංගය ලබන 18 වැනිදා සහ 19 වැනිදා පස්වරුවේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. දේවාංජලී චිත්‍රසේන පවුලේ තෙවන පරම්පරාවේ හේෂ්මා විග්නරාජාගේ නර්තන නිර්මාණයකි.
|