වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




පණ ලැබූ ටෙඩි බෙයාර්ගේ දෙවැනි කොටස

පණ ලැබූ ටෙඩි බෙයාර්ගේ දෙවැනි කොටස

Ted2

ජෝ න් බෙනට් කුඩා කළ සිය ආදරය දිනා ගත් ‘ටෙඩ්’ නම් වූ කුඩා වලස් පැටියාට (ටෙඩි බෙයාර්) පණ ලැබෙන ලෙස ප්‍රාර්ථනාවක් කරයි. නොසිතූ අයුරින් මේ ප්‍රාර්ථනාව සඵල වන අතර වසර තිහක් තිස්සේ ටෙඩ් හා ජෝන් කුළුපග මිතුරන් ලෙසින් කාලය ගත කරති. කෙසේ නමුත් ජෝන්ගේ මිතුරිය වන ලෝරි මෙය නුරුස්සයි. ජෝන් හා තමාගේ ජීවිතවලට ටෙඩ් බාධවක් වන බව සිතන ලෝරිගේ එකම අරමුණ වන්නේ ටෙඩ් ජෝන්ගෙන් වෙන් කිරීමයි. ජෝන් හා ටෙඩ්ගේ මිත්‍රත්වය හා ඉන් ඇතිවන ගැටුම් අළලා නිර්මාණය වූ Ted (ටෙඩ්) චිත්‍රපටය 2012 වසරේදී විශිෂ්ට ආදායම් වාර්තා තැබූ විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස විශේෂ විය.

ටෙඩ්ගේ අපූරු නිර්මාණකරුවා වන්නේ සංගීතය, රූපවාහිනිය, සිනමාව ආදි ක්ෂේත්‍ර ගණනාවක්ම දස්කම් දැක්වූ සේත් වුඩ්බරි මැක්ෆාලෙන්ය. ටෙඩ් චිත්‍රපටයේ කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පමණක් නොව වාචාල ටෙඩ්ගේ හඬද ඔහුගේය. අමෙරිකානු ඩොලර් මිලියන 51ක පිරිවැයකින් නිර්මාණය වී අමරිකානු ඩොලර් මිලියන 549ක සාර්ථක ආදායමක් ලැබූ ටෙඩ් චිත්‍රපටයේ දෙවැන්න Ted 2 (ටෙඩ් 2) නිර්මාණය කිරීම 2013 වසරේ සිට ආරම්භ වීය. පසුගිය ජූනි 26 වැනිදා සිට ලොවපුරා තිරගත වීම ආරම්භ කළ ටෙඩ් 2 පළමු දෙසතිය ඉක්මවන විට එහි පිරිවැය වූ අමෙරිකානු ඩොලර් මිලියන 85 අබිභවමින් අමෙරිකානු ඩොලර් මිලියන 104ක ආදායමක් වාර්තා කළේය.

මාර්කා වෝල්බර්ග්, සේත් මැක්ෆාලේන්, අමෙන්ඩා සේෆ්‍රීඩ්, ජොවානි ෆ්‍රීමන් ඇතුළු පිරිසක් රංගනයේ දායක වන ටෙඩ් 2 වෝල්ටර් මර්ෆිගේ සංගීතයෙන් හැඩවෙන අතර එය බෙදා හරින්නේ යුනිවර්සල් පික්චර්ස් විසිනි. දැනට එය IMDB ලකුණු දර්ශකයේ දහයෙන් හතක් ලබා ගෙන ඇති අතර මෙටාක්‍රිටික් සියයට 48ක් සහ රොටෙන් ටොමැටෝස් සියයට 46ක් වාර්තා කර සිටියි. ටෙඩ් 2 IMDB  දර්ශකයේ සතියේ හොඳම චිත්‍රපට දහය අතරේ සිටියි.

ටෙඩ් 2 එහි පළමු චිත්‍රපටයට සාපේක්ෂව විචාරකයන්ගේ සෘණ ප්‍රතිචාර ලබා ඇත. බොහෝ විචාරකයන් පවසන්නේ ටෙඩ්ගේ චරිතයට අනුව ඊට වඩා හොඳ නිර්මාණයක් බලාපොරොත්තු වන බවත් විහිළු පවා පළමු චිත්‍රපටයට සාපේක්ෂව නැවුම් නොවන බවයි.

කෙසේ නමුත් මේ වන විට කුළුපග මිතුරන් දෙදෙනාගේ කතාව නොසිතූ අයුරින් වෙනස් වී ඇත. ජෝන් තවමත් අවිවාහක වන අතර ටෙඩ් ඔහුගේ සිහින කුමරිය වන ජෙසිකා සමඟින් විවාහ වී සිටියි. දරුවෙකු හදා ගැනීමට සිතන මෙම යුවළට නොසිතූ නීති ප්‍රශ්නයකට මුහුණදීමට සිදු වේ. මන්ද යත් නීතිය හමුවේ ටෙඩ් පුද්ගලයෙකු ලෙසින් පිළිනොගැනෙන අතර ඔහු සැළකෙන්නේ දේපළක් ලෙසිනි. කේන්තියෙන් සහ කළකිරීමෙන් පසුවන ටෙඩ්හට තරුණ නීතිඥවරියකගේත් සිවිල් අයිතිවාසිකම් ප්‍රවීණයෙකුගේත් පිහිට පැතීමට සිදුවන්නේ මෙම අවස්ථාවේදීය. ටෙඩ් ගේ වාචාලකමත් සෙල්ලක්කාර ජීවිතයත් සමඟ මෙම නීතිමය යුද්ධය පහසු එකක් නම් නොවනු ඇති බව ඔබටත් දැකබලා ගන්නට හැකියාව ඇත.