වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුරේන්ද්‍රට ප්‍රතිචාර වැඩියි නේද?

සුරේන්ද්‍රට ප්‍රතිචාර වැඩියි නේද?

පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගවේදී ටෝනි රණසිංහයන් මෙරට සිනමාවේ රජතුන් කට්ටුවේ අන්තිමයාය. ටෝනි රණසිංහයන්ගේ 75 වැනි ජන්ම දිනය නිමිති කොට ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ ටෝනි රණසිංහයන් සමඟ කරන ලද විශේෂ සාකච්ඡාවක් ලිපි මාලාවක් ලෙස එකල සරසවිය පුවත්පතේ පළ විණ. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෙන්ම ටෝනි රණසිංහයන්ට උපහාරයක් ලෙස සරසවිය එම ලිපි මාලාව ඔබට නැවත ගෙන එන්නෙමු.

අපි දැන් යමු තවත් මානයකට. සුගතපාල ද සිල්වා බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල් හරහා සිංහල වේදිකාවේ වස්තු විෂයේ සහ ආකෘතියේ වෙනසක් කරද්දී ඔබ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර සමඟ වේදිකා රංගනයේ වෙනසකට දායක වෙනවා. ඒ ගැන විග්‍රහයක් කළොත්?

මං කලින් සඳහන් කළා මතකයිනේ ලෙස්ටර් මහත්තයා හමුවන්න ගිය බවක්. ඒ නිවසෙන් එළියට බහිද්දීමයි සුගතපාල ද සිල්වා මට හමු වන්නේ. ඔහු මාව හඳුනන්නේ නැති වුණත් මගේ අයියාව දන්නවා. මාත් සමඟ සිටි ආතර් මාව ඔහුට හඳුන්වා දෙන්නේ රැලෙක්ස් අයියාගේ මල්ලී වශයෙන්. ඔහු මා පිළිබඳ තොරතුරු විමසා බලා මට ඔහු නිපදවන අලුත්ම නාට්‍යයට ඇරැයුම් කළා. ඒ කාලයේ අපි පුහුණුවීම් කළේ විපුල ධර්මවර්ධන මහතාගේ නිවසේ.

මා දැන් ඔබ අහපු පැනයට එන්නම්. ටෝනි රණසිංහ නම් වූ වේදිකාව පිළිබඳ කිසිත් නොදන්නා මා වැනි අයකුට යමක් කළ හැකි චරිතයක් භාර දීම පිළිබඳ මා නැවත නැවතත් සුගතපාල ද සිල්වාට ස්තුතිවන්ත වෙනවා. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර කියන්නේ අකැමැත්තෙන් නළුවකු වුණ කෙනෙක්. ඔහුයි දවස පත්තරේ උප කර්තෘවරයකු විදිහට සේවය කළේ. එසේ වුණත් ඔහු සමඟ මා මේ නාට්‍යයට සුගතපාල යොදා ගන්න ඇත්තේ සුදුසු නිසා වෙන්න ඇති.

ඔබ පැවසූ පරිදි වේදිකාවේ යම් වෙනසක් එම නාට්‍යයෙත් ඇති කෙරුවා නම් එහි ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි විය වුත්තේ සුගතපාලයන්ට.

එමෙන්ම ඔහු නිසා මා සිරිල් බී. පෙරේරා, ඔගස්ටස් විනයාගරත්නම් ඇතුළු ක්ෂේත්‍රයේ දැවැන්තයන් කිහිප පොළක් හඳුනා ගන්නවා. සැබැවින්ම සුගත් මට හමුවීම මගේ රංගන ජීවිතයට වාසනාවක් වුණා.

බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල් වැනි වේදිකා නාට්‍යවලට එකල ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඒ ගැන අහපු එක හොඳයි. වේදිකාව සජීවි මාධ්‍යයක් නිසා අපේ රංගනය සඳහා එවලේම ප්‍රතිචාර ලැබෙනවා. අනෙකුත් මාධ්‍යවල ඒ අවස්ථාව නැහැ. වේදිකා නාට්‍යයකින් ලැබෙන ප්‍රතිචාරයන්ගෙන් ඒ නළුවා හෝ නිළිය උද්දාමයට පත් වෙනවා. නිෂ්පාදකයා වුණත් එහෙමයි. ඒ උද්දාමය නිසා සිතෙහි උපදින්නේ මහත් අභිමානයක්. අපි කරපු බෝඩිංකාරයෝ නාට්‍යයෙහි නළු නිළියන් අතරින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ සුරේන්ද්‍රට. මට ටිකක් රසිකයෝ අඩුයි. දිනක් අපේ නාට්‍යය බලන්න ඇවිත් හිටියා ඩී. බී. ධනපාලයි ඔහුගේ පුතු ඩී. බී. නිහාල්සිංහයි. ඔවුන් දෙපොළ නාට්‍යය බලලා ඇවිල්ලා මාව හමු වුණා.

නිහාල්සිංහ ඒ කාලයේ ප්‍රචාරක දැන්වීම් ආයතනයක සේවය කරනවා. එහෙයින් ඔහුව කිහිප වතාවත් හමු වෙලා තියෙනවා. ඔහු මට පැත්තකට අඬ ගහලා සුරේන්ද්‍රට ප්‍රතිචාර වැඩියි නේද කියලා මගෙන් ඇහැව්වා. මං එය හිස සලා අනුමත කළා. නිහාල් කිව්වා එහෙම වුණාට ඔයා අවුල් වෙන්න එපා. එයාට වැඩිපුර ප්‍රතිචාර හම්බ වුණාට ඔයත් ඔහුට නොදෙවැනි වෙන්න රඟපෑවා කියලා. මට එය හොඳින් තදින් හිතට දැනුණා. එයින් මට ආත්ම ශක්තියක් සිතට ආවා. එයින් මං හිතා ගත්තා කාට කෙසේ ප්‍රතිචාර ලැබුණත්, කවුරු වැඩිපුර ජනප්‍රිය වුණත් ඒ ගැන නොසිතා මගේ හැකියාව නිසි ආකාරයෙන් පෙන්වනවා කියලා.

වේදිකාවෙන් නැවතත් චිත්‍රපට ලෝකයට ගමන් කළොත් හොඳයි කියලා මට හිතුණා. 1966 දී සිහින හතක් චිත්‍රපටයෙන් ඔබ තරුවක් වෙද්දී එම වසරේදීම තිරගත වූ 'දෙලොවක් අතර' චිත්‍රපටයෙන් දක්ෂ නළුවකු ලෙස ප්‍රේක්ෂක විචාරය, අවධානය දිනා ගන්නවා. එම වසරෙන් පසු ඔබගේ රංගන ජීවිතය වෙනස් වුණේ කොහොමද?

ඔය චිත්‍රපටය ගැන සහ මට ලැබුණු අවධානය ගැන මහ විශාල මතකයක් නැහැ. ඒවා තිරගත වෙලා දැනට දශක හතර හමාරකට ආසන්නයිනේ. ඒත් මට මෙහෙම දෙයක් පවසන්න පුළුවන්. මට ඒ ප්‍රේක්ෂක, විචාරක අවධානය ඇත්තෙන්ම ඒතරම් ලොකුවට දැනුණේ නැහැ. මක්නිසාද යත් මම ඒ වෙන කොට වේදිකා නළුවකු විදිහට යම්තාක් දුරකට ස්ථාවර වෙලා තිබුණේ. ඒ වගේම ගම්පෙරළිය, ගැටවරයෝ, සැනසුම කොතනද යනාදී වූ චිත්‍රපටවලත් රඟපෑවානේ. විශේෂයෙන් වේදිකා නාට්‍ය පෙන්වන්න නගරයෙන් නගරයට යද්දී මිනිස්සු අපට නොයෙක් ප්‍රතිචාර දැක් වූවා. සමහර විටෙක ඕනෑවටත් වඩා. එහෙයින් මම චිත්‍රපට සඳහා ලැබුණු ප්‍රතිචාර එතරම්ම මට දැනුණේ නැහැ. එබැවින් මගේ රංගන ගමන් මඟෙත් විශාල වෙනසක් ඇති වුණේ නැහැ.

මේ කතාවට මං තවත් දෙයක් අමුණන්නම්. ඒ දෙලොවක් අතරට මා තෝරා ගැනීම පිළිබඳ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මාව මේ චිත්‍රපටය සඳහා ගත්තා කියන වදන ඇසීමෙන් මා සසල වුණා. මට ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් ද යන වගයි මං නිතරම කල්පනා කළේ. කෙසේ නමුත් මං ඒ චරිතයට රංගනයෙන් දායක වුණා. ප්‍රේක්ෂක, විචාරක අවධානය වැඩිපුර ඒ චරිතයට ලැබුණේ ඒක හින්දා වෙන්න ඇති. අදටත් මං සලකන්නේ ලෙස්ටර් මහත්තයා ඒ චරිතේ මට ලබා දීම එක්තරා ආකාරයකින් මගේ වාසනාවකට සිද්ධ වුණු දෙයක් වෙන්නට ඇති කියලයි.

මං ඒ ප්‍රශ්නයටම ගළපමින් මෙන්න මේ වගේ දෙයක් ඔබෙන් විමසන්නම්. ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහු සමඟ වැඩ කරන නළු නිළියන්ගෙන් සියුම් රංගනයන් ඉතාම සූක්ෂම අයුරින් ලබා ගන්නවා. ඔබ ලෙස්ටර් සමඟ තෙවතාවක් (දෙලොවක් අතර, රන්සළු, අහසින් පොළවට) ප්‍රධන චරිත රඟපා තිබෙනවා. අධ්‍යක්ෂවරයා සහ රංගන ශිල්පියා අතර ඇති සම්බන්ධතාවය ඔබේ මතයෙන් මට විග්‍රහ කළොත්?

ලබන සතියට...